අපේ හෙළ ඉංජිනේරුවෝ එදා පසු බැහැලා නිකං හිටියද? |
"යං
උපාලි!” මට නිකම්ම කියැවුණේය. මනුස්සයාත් පස්ස ගැහුවේ
නැත! අපේ සරොම්, තුවා කැටි කරලා
අරං...... යනවා - යනවා නෙවෙයි; ඔන්න ආවා තුන්වෙනි කොටසට; අනුරාධපුරේ
කදම්භ නදී තෙරට!
කදම්භ
නදිය එහෙමත් නැති නම් මල්වතු ඔය ගැන අපේ හුඟ දෙනෙකුගේ වැඩි තැකීමක් නැත. දැන්-දැන්
රට පුරාම තැනින්-තැන ඉදිවෙන ගුවන් පාලම් ගැන උජාරු කතන්දර- පම්පෝරි දෙසා බාන අයවත්
මල්වතු ඔය හරහා ඉදිවුණු ගල් පාලම ගැන දන්නවද මන්දා!
ගල්
පාලමට කතා කරන්න පුළුවන් නම්....
“.... දැන් වගේ කේඬෑරි වෙච්චි මල්වතු ඔයක්
නෙවෙයි ඒ කාලේ තිබ්බේ.... ගොඩාක් පළල් එකක්. ඒත් ශ්‍රී ලංකාද්වීපයේ උතුරට යන්න
තිබුණු ප්‍රධාන පාර සම්පූර්ණ වෙන්න නම් මෙතැනින් අඩි දහයක් විතර පුළුල් පාලමක්
හදන්නම සිද්ද වෙලයි තිබ්බේ.
-පොඩි එකක් සෑහෙන්නෙත්
නෑ. අශ්ව කරත්තවලට වුණත් යන්න-එන්න ඇහැකි තරම් පළල් එකක්.... කෝ, ඒ කාලේ කොන්ක්‍රීට්;
සිමෙන්ති....?
එහෙමය කියලා එදා අපේ හෙළ ඉංජිනේරුවෝ පසු බැස්සද... ඔය හරහා ගල්
කුලුනු හිටවලා, ඒවාට උඩින් තවත් ගල් ටැම් අතුරලා..... කොහොම සුමයක් මෙතැනදී කරන්න
ඇතිද කියලා හිතන්නකෝ....
එදා මහ පෙරහරින් සංඝමිත්තා මෙහෙණින් වහන්සේවත් මේ ගල් පාලම උඩින් ..... |
-අනේ! එදා එදා දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මහ
පෙරහරින් සංඝමිත්තා මෙහෙණින් වහන්සේවයි, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේවයි වඩම්මාගෙන
මේ ගල් පාලම උඩින් නෙවෙද අනුරාධපුරයට සැපත් වුණේ.....”
ඒ දවස්වල අනුරාධපුරේ පූජා නගරයක් නෙවෙයි
වෙන්නැති.
(ඒත් පූජා නගරයක් විදිහට නම් කෙරිලා තියෙන හින්දාද
කොහෙද, දැන් නම් මල්වතු ඔය අජූව වෙලා. හිතාගන්නත් බැරි තරම් අපවිත්‍ර වෙලා.
මිනිසුන්
ඒකෙන් නාන්නෙත් නැතිවද මන්දා! අපේ රටේ සංවර්ධනේ කියන්නේ ඒකටනෙ. කිසිම වැඩකට ගන්න
බැරි වෙනවටනේ!)
ඔහොම දේවල් නෙවයි එදා මගේ ඔළුවේ තිබුණේ, මල්වතු
ඔය දකිද්දී.
“ඔළුවේ සුළි දෙකක් තියෙනවා නං එහෙම අයට
වතුරෙන් අපලයි.
පරෙස්සම් කරන්න වෙනවා, වතුරෙන් විපත්ති සිද්දවෙන්න තියෙන ඉඩ
වැඩියි.”
ඔළුවේ සුළි දෙකක් තියෙනවා නම්........... |
ඉස්සර මිනිසුන්ගේ එහෙම විශ්වාසයක් තිබුණා.
මගේ ඔළුවේ තිබුණේ එළියට මෝදු නොවුණු ‘අං දෙකක්’ විතරයි. එක සුළියක්වත් නැහැ. දැන්
නම් හඳක් තියෙනවා....
වතුරෙන් පරෙස්සම් වෙන්න නෙවෙයි, අපේ සුන්නාට
වගේ ගෙදරින් හොරෙන් යන්න බැරි වුණු නිසා එතකොට මට පීනන්න බැහැ.
සුනිල්ට එහෙම නෙවෙයි.
ගෙදරට හොරෙන් සෙල්ලමට-
රස්තියාදුවට පැනගන්න නිදහස තිබුණා. බොරලැස්ගමුවේ වැවත් තිබුණා.
(දැන් නම් ඒකටත්
මල්වතු ඔයට වෙච්චි දේම වෙලා. නානවා- පිහිනනවා තියා, මෙලෝ යකෙක් ඒකෙන් කකුල් දෙකවත්
හෝදන්නෙ නැහැ.)
කොහොමෙන් හරි, මං දියබරියෙකු වුණාට මොකද- මට
වතුරෙන් අපලයි. පොඩි දවස්වල ඉඳලම!
පොඩි දවස්වල ඉඳලම මට වතුරෙන් අපලයි! |
කොනක හිටං ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළපු
ඇත්තන්ගේ හිතේ නං ‘මහරගම, පමුණුව පාරේ, එක්සත් සුභ සාධක මාවත’ කෙලවරේම තිබුණු
‘සිල්ලප්පුවත්ත’ ඇඳිලත් ඇති මෙලහකට.
ඕං හීනි මතක් කෙරිල්ලක්, අලුතින් මෙහාට සම්ප්‍රාප්ත
වෙන ඇත්තන්ට.
බෑවුම් ඉඩමක පහළම කොටස. පර්චස් 34යි.
ඒකේ
මායිමට බඩවැටියක්. අපේ ඉඩමේ පොළොව මට්ටමේ ඉඳලා අඩි 1 1/2ක් විතර පහතින් කොටුවෙ ආච්චිගේ ඕවිට.
ඊටත් එපිටින් කුඹුරු යාය.
ඒ ටික කියව්වේ, එතකොට අපේ ඉඩමේ දිය සීරාව හොඳට තිබුණු බව
පෙන්වන්නයි.
එතකොට හැමදාම අපේ ඉඩමේ බොන ළිඳකුයි, නාන
ළිඳකුයි දෙකක් තිබුණා. පොළොව මට්ටමේ ඉඳලා අඩි හය-හතක් විතර තමයි ළිඳේ පතුලටම
ගැඹුර.
හැම තිස්සෙම, එව්වයේ අඩි දෙක-තුනක් විතර වතුරත් පිරිලයි තිබුණේ.
ඕවිටට එපිටින් කුඹුරු.... (foto- අමල් මහේෂ් නුගපිටිය) |
ඉඩමේ උඩින් බොරළු පසක් තිබුණට මොකෝ, යට
තිබ්බේ මැට්ටයි- කිරි මැට්ටයි, වැල්ලයි. කුඹුරට,
ඕවිටට කිට්ටුවෙන්මනේ.....
ඉතින් ළිඳක් කපලා ටික දවසකින්ම යටින් පස් කඩා වැටෙන්න
පටන් ගන්නවා. ළිඳ පතහක් වෙන්න පටන් ගන්නේ එහෙමයි.
“තවත් බලං ඉඳලා හරියන්නෙ නැහැ, ගුණේ. මේ ළමයෙක් වතුර ගන්න ආව වෙලාවක, කොයි මොහොතක හරි
පස් කණ්ඩියත් එක්කම කඩාගෙන ළිඳට වැටෙන්න පුළුවනි. ඔය උඹේ කූටාලියෝ දෙතුන්-දෙනෙක්
අල්ලාගෙන අලුතින් ළිඳක් කප්පෝපංකො බං!”
ආච්චී අපේ තාත්තාට කිව්වත් වැඩක් වුණේ නැත.
ඒ
නිසා අපලය කඩා පාත් වුණේ මගෙ ඉහපිටටය.
දවසක් වතුර බාල්දියක් අදිද්දී ඉවුරත් කඩාගෙන
මාව ළිඳට වැටුණේය.
ඒ වැටුණේත් එහෙම පිටින්ම උඩු-යටිකුරු වෙලාය. ඒ ජංගි අඳින කාලය
හින්දා හොඳට ගියේය.
සරමක් ඇඳගෙන හිටියා නං හෙම වෙන්නේ මගේ
පරම්පරා කුට්ටම හිරු දෙවියන්ට ප්‍රදර්ශනය වෙන එකය; සරමෙන් මුහුණ වැහෙන එකය.
කතා කරපංකො පුතේ.... යක්කු දැක්කහේ හූල්ලන්නේ..... |
මගේ ඉස්මුදුන ගිහින් ළිං පතුලේ සුදු වැල්ලේම
ඇනුණා මතකය;
බුලු- බුලු හඬින් දිය බුබුළු උඩට යනවාත් මතකය.
ඒත්, ඒ මොහොතේ ළිඳ
ඇතුළේදීම කොහොම ආපහු හැරිලා දෙපයින් හිටගත්තාදැයි කියලා නම් මට යන්තමින්වත් මතක
නැතිය.
හැබැයි එහෙම කරගන්නට හැකි වුණේ ළිඳේ ඉවුරු කඩා වැටී, ළිඳ විශාලවී තිබුණු
නිසාය! එහෙම නොවුණා නං.......
“අපොයි දෙයි හාමුදුරුවනේ....” එවිටම ඇහුණේ
ආච්චීගේ හඬ තැලීමයි.... ආච්චී මාව ළිඳෙන් උඩට ඇදගත්තේ තාත්තාට දෙස් තියමිනි.
“කොහෙද, ජාතක කරන්න මිසක් ළමයි හරියට හදාගන්න තොට ඕනෙකමක් තියෙනවය. තව
ඩිංගෙන්......”
ආච්චී මාව හොඳින් පිස දැම්මාය.
“වතුර පෙවුණද රංජි? කතා කරහන්කො ළමයෝ, යක්කු
දැක්ක වගේ හූල්ලන්නේ .... දැන් බය වෙන්න දෙයක් නැහැ පුතේ .... හිටින්, මං රස්නෙට
කෝපි ටිකක් හදලා දෙනකල්.....”
කෝපි එක දීලා, ඔළුව අතගාමින් ආච්චී- දසනායක රත්නවතී
කිව්වේ මෙහෙම දෙයකි.
“අනේ පුතේ.... අද උඹගේ ගිරහෙක් මාරු වුණා.... උඹට වතුරෙන් අපල
වෙන්නැති පුතේ. කොහෙ ගියත් ඔය ඇලකට, දොළකට නොබැහ හිටපං, රත්තරනේ.”
මාරයාට අහු නොවී ඉන්නට තැනක්.... (foto- කසුන් ප්‍රියලාල්) |
‘න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ජෙ - න
පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදෙසො - යත්ථට්ඨිතං
නප්පසහේථ මච්චු’
කියල ධම්ම පදයේ නං කියන්නේ මාරයාට අහු නොවී
ඉන්න පුළුවන් තැනක් -අහසේ, මුහුදේ, මිහිතලයේ කොතැනකවත් නැහැ කියන සහතික ඇත්තම න්‍යායයි.
“ඔව් නිමල් අයියේ, මැරෙන්නත් වෙලාව එන්නම
ඕනේ!”
මෙදා අරුණ කිව්වේ මාමඩුවේ විත්ති දිග
හරිද්දීය.
“එතකොට barefoot doctorsලා විදිහට මාමඩුවේ Medical
Centre එකේ හිටියේ මායි ප්‍රසන්නයි. මහ රෑ දෙගොඩ හරියේ එක පාරටම ලොකු සද්දෙකුත්
එක්කම අපි දෙන්නා ගැස්සිලා ඇහැරුණා....
-හතර වටෙන්ම වෙඩි තියන සද්දේ.....
කට්ට
කරුවලයි, ලයිටුත් නැහැ..... ප්‍රසන්න පොඩි එකා. ඒකා හොඳටම බය වෙලා, වෙවුල-වෙවුලා මාව
බදාගෙන කෑ ගගහා අඬනවා- විලාප තියනවා... එක යුද්ධයයි.
දෙපැත්තෙන්ම වෙඩි තියන්නේ අපේ මෙඩිකල් සෙන්ටර් එකට....... |
-ඒ වෙලාවේ මොනව කියලා කරන්නද? හොඳටම තේරුණා
දෙපැත්තෙන්ම වෙඩි තියන්නේ අපේ මෙඩිකල් සෙන්ටර් එකට කියලා.
-මං, මගේ අතින් ප්‍රසන්නගේ
කට තද කරලා වහගෙන බිම දිගා වුණා....බයේ ගැහි-ගැහී, එහෙම්ම බිම දිගා වෙලා පැයක්
විතර ගියාමයි වෙඩි තීල්ල නතර වුණේ.
ඒත් අපි නැඟිට්ටේ නැහැ, බයටම.
-ඔන්න අපේ බිල්ඩිම දිහාට කවුද එන අඩි සද්දයක්
ඇහෙන්න ගත්තා.....
‘එම්.අයි.... M.I... ඉක්මනට දොර අරින්න....’
කවුද සිංහලෙන් කතා කරනවා. කරුවලේ පේන්නෙ නැහැ කවුද කියලත්. හැබැයි ආමි එකේ අය තමයි
අපිට එම්.අයි. කියලා කතා කරන්න පුරුදු වෙලා හිටියේ..... කටහඬත් සිංහල ටයිප්.”
“එම්. අයි. කිව්වේ?” දන්නවනේ මගේ හැටි. ඔහොම
තැන්වලදී සේරම අහගන්නට ඕනෙය.
අරුණගේ අදහස ඒ Medical Instructor වදන්වල
කෙටි යෙදුම විය හැකි බවයි. M.I. කිව්වාම ටිකක් නම්බුකාරකමකුත් තිබේ.
කවුදෝ පදානුගත
පරිවර්තනයකදී කියලා තිබුණා වගේ barefoot doctor වෙනුවට ‘නිකං කකුල් දොස්තර’ කියලා
කිව්වොතින් ‘වෘත්තීය අභිමානයටත්’ කැළලකි.
ජෙහාන් ශ්‍රී කාන්ත හා පැරණි ජවිපෙ හිතවතෙකු වන කපිල සමඟ අරුණ..... |
ආමන්ත්‍රණයේදී විතරක් නොවේ, බෙයාර්ෆුට්
දොස්තරවරුන් විදිහට ස්වේච්ඡාවෙන් වැඩ කරනවාට - ජීවිතය පරදුවට තියනවාට අරුණලාට තරමක
හෝ සැලකිල්ලකුත් කෙරිලා තිබෙයි.
“එතකොට අපෙන් බස්වල යද්දී සල්ලි ගන්නෙ නෑ.
ආණ්ඩුවේ වාහනවලින්ම තමයි ගමන්-බිමන් ගියේ.
Army Campsවලින් තමයි අපිට කෑම-බීම
සේරම. Coca Cola, සිගරැට්, යෝගට්..... කොටින්ම අපේ කොණ්ඩේ කප්පවාගන්න වුණෙත් ආමි
එක්කෙනෙක්ගෙන්.....
හැබැයි, ඒවාට හිලව්වට වගේ ලේයි, කඳුළුයි, කෑලි වෙච්චි අතපයයි,
මළ කඳනුයි ඇති වෙන්නම දැක්කා!”
“ඉතින් එදා මාමඩුවේදි කවුද ඔයාලට වෙඩි තියලා
තිබුණේ?”
“එම්.අයි. ඉක්මනට දොර ඇරගෙන එන්න. ඉන්ජරි
කට්ටිය ගොඩක් ඉන්නවා... එහෙම කියද්දීත් අපි දොර ඇරියේ බයෙන්.
ගිහින් බලනකොට අපේ
හමුදාවේ අයයි, ඉන්දියන් හමුදාවේ අයයි දෙගොල්ලොම කෑලි වෙලා. 20ක් විතර....
ඉක්මනටම
අපිට පුළුවන් දේවල් කරලා වවුනියාවේ ඉස්පිරිතාලෙට යැව්වා.....
-පහුවදා ආරංචි වුණා 8
දෙනෙක් මැරුණයි කියලා.”
එතකොට කොටි? (foto- චලන තෙන්නකෝන්) |
“එතකොට කොටි...”
“මොන කොටිද නිමල් අයියේ, ලොකු වැරැද්දක් එදා
රෑ වෙලා තියෙන්නේ. එතකොට ඉන්දියන් හමුදාවේ අයත් මෙහාට ගොඩ බැහැලානෙ හිටියේ.
-අපේ අයට නොකියම ඒ කට්ටියක් පාර දිගේ
ඇවිත්.....
එයාලා කරුවලේම එද්දී අපේ කට්ටිය හිතල තියෙන්නේ LTTE කියලා. ෆයර් කරන්න
අරගෙන.....
උනුත් වෙඩි තියන්න අරන්... දෙගොල්ලම වෙඩි තියාගත්තයින් පෙනේරයක් වෙලා
තිබ්බේ අපි හිටිය මෙඩිකල් සෙන්ටර් එක..... තව ඩිංගෙන්.....”
අරුණලා මැරෙන්නට ගියේ
මාමඩුවේදීය.
අපි......? අපි නෙවෙයි මං... මං මැරෙන්නට
ගියේ.....
උපාලිටත් පිහිනන්නට බැරිය.
කලින්ම කිව්වෙමි.
මාත් ඒ ගොඩේමය.
ඒත් අනූලා ඒ විත්තියක් දැනගෙන නොසිටියෝය.
දැවැන්ත ගහකට මුවාවී ගැහැනු ළමුන්.... |
මල්වතු ඔය ඉවුරේ දැවැන්ත ගහක් මුවාවටවී
ගැහැනු ළමයි ඇඳුම් මාරු කරගන්නට වූහ; දිය රෙදි හැඳගන්නට.....
දැන්ය මට කල්පනා වෙන්නේ.... එදා නාන්නට ගිය
නඩයේ 90%ක්ම කාන්තා පාර්ශ්වයයි. උපාලිත්, මාත් හැරුණුවිට තව පිරිමි ළමුන් දෙන්නෙකු
විතර ඉන්නැතිය.
කොට කලිසම්වලට බහින්නට අපි එතරම් වෙලාවක් නොගත්තෙමු.
ගැහැනු ළමයි රොත්ත පිටින්ම කිචි-බිචි ගාමින්
දියකිඳුරියන් වගේ ගස් මුවාවෙන් මෑතට ආවෝය.
ඉතිහාසය මතක කෙනෙකුට ‘සවස’ පත්තරය මඟින්
පැවැත්වූ ‘දිය කිඳුරිය’ තේරීමේ තරගාවලිය අමතක වෙනු බැරිය.
ඒ තරගයට සහභාගි වුණු
යුවතියන් ඇන්දේත් ස්විමිං සූට් නොවේ, දිය රෙද්දය!
ඒ තියා 'සවස' නමින් පත්තරයක් තිබුණු විත්තියක්වත්.......... |
ඉතින්, ‘දිය කිඳුරි’ තරගයේ foto එකක් හොයන්නට
විඳපු වධයක්....
මොන, ඒ තියා ‘සවස’ කියලා පත්තරයක් තිබුණු බවක්වත් ජාලයේ නැතිය.
‘සවස’ ගැන හොයමින් හිටි මට හමුවුණු එකම සාක්කිය ඊ තැපෑලෙන් ඊයක වේගයෙන් එව්වේ ‘සිරිබිරිස් උන්නැහේ’ය.
ඩී.බී. ධනපාල මහත්තයා ගැන ගුණදාස ලියනගේ මහත්තයා
ලියූ පොතක ‘සවස’ගැන තිබුණු ඒ සාක්ෂියත් එකම එක වැකියකට සීමා වෙයි.
ඩී.බී. ධනපාල මහත්තයා ‘දවස’ පත්තරයේ කතුකම
කළේය.
දවස නිවසෙන් ඉරිදාට ‘රිවිදින’ (පෝය නිවාඩුව තිබුණු කාලයේ එය ‘රිවිරැස’ විණි.),
සතිපතා ‘විසිතුර’ කලා පුවත්පත, ‘රසකතා’ කෙටිකතා පත්තරය, ‘ටිකිරි’ ළමා පත්තරය,
‘ගීතාංජලී’ කවි පත්තරය, ‘ඉරණම’ ජ්‍යෝතිෂ පත්තරය විතරක් නොවේ, ‘ශ්‍රී’ මාසික
සඟරාවත් ‘ලේක්හවුස්’ - ‘ටෛම්ස්’ ප්‍රකාශනවලට හොඳ තරගයක් දෙමින් තිබුණේය....
ඒ 70
ගණන්වල මුල් හරියේදීය.
පෙනෙනවද නිමල් අයියා හෙමිජ්ජා වගේ .....(සිතුවම- සිතුම් සුධාරකගේ ය.) |
“තවම සවස පත්තරේ ගහනවා නං ඔයාලගෙත් ෆොටෝ එකක්
ඒකට යවන්න තිබ්බා.”
“ඒ මොකෝ?”
“නෑ, ඉතින් ඒකෙ වැඩිය තිබ්බේ බාගෙට හෙලුවෙන්
ඉන්න කෙල්ලන්ගෙ ෆොටෝයි, දික්කසාද නඩුයි.... ම් ම් මිනීමැරුම් එහෙමනේ!”
“පේනවද නිමල් අයියා හෙමිජ්ජා වගේ ඉඳගෙන කියන
කතන්දර? තව මොනවා කියාවිද දන්නෑ, අපි වතුරට බැස්සම. කොයිකටත් ඔයාලා ඉස්සෙල්ලා නාලා
ගොඩ එන්න... අපි ඊට පස්සේ නාගන්නං.”
“ගණන් ගන්න එපා. මෙයාගේ කට ඔහොම තමයි.....
ඕනේ කෙනෙක් එක්ක විහිළුවට යනවනෙ යන්තං දැනගත්තු ගමන්... නිමල් අයියේ, විහිළු නැතිව
කට වහගෙන අපි නාලා ඉඳිමුද?”
විහිළු නැතිව කොහොමද? හාස්‍ය රසය නැතිව
කොහොමද?
රසබර ජීවිතයක් හිමිවෙන්නේ හිනාවෙන්නට දන්නා අයටය. නවමු අත්දැකීම් ලබන්නට
එඩිතර වෙන අයටය!
අපි හරි ආසයි පිස්සු වාට්ටුවෙයි, කොර වාට්ටුවෙයි දෙකේ වැඩ කරන්න.... |
“ඉස්සර නිමල් අයියේ, අපි හරි ආසයි සෙනසුරාදට
පිස්සු වාට්ටුවෙයි, ඉරිදාට කොර වාට්ටුවෙයි වැඩවලට වැටෙනවට....
ඉතින් මාසෙකට-
දෙහෙකට වතාවක් කොළඹ ඇවිත් සෞඛ්‍යදානේ Head Quartersවල නැවතිලා ඉඳලා ඒවායේ වැඩ
කරනවා.....
-සෙනසුරාදා රෑට හරිම ජොලි. නිඳිමරාගෙන ජෝක්ස් කියනවා.... අනෙක කොහෙ
නිඳාගන්නද.... මදුරු විමානෙ.... මකුණෝ ඊට හපන්...”
“කොර වාට්ටුව කිව්වේ?”
“අපි අපි විතරයි එහෙම කියාගත්තෙ. රාජගිරියේ
වික්ටෝරියා විකලාංග නිවාසේටයි එහෙම කිව්වේ...
-අංගොඩ මානසික රෝහල තමයි පිස්සු වාට්ටුව.....
ඒ දෙකටමත් වැඩිය ජොලි අපේ හෙඩ් ක්වාර්ටර්ස්වල හැටි.
ඔයාලගේ FPA වගෙ නෙවෙයි.
ගංගාරාමය ළඟ ලෑලිවලින් වට කරපු ටකරං මඩුවක්.... වහලේ ටකරංවලින් හඳත් පේනවා, හිල්
හින්දා.... එතකොට ඒකෙ tv එකක් තිබුණා.
වහලේ ටකරංවල හිල් අස්සෙන් හඳත් පෙනුණා! |
-අපි වැඩියත්ම සිකුරාදා- සෙනසුරාදා රෑට එහාට
එකතු වෙන්නේ ‘Rio’ එකේ පෙන්නන Adults Only ෆිල්ම්ස් බලන්නත් එක්ක!
ෆිල්ම් එක බලනවට
වැඩිය ආතල් ඒක බලපු නැති අයට ඒකෙ සීන්ස් කියද්දී....
-එතකොට සෞඛ්‍යදානේ පුහුණු කිරීම් ලේකම්
විදිහට හිටියේ, මුල්ලේරියාව හෙද විදුහලේ රාජකරුණා මහත්තයා....අපි කොළඹ ආවම ඒ මහත්තයගෙ ගෙදර වුණත් නවතින්න දෙනවා. එහෙම
තියෙද්දිත් අපි අර ටකරන් මඩුවේ හිටියේ විනෝද හින්දා.
-නවම්
පෙරහැර කිට්ටුව දවසක නං අපිට ඔය ගමන් හින්දා පොලිසි යන්නත් වෙනවා, තව ටිකෙන්. අපි
English film එකක් බලලා ජිනරතන එක ළඟින් එනවා. ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ අපිව
අල්ලාගත්තා.
-මහ රෑ කොහෙ යන කට්ටියක්ද කියලා පොලීසියට බාර දෙන්නයි හැදුවේ. හරි
අමාරුවෙන්, එදා රෑ සෞඛ්‍යදානේ නැවතිලා ඉන්න බව කියලයි බේරුණේ. මං හිතන්නේ ගලබොඩ හාමුදුරුවෝ එහෙම කළේ ඒ පෙරහැරටත් first aid
duty කළේ අපි නිසා වෙන්නැති.”
එදා අරුණලා වගේම, අපි හැමෝමත් කතාවෙන්-
විහිළුවෙන්- විනෝදයෙන් මල්වතු ඔයට බැහැගෙන නාන්නට පටන් ගත්තෙමු.
උපාලිත් මාත් නෑවේ
ඉවුරට කිට්ටුවෙන්ම දියේ බැහැගෙනය.
“අරගොල්ලෝ නං දියකාවෝ වගේ!” උපාලි කෙඳිරුම්
හඬින් කීවේය.
ගලබොඩ හාමුදුරුවෝ අපිට යන්න දුන්නේ අපි ගංගාරාම පෙරහරේ ෆස්ට් ඒඩ්....... |
“උපන් දවසේ ඉඳන්ම වැවේ- ඔයේ බැහැලා නාන
මිනිස්සුනෙ. එතකොට නිකම්ම පීනන්න හුරු වෙනවා.”
එතකොටම....., කොහොම වුණාදැයි හිතාගන්නටවත්
වෙලාවක් හම්බ වුණේ නැත.
පය ලිස්සුවාද එහෙමත් නැති නම් දියවැලකට අහුවුණාද මන්දා,
හිටි ගමන්ම මං හිටියේ මල්වතු ඔය මැද්දේය!
පහළට ගහගෙන යමින්ය!!
වරක් දෙවරක් වතුරේ
ගිලෙමින්ය!!!
කවුදෝ මා අල්ලා ගත්තේය. තදින්ම.....
මල්-මල් චීත්ත රෙද්දක් එහා-මෙහා වෙනවා මට
යන්තමින් පෙනිණි. වතුරෙන් මතු වෙද්දී, කාගේදෝ අතකින් වතුරට පහර වැදෙන හඬත්
යන්තමින් වගේ ඇහුණේය.
ඒ සේරම සිදු වුණේ නිමේෂයක් තරම් කාලයකදී
වෙන්නට ඇතිය.
දිය පාරට මැදිව ගහගෙන යමින් හිටි මාව ඉවුරට ගෙනෙන විට මට පෙනුණේ උපාලි
හොඳටම බිරන්තට්ටුවී ගල් ගැහිලා හිටි ඉරියව්වයි.
එවෙලේ; මහා දවාලේ වුණත් උපාලි තෙතබරිතව,
වෙවුලමින් ගල්බීතව හිටියේය. වෙච්ච හරිය පස්සේ මට කීවේ ඔහුයි.
“ඔයාව ගහගෙන යද්දී කවුරුවත් දැක්කේ නැහැ. අර
ළමයා විතරයි නිමල් අයියව ගහගෙන යනවා දැකපු ගමන්ම ඔයට පැනලා පීනුවේ.....”
එදා නිදි, උපාලි ජයරත්න හා අද අනූ කිරිල්ලවල......... |
“කිරිල්ලීට හොඳට පීනන්න පුළුවන් නිමල්
අයියේ.... ඒ වගේම තමයි.... අපි හැමෝටම වතුරේ ගිලිච්ච එක්කෙනෙකුට ප්‍රථමාධාර
දෙන්නත් හොඳට පුළුවන්.... ඒත් ඔයාට වතුර පෙවුණේ නැහැ නේද?” අරුණ ඇහුවේය.
දිය කිඳුරියන් රංචුවක් වටේටම රොක්වී, දෑස්
දල්වා බලා හිටිද්දී වතුර පෙවුණත් ඒ බව කියන්නට ලජ්ජා නැද්ද?
වතුර උගුරු කිහිපයක් පෙවුණා කියලා මැරෙන එකක්ද?
වතුර උගුරු කිහිපයක් පෙවුණා කියලා මැරෙන එකක්ද?
ඉතින්.....
කිරිල්ලී..... අනූ කිරිල්ලවල.....
ඔයාට
පින්සිදු වෙන්නට මට තවත් අවුරුදු 40ක් විතර ජීවන ගමනේ යෙදෙන්නට අවසර ලැබිණි.
ගොඩාරියක් ස්තුතියි! ජීවිතයක් බේරාගත්තාට වගේම නිදිගෙ පංච තන්තරේට ඒ ගැන පෝස්ටුවක්
ලියන්නට අවසර ලබා දුන්නාටත්෴
මට නම් හිතෙන්නේ කෙල්ලන්ගෙන් කෘතීම ශ්වසනය ගන්න ඕනෑ කමට හිතා මතාම දියේ ගිලුනා කියලයි.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක්!
ස්තුතියි සෑම්. ඔබටත් සුබ අලුත් අවුරුද්දකට සුබාසිරි!
Deleteසමහර දේවල් නම් තියෙනවා, හිතලා කෙරුවත් නොහිතා කළා වගේ පෙන්නන්න ඕනි. ඒත් දෙයියනේ මැරෙන්න ගිහින්....
"මාරයාට අහු නොවී ඉන්න පුළුවන් තැනක් -අහසේ, මුහුදේ, මිහිතලයේ කොතැනකවත් නැහැ" - සහතික ඇත්ත. පස්යාලෙදි පෙරලිලා තිබුන මෝටර්සයිකලයක් නැගිට්ටවන්න උදවුකල කෙනාට වුන අවාසනාවන්ත මරණය දැක්කද.
ReplyDeleteමට ඒ ප්‍රවෘත්තිය දැනගන්න ලැබුණේ ඔයාගෙන් චමි. ස්තුතියි!
DeleteBarefoot doctor යන්නට වඩා ගැලපෙන හෙළ වදන නම් 'හෙලු පා වෙදැදුරු' යන්නය ලොකාතුමණි.
ReplyDeleteඅප්පට සිරි ලොකූ! හෙලු පා.... ඒක වහරන්න ගියෝතින් නම් රජෝ....
Deleteකිරිල්ලි ගොඩට ගෙනාවට පස්සේ අනික් කෙල්ලෝ ටික පෝලිමට කෘතිම ශ්වසනය දුන්නාලු අන්තිම කෙල්ලත් කෘතිම ශ්වසනය දුන්නාට පස්සේත් නැගිට්ටේ නැති නිසා අරුණ කෘතිම ශ්වසනය කරන්න හදද්දී තමයි නිදි ලොක්කා ඇස් ඇරියා කියන්නේ.
ReplyDeleteදිය කිදුරියෝ වාගේ කෙල්ලෝ ගොඩාක් මැද ගිලිලා මලත් සැපයි කියලා හිතුනාද නැත්නම් ප‍්‍රථමාධාර දෙන කෙල්ලන්ගේ එහා මෙහා වෙච්චි දිය රෙදි අස්ස දැකලා ඇත්තටම සිහි නැතිවුනාද?
හරි නැහැ නේද මහත්තයාගේ මිම්මෙන්ම අපිවත් මනින එක?
Deleteවැඩිය හාරා අවුස්සන්න ගියෝතින් කිරිල්ලී ඉතාලියේ මාෆියාකාරයෙක් ලංකාවට එවයි ඔන්න. වතාවකුත් පිහි ඇනුම් කාලා නේද ඉන්නේ?
මගෙ හිතට ආව කමෙන්ට් එක සම්පූර්ණ වශයෙන්ම දැනගැනීම සඳහා, කරුණාකර අසංග රණසිංහ ආරච්චිගේ කමෙන්ට් එක කියවන්න...
ReplyDeleteපරචිත්ත විඥානනයත් තියෙනවා වගේනෙ ඩ්රැකී. නැතිනම් සහකම්පනයද?
ReplyDeleteඇයි අප්පෙ, ඒක කොටන්න පහළට එනකොට, අසංග ඒකම ලියල තිබුණා...
Delete"සහ" නං මංදා, "කම්පණය" නං උනා. :-)
අන්තිමට මට මතක් වුනේ කසාදයකින් කෙලවර වුනු අපේ නෑනගෙ ගඟේ ගිලිල්ල. ඒ නාපු නෑම අද හතරදෙනෙකුට දෙමව්පියො වෙලයි නැවතුනේ.
ReplyDeleteමරුනේ කසුන්. මට එතකොට මතක් වෙන්නේ 'අක්ක නගෝ' ෆිල්ම් එකේ ගීතයේ කෑල්ලක්. නාග ලොවින් නාගලියන් සොයමු ඉතින් ගඟෙහි ගිලීලා."
Delete“නාග ලොවින් ධාතු අරන් කැළණි යන්න හනික වරෙල්ලා“
Delete+++++++++++++++++++++
ReplyDeleteස්තුතියි Pra Jay.
Deleteකෘතීම ස්වසනය දුන්නද ඉතිම් :P
ReplyDeleteඑහෙම කලේ නැති හින්දා වෙන්නැති ඇස් ඇරුනේ.... මේවා දකිනකොට ආයෙම මල්වතු ඔයට පනින්නයි හිතෙන්නේ.
Deleteමාර බේරිල්ලක්නේ
ReplyDeleteඒක නං එහෙමම තමා අජිත්!
Delete