එයාල දෙහිවල, පානදුර චිත්‍ර ඇඳපු කට්ටි වගේ හොඳට ඔර්ගනයිස්ඩ්! |
“මෙහාට එන අතරේ මං දැක්කා මහරගම තාප්පෙක අඳින
කට්ටියක්... දෙහිවල- පානදුර කට්ටි වගේ හොඳට ඔර්ගනයිස්ඩ්... එයාලට දෙමු!” මා කිව්වේ
මුරණ්ඩු ලීලාවෙනි. දැන් පොඩ්ඩක් හෝ දරදඬු විදිහට ඉන්නට ඕනෙය. නැතිනම් මෙයාලගේ
කඩුලු කතන්දර නවතින්නේ නැත.
“ඒක මිසක්... නැතිනම් අපි හතරදෙනා කිඹුලෝ හැටක් කන්න
කියලය....”
“ඇයි මචං... කිරි තේ ටික....”
“හරි, හරි.... හරවගන්නවලකෝ වාහන...... හඳහන් බල-බලා
ඉන්නේ....” මගේ කටහඬ දැඩි - තීව්ර එකකි. ඒකටවත් නෙවිල් අනුරසිරි මෙල්ල නොවෙන හැටි.
“ඔන්න බලපන් මචං... දිසානායකගේ ඊළඟ නෑම..... තමුසෙට පව්
කියලයි ආයෙම මහරගමට එක්ක යන්නේ. නැද්ද පාලි.... මේ බම්බුවෙන් පරිප්පු කන්නේ අපිනේ.
මායි ගවීනුයි ආයෙම කොට්ටාවට එන්න එපැයි තමුසෙව දාලා. පාලිතත් ගොඩගමට යන්න....”
එහෙමත් කියලාය, කාර් දෙකම මහරගමට ආවේ.
පළමු වතාවේ කිලෝ මීටර් 100ක් පා ගමනින් යන වෙලාවේ කළා වගේ....... |
මහරගම බුවෙනකබා මහ විදුහල අසලින් පටන් ගන්නා පරණ පාර යළි
හයිලෙවල් පාරට වැටෙන තැන අසලම තාප්පයේය, මා දුටු පිරිස චිත්‍ර අඳිමින් හිටියේ. ඊට
මෙහා පැත්තේය, මහරගම පොලීසිය ඉස්සර තිබුණේ.
අප එතැනට එනවිටත් එයාලා ගජරාමෙට වැඩය. “යනවා ... තමුසෙම
ගිහින් පච වෙලා එනවකො. මම නම් කාර් එකෙන් බහින්නෙ නැහැ.... මොන ලජ්ජාවක්ද හලෝ...
විහින් පච වෙන්න...”
මතකයිනේ? ඔහොම වෙලාවට
නෙවිල් එහෙමමය. පළමුවරට පාද යාත්‍රාවේ ගිහින් වරහනදී, රෑටය කියලා උයාගත් කෑම සේරම
හමුදාවේ පිරිසකට දන් දුන්නු වෙලාවෙත් එයාලා කළේ එහෙමය. පස් දෙනාම කතාවෙලා කිසිම උදව්වක් නොදී මටම;
තනිවම ආයෙත් උයන්නට ඉඩ හැරීමය.
අද තත්ත්වය ඊටත් වෙනස්ය.
නාඳුනන කෙනෙකු අහසින් කඩා පාත්වී ගෙනෙන බනිස්, තේ බාර ගන්නට
මේ පිරිස කැමති වේවිද? ඊටත් එතැන හිටියේ පාසල් සිසුවන් වැනි අඩු වයසක උදවියත්
නොවේ;
මහරගම හිටි උදවිය රාත්‍රී අඳුර බිඳින්නට.............. |
වයසින් වැඩි, වත්පොහොසත්කමින් වැඩි පිරිසකි. ඔවුන් රාත්‍රී
අඳුර දුරලන්නට flash lights හා ජෙනරේටරයක් පවා යොදාගෙන තිබීමෙන් පෙනුණේ ඔවුනගේ
සංවිධානාත්මක ශක්තියයි.
එතැනම පාරෙන් මෙහා
පැත්තේ නවතා තිබුණු ඔවුන්ගේ වාහන හා මෝටර් සයිකල් ගොඩත් මගේ ඇහැට වැදුණේය. එහෙත්
මොනවා කරන්නද?
ළිඳට වැටුණු එකා ගොඩ ආ යුත්තේ ළිං කටෙන්මය!
හිත දිරිය වඩාගෙන මම ඒ පිරිස අසලට ළඟා වීමි. අඳුනන
කිසිවෙකු නැත. හිටි කිසිවෙකු මාව පයිසෙකටවත් මායිම් කළෙත් නැත..... එතකොට නම් මට
හීන් දාඩිය දාන්නට ගත්තේය............ එයාලගේ සම්පූර්ණ අවධානය යොමුවී තිබුණේ
තාප්පය සැරසීම ගැන විතරය.
සමහරවිට එහෙම වෙන්නට ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
මහතාගේ ප්‍රකාශය නිසාවෙනි.
සිතුවමින් නගර අලංකාර කරන තරුණ පෙළ අගයන්නට අග්‍රාමාත්‍යතුමා කියා තිබුණේ........... |
මෑත දිනයෙක එතුමන් පවසා තිබුණේ ‘සිතුවම් අඳිමින් නගර සරසා
අලංකාර කරන තරුණ-තරුණියන් අගැයීම සඳහා රාජ්‍ය මට්ටමින් සම්මාන පුදන්නට’ කමිටුවක්
පත් කරන බවයි.
(අතීතයේදී ඔහොම පත් කෙරුණු හැට-හුටහමාරක් කමිටුවලින් නම් වැඩියෙන්ම
‘වැඩ සිද්ධ වුණේ’ කමිටු සාමාජිකයන්ටම බවය මේ ලියන මැට්ටාට මතක තියෙන්නේ!)
එහෙම අලුතින් අගැයීම හරිම හොඳය. අලුතින් හිතලා යමක් කරන
අයට නිදහසේ; බාධා කිරීම් රහිතව එය කරන්නට දීම ඊටත් වඩා වටිනවාය.
නදීෂ් දිල්ශාන් දිසානායක 2017 අවුරුද්දේ මේ වගේම රැල්ලක්
පටන් ගන්නට හැදුවේය. අම්බලන්ගොඩ ස්ටේෂමෙන් පටන් ගත්තේය. මාතර, පානදුර, නුවර වගේ
තැන්වලටත් ව්‍යාප්ත කළාලු.
කොයි තරම් වටිනවාද? ‘ඉරිදා ලක්බිම’ පත්තරයට ‘මිහිරාන්
කරුණාරත්න’ ලියා තිබුණු විස්තර දැක්කාට
පස්සේ, මං කතා කරද්දී ඇතිවෙමින් තිබුණු තත්ත්වය නදීෂ් කිව්වේය.
දැන් ඒ ව්‍යාපෘතිය ‘Bookhub’ හබක් වෙලා අහවරය!
නදීෂ්ගේ දුම්රිය මඟීන් වෙනුවෙන් දියත් කෙරුණු bookhub හබක් වුණේ... |
නදීෂ් හැදුවේ දුම්රියේ යන-එන මඟීන්ට කියවන්නට පොත්
සපයන්නටය.
ඒක පුස්තකාලයක් නොවේ. දුම්රිය ස්ථානයේ රාක්කයක තියන පොත් ටිකකි. පොත්
බලාගන්නට නිලධරයෙක් නැත; ගෙනියන ඒවා ගෙනෙනවාද බලන්නට කෙනෙක් හිටියෙත් නැත. දැන් රාක්කය විතරක් ඉතිරිවී ඇත. පොත්
එකක්වත් නැත.
එහෙම පොත් ගල් කරන්නට ඇත්තේ තරුණ පරම්පරාවේ අයද?
ඒ ව්‍යාපෘතියට අකුල් හෙළා තියෙන්නේ කොලු-කුරුට්ටන්ද
කියලා ගිහිල්ලාම කියවා බලන්න. වැඩක් කරන්නට නොගියත්
කරන මිනිහාට අකුල් හෙළන්නට නං ඉල්ලන්කාවේ මිනිස්සු සූරයෝ වෙති! එහෙම මිනිසුන්ය
වැඩියෙන්ම මේ තරුණ චිත්‍ර ශිල්පීන්ට දොස් පවරන්නේ.
හැබැයි දොස් කියනවාට වඩා කළ යුත්තේ, නිසි උපදේශයක්
තරුණයන්ට හිතවත්ව කියා දෙන එකය.
වැඩවලට හෙණ ගහන්නේ ආන්න එතකොටය! |
වැඩවලට හෙණ ගහන්නේ එතැනදීය. එහෙම උපදෙස් දෙන්නට තරම්
පැහුණු - කරුණු දන්නා වැඩි දෙනෙකු දන්නේ මුඳුනේ ඉන්නට; ලොක්කා වෙන්නට විතරය. අලුත්
කට්ටියක්- නව පරම්පරාවක් කල-එළියට බහිනවාට උන්දැලා දක්වන්නේ පුදුමාකාර බයකි!
ඇත්තම කියනවා නම් එදා රාත්තිරියේ මහරගම තාප්පය හැඩ
කරමින් හිටි කට්ටිය ළඟට මා කිට්ටු කළෙත් බයෙන්ය.
ඒ බය වුණේ එයාලාට නොවේ. අපේ අයටය;
නෙවිල්, ගවීන්, පාලිත තුන් දෙනාටය. යම් විදිහකින් හෝ ඒ තරුණයන් අපේ කිඹුලන් ‘එපා’
කිව්වා නම්, මට සිදු වෙන්නේ ‘දිව ඇද කාගෙන නැහෙන්නට’ය. එතැන හිටි හාදයෙකුට මම ඇත්ත
කතන්දරයම කිව්වෙමි.
“...... පන්නිපිටියේ කට්ටියට ගෙනිච්ච සංග්‍රහය ඔයාලට
දුන්නට කමක් නැත්ද?” එහෙම ඇහුවේ අන්තිමටය.
මෙහෙම චිත්‍ර ඇඳලා තිබුණේ කළුතර වැනි තැන් ටිකක විතරය! (foto- දිමුතු ආසිරි ජයවර්ධන) |
එතකොටත් කවුරුන්දෝ ගෙනවුත් දුන් සීත කළ ‘කිරි පැකට්ටු’
ඔවුන් අතරේ බෙදා හැරෙමින් තිබිණි. “කට්ටිය ඉන්නවනේ.... දීලා යන්න අංකල්!” උත්තරය
ඇහුණාම නම් මගේ ඉහේ මල් පිපුණේය!
“මේ වගේ මෝඩයෙක්.... මේ මරාලයෙන් ගැලවිලා යන්න තව කොච්චර
වෙලාවක් ඉන්න ඕනෙද ඉතින්? බලපන්කො මචං.... දැන්
අපට බලා ඉන්නනෙ වෙන්නේ මෙයාලා කිඹුලෝ කාලා තේත් බොනකල්....”
අපේ තුන්දෙනා සෝලි තියන්නට ගත්තෝය.
කිඹුලෝ හැට නම් හිටියේ දීලා එන්නට පුළුවන් විදිහට
කාඩ්බෝඩ් පෙට්ටි දෙකක ඇහිරිලාය. කිරි තේ එහෙම පෙට්ටිවල දමන්නට ඇහැකිද? උණුසුම රැඳී
පවතින විදිහට කිරි තේ දමා තිබුණේ, ලොකු බෝතලයකය.
මාත් කඩිනමින්ම පීල්ල මාරු කළේ වත්මන් දේශපාලුතුමෙකුගේ විදිහ ආදුරුසෙට අරගෙනය! |
“මේක පිටින්ම දීලා යන්නයැ... ට්‍රිප් එකකදී වුණත් තේ
ගෙනියන ලොකු බෝතලේ.... කිසි කරදරයක් නැතිව තේ හැට-හැත්තෑවක් දාගෙන යන්න මට
තියෙන්නේ මෙච්චරයි.... පොඩ්ඩක් ඉවසලා ඉන්නවකෝ!”
දැන් මගේ රැස්පොට් පෙන්වන වෙලාවය. මං
එහෙම කඩිනමින් පීල්ල මාරු කළේ දේශපාලු
මහත්තයෙකු ආදර්ශයට ගනිමිනි.
චිත්‍ර අඳින කල්ලියේ අයට නෑසෙන්නට, නිමල් දිසානායකට
කටු-කුටුවෙන් ආඩපාලි කියමින්ය, එතකොට මගේ තුන් යහළුවන් බලාගෙන හිටියේ.
“තමුසෙගෙ බෝතලේ විතරක්ය? කෙහෙල්මල් ප්ලාස්ටික් කෝප්ප
ටිකත් එකතු කරගන්න ඕනේ නේද? Disposable Cups ටිකක් ගෙනෙන්නේ නැතිව දන්සලට ගන්න
කෝප්ප මෙහෙත් උස්සගෙන ආවා.”
තමුසෙලා වගේ අය නිසයි පොලිතින්-ප්ලාස්ටික් කුණු කඳු ..... (foto- ජෝශප් ඩයස්) |
ඒ කතාවත් ඇත්තය.
අප ඉන්නා අතුරු පාරේ පිරිස එකතුවී
අවුරුදු පතා දෙන දන්සලට පාවිච්චි කරන ප්ලාස්ටික් කෝප්ප ටිකකි; මා රැගෙන ගිහින්
තිබුණේ!
“තමුසෙලා වගේ මිනිස්සු නිසා තමයි හලෝ, ප්ලාස්ටික් -
පොලිතින් කුණු කඳු ගොඩ ගැහෙන්නේ.... ඩිස්පෝසබල් .... ආච්චිගෙ රෙද්ද! දැන්
ජනාධිපතිතුමාත් රැස්වීම්වලදී වතුර දෙන්නෙ වීදුරු බෝතල්වල.... ආදර්ශෙට ගන්නවා....”
මම සද්දයක් දැම්මෙමි.
“තවමත් මේකගේ කටේ හයිය නං අඩුවෙලා නැති හැටි.... මේ වැඩේ
ඉවරවෙලා ගියාම මචං, වීදුරු බෝතලේක කොටයක් නං තියෙනවා. අපිට යන්තමට ඇති... ඔන්න
දිසානායක, අපිට බයිට් එකක්.....”
“ආයේ බයිට් හදන්න නං බැහැ රජෝ ..... මගේ වැඩේට උදව්වට
ඇවිත් ඔහෙලව බඩගින්නේ යවන්නයැ කියලා මම නූඩ්ල්ස් ටිකක් නං වේලපහින් හදල තියලයි මේ
ආවේ .... ඩයට් එකටයි බයිට් එකටයි දෙකටම ඒක අරගන්න එකයි ඇත්තේ....”
වත්තල, හැඳල කොල්ලන්ගේ මේ වැඩේ නම් මල් හතේ එකකි! |
“ආන්න මචං නිමල් අයියගේ ක්‍රමේ.... යුතුකම් ඉටු කරන්න
දන්නවා.... ආදර්ශෙට ගන්න තියෙන්නේ මේවනෙ....” පාලිතත් කිව්වේ එතකොටය.
මගෙන් ආදර්ශ ගැනිල්ල කොහොම වෙතත්, හොඳ දේවල් ආදර්ශයට ගැනීමට
වත්මන් තරුණ පෙළ අතරේ ඇති උනන්දුව මදිය කියලත් මට හිතෙයි. සිතුවම් අඳින්නට ඇතිවුණු
උනන්දුව ඊටත් වඩා හොඳ වැඩවලට නැතිවා වගෙය!
මෑත දවසකදී ඉතා අගනා ප්‍රවෘත්තියක් මගේ ඇහැට වැටිණි.
වත්තල, හැඳල ගමේ තරුණ නඩයක් එකතු වෙලා නගරයේ මංමාවත්
දෙපැත්තේ කුණු ගොඩගැහිලා, අවහිර වෙලා තිබුණු කානු පිරිසිදු කරන්න පටන්ගෙන.
අනේ සාදු! දැන් හැම තැනම මේ රැල්ලත් පැතිරිලා යාවි. මට
සිතිණි.
මොන.... කුණු වැඩක් නොවුණත් ගඳ ගහන වැඩක් හින්දද කොහෙද හැඳල කොල්ලන්ගේ
වැඩේ තව පැතිවලට පැතිරිලා නොගියා වගේය, පෙනෙන්නේ.
සමහර පොලිසිවල මහත්තුරුන්ට නම් තියෙන බව පෙනෙන්නේ වෙන-වෙන policy වගෙය! |
ඒ රැල්ල වගේම තවත් එකක් උතුරුකරේ අලුතෙන් පටන් ගෙන
තිබිණි.
කිලිනොච්චියේ, කෝනාවිල් යුනියන්කුලම් ගමේය. කියවුණු
විදිහට නම් ගමේ කසිප්පු පෙරන්නන් ඒ රාජකාරිය කරමින් ඉඳලා
තිබුණේ, කුඹුරුවලට වතුර ගෙනයන ඇල පාරවල් හරස් කරගෙනය.
ගමේ ගැටවුන් එකතුවී පෙරන
ආම්පන්න, බූලි, බැරල් චප්ප කර දමලාය. ඒ පළාතේ පොලිසිවල කට්ටිය එහෙම කසිප්පුවන්ගේ
විස්තර දන්නවා වෙන්නට බැරිය.
තවමත් සමහර පොලිසිවල උදවියට තියෙනවා වගේ පෙනෙන්නේ
වෙන-වෙන policy විතරය කියලත් මට නම් හිතෙයි! අනේ, මං වැරැදි වේවා!!
පොලිසිය හරියට ක්‍රියාත්මක නොවෙනවාම වුණත්, රටේ
පුරවැසියන් නීතිය අතට ගන්නට යාම හොඳ ප්‍රවනතාවක් නොවේ. විශේෂයෙන්ම තරුණ පෙළ.....
එහෙම වුණොත් වරදින්නට තිබෙන ඉඩ වැඩිය.
ගිය මාසයේ දවසක අපි හඟුරන්කෙත ගියෙමු.
(අවුරුදු 23ක්
තරම් ඈත කාලයක එහිදී මා දුටු) ගල් බරුවක්; ගල් බෝලයක් හොයාගෙනය අප එහි ගියේ.
1996දී අධිකාරිගමට යන පාරේ හිටි ‘ජයසේකර
මහත්මයා’ය ගල් බරුව ගැන ඔත්තුව මට දුන්නේ.
“හඟුරන්කෙත වැව් දෙකක් තිබුණා. ඉහත්තාවෙන් තිබ්බ වැව
ගොඩකරන්න යද්දී තමයි ඒ ගල් බෝලේ හම්බ වුණේ.”
ඔත්තුව ඔස්සේ ගිහින් ‘බෝලය’ හොයාගත්තත් එදා මට foto
කෑල්ලක් ගන්නට කල්පනා වුණේ නැත.
අහම්බෙන් ඔය විස්තරය Pra Jay හිතවතාට කියවුණු විගසම ඔහුට
යටගියාව හාරා අවුස්සන්නට ඕනෑ විණි. ඉතින් Praගේ කාර් එකෙන්ම අපි එහි ගියෙමු.
සිරිබිරිස් උන්නැහෙත්, ‘නිදහස් සිතුවිලි’ අකුරු කරන රවිත්, නෙවිලුත් සාක්කියටය!
1848 කැරැල්ලට සහභාගී වුණු හඟුරන්කෙත වීර ඩිංගිරාළ පරම්පරාවේ කේ.එම්.එච්. ජයසේකර මහත්තයා............... |
අනේ, ගල් බෝලය ගැන ඇහූ-දුටු කෙනෙකුවත් හොයාගන්නට
බැරිවිය. බහුශ්‍රුත ‘චමිලානි ජයසේකර’ මහත්තයාවත් නොදන්නාකොට....
ඒ ගමන ගැන වෙනම
ලියන්නට තරම් දේවල් රැසකි.
දැනට කියන්නේ මෙච්චරය. අපේ ගමන් සගයන් මාව ‘හම නොගැහුවා
පමණි!’
හඟුරන්කෙත ඉන්න තරමක් ඉන්නේ ජයසේකරලාය.
වීර ඩිංගිරාළ පරම්පරාවෙන් පැවතෙන ඇත්තන්ය.
1996දී මට හමුවුණු ජයසේකර මහත්තයාගේ ඥාතියෙකු වන කටුගස්හින්නේ
ඒ.ජේ.එම්.නවරත්න බණ්ඩා ජයසේකර මහත්තයා ගැන ඔත්තුවක් නම් ‘චමිලානි’ මහත්තයා
දුන්නේය! ඊළඟට අප ගියේ එහාටය....
ඒ නවරත්න මහත්තයා ඉතා ළෙන්ගතුව විස්තර කීමෙන් නොනැවතී
1848 මැයි 9 දාතමෙන් යුතු ඔප්පුවක් හා පොත්පත් රැසක් පවා අපට පෙන්නුවේය!
ඒ ගම ගැන,
ගමේ මුතුන්-මිත්තන් ගැන ආඩම්බරයෙනි.
කටුගස්හින්නේ සිතුවම අබියස ඒ.එම්.දයා බණ්ඩා, නවරත්න බණ්ඩා ජයසේකර මහත්වරු.... පැරණි ඔප්පු කොටස්වල ෆොටෝද මෙහි එබුවේ ඓතිහාසික වටනාකම හින්දාමය! |
එයාලාත් වීර ඩිංගිරාළ උන්නැහේ ඉන්නා ‘ග්‍රැෆිටි’
සැරසිල්ලක් නිර්මාණය කරවලාය.
තොරතුරු එක්කාසු කරමින්, පැය ගණනාවක් තිස්සේ හඟුරන්කෙත
සැරිසරද්දී අප ගොඩවුණු හැම නිවහනකම ඇත්තෝ අපට සංග්‍රහ සත්කාර කරන්නට සැරසුණහ. සංග්‍රහ
විඳින්නේ කොහොමද?
රවිගේ පාද පරිචාරිකාව අපට ප්‍රනීත දිවා භෝජනයක් හදාගෙන
අප එනතුරු බලා ඉන්දදී....
ඒකට රෑ හතට විතර පේරාදෙණියේ පැණිදෙනියට යද්දිත් තාප්ප
සරසන අය වැඩය. ‘දෙමුද මෙයාලටත් කිඹුලෝ ටිකක්?’ රවිත් ඇහුවේය!
(ඒවා ගැන රවී නිදහසේ සිතුවිලි කරනවාය කියලාත්
නිල නොවෙන ආරංචියක් ලැබිණි. මොනවා ලියාවිද මන්දා?)
කොහොම වුණත් හඟුරන්කෙත සැමදෙනාටමත්, රවීලා ජෝඩුවටත්
ස්තුතියක් කරන්නේ අප හැමෝම වෙනුවෙනි.
කටුගස්හින්නේ උදවිය වාගේ ගමට- පළාතට අදාළ දේවල් රටටම
පෙන්වන්නට වීදි සිත්තරුන් හිතට ගන්නවා නම් ඉතිහාසය සංරක්ෂණයකුත් සිදු වේවි නේද?
තවත් පිරිසකට රිදවන්නට හෝ ගරහන්නට හෝ වීදි සිතුවම් යොදාගැනීම නම්.......... |
ඉතින්, රජ කාලේ දියේ ගිල්වනවිට පාවිච්චි කළැයි කියැවුණු
ගල් බරුව හොයන මගේ උත්සාහය මෙදා වැරැදුණේ එහෙමය.
එහෙම වුණත් තවත් කෙනෙකුට වරදිනවා දකින්නට මා කැමති නැත.
ඒ ප්‍රතිපත්තිය නිසාමය හොඳ දේවල් තව-තවත් පැතිරෙනවා දකින්නට ලොකු ආසාවක් මට
තිබෙන්නේ. මොන තරම් හොඳ ගති තිබුණත් සමහරුන්ගේ හිතේ නම් තෙතමනයක්; මානව දයාවක් නැත.
මට එහෙම කියවුණේ හේතුවක් නැතිවම නොවේ.
තාප්ප පින්තාරු කිරීම හොඳය; පරිසරය ලස්සන කිරීමත් හොඳය!
හැබැයි ඒකෙන් තවත් පිරිසකට ගරහන්නට හෝ අනවශ්‍ය රිදවීමක් කරන්නට හෝ යාම හොඳ නැත.
ඉතා කලාතුරකින් තැනෙක තවත් ආගමක, ජාතියක උදවියට රිදවන්නට තැත් කර තිබුණු හැටි
දුටුවෙමි. දුර-දිග නොසිතීම නිසා සාමය වෙනුවට යුද්ධය ඔජ වඩා තිබෙන හැටිත් දැක්කෙමි.
පුරන් කුඹුරු අස්වද්දන නාලක සේනාධීර මහත්තයලට හරි කිඹුලා බනිස් ටිකක් ගෙනිහින් දෙන්න ඕනේ නම්....... |
තරුණ පරම්පරාවේ අය ග්‍රැෆිටි කලාවේ ඉතිහාසය, අරමුණු හා
පැවැත්ම ගැන අධ්‍යයනයක් කරලා ඉඳීම ප්‍රයෝජනවත් වෙන්නේ එතැනදීය.
“නිමල් අයියේ, ඔයාට ඕනේ නං අපි හෙටත් එන්නම්. පුරන්
කුඹුරු අස්වද්දන කට්ටියට හරි කිඹුලෝ දානයක් ගෙනිහින් දෙමු!” ගවීන් කිව්වේ ‘කොටය’
හමාර කරලා අවසානයේය.
“ඔව්, ඔව්... නිමල් අයියේ. මාත් එන්නං.” පාලිතත්
මුක්කුවක් ගැහුවේය. “එතකොට නම් මචං, මටත් එන්න වෙනවනේ. දිසානායක මොකද
කියන්නේ.....” නෙවිලුත් හොට දැම්මේය.
“මොනව කියන්නද? මං තවම තරහෙන් ඉන්නේ. අර යක්ෂ පැටියා තවම
ෆෝන් එකට ආන්සර් කරන්නෙවත් නැහැනෙ, මොකද වුණේ කියලා අහගන්නවත්.”
අහක දමන ප්ලාස්ටික් බෝතලවලින් නත්තල් ගහක් හදන වැල්ලවත්තේ තරුණ කල්ලිය.... |
“ඔන්න රියල් දිසානායක එළියට පැන්නා. මුලින් කිව්වේ අර
මල්ලිලා.... අර දරුවෝ... දැන් යක්ෂ පැටියා....” හීනියට වැදිලා හිටි නෙවිල් කිව්වේ
ඇත්තකි.
මගේ හැටි එහෙම තමාය. මා ඒ බව හංගන්නේ නැත. වගකීමෙන් තොරව; අක්‍රමවත්ව වැඩ
කරන අය ගැන මට තරහය.
ඉවත දමන ප්ලාස්ටික් බෝතලවලින් නත්තල් ගහක් හැදුව
වැල්ලවත්තේ කල්ලියට ඒ රාජකාරිය මෙවරත් කරන්නට පුළුවන් වෙන්නට ඇත්තේ වගකීමකින්
යුතුව කලින් ඒ වැඩ කළ නිසාය.
හිතේ කොස්ස තියාගෙනම පන්නිපිටියේ පිරිසෙන් කෙනෙකුට
මුහුණු පොත හරහා මා පණිවිඩයක් යැව්වේ ඊට පසුවදාය. මා හා දුරකථන සාකච්ඡාව කළ තරුණයා
තවමත් කතා නොකළත්, මුහුණු පොතේ තරුණයා සිදුවුණු දේ ගැන කනගාටුව ප්‍රකාශ කළේය!
“මොරකැටියේ පිරිවෙණේ තාප්පේ චිත්‍ර කර්මාන්තය තවම ඉවර
කරලා නැද්ද? කොච්චර හොඳ වැඩක් උනත් දැන් ඒ ව්‍යාපෘතියත් අභාවයට යන බවකුයි
පෙනෙන්නේ. මීට සති තුන හතරකට කලින් අපේ තාප්පෙත් (ආනන්දේ ළඟ) චිත්‍ර අඳින්න
අම්මාගෙන් අහලා, අම්මා කැමැත්ත දීලා තිබුනා. නමුත් ඊට පස්සේ ඒ ළමයි පැත්ත පලාතෙවත්
ආවේ නැති බවකුයි කිව්වේ.”
සැලසුමක්; දැක්මක් ඇතිව හොඳ වැඩ කරන අයට පැසසුම් හිමි විය යුතුමය! |
“මොනවා වුණත් අපි එයාලට පුළුවන් උදව්වක් කරමු
නිමල්.” සේරම විස්තර අහගත්තාට පස්සේ මර්වින්, පාලිත, දයානන්ද, ගවීන් හා නෙවිල්
කිව්වෝය. ඒ මගේ හිත හදන්නටත් එක්ක වෙන්න ඇති. හැබැයි, එයින් වුණේ තවත් හිත බිඳුණු
එකය.
තරුණ පිරිස හමුවුණු වෙලාවේ මට පෙනුණු විදිහට කැපී
පෙනුණු උප නායකයන් දෙතුන්-දෙනෙකුගේ දුරකථන අංක එවන්නැයි මුහුණු පොතේ තරුණයාට කියා
යැව්වත් උත්තර නොලැබිණි. මම උදව් දීමේ ව්‍යාපෘතියට
තිත තිබ්බෙමි.
“දිසානායක තව පාරක් නාන්න ගිහින් බේරුණා!” දැන් මගේ හිතවත්තු කියති.
මේ නූතන තාරුණ්‍යයේ වගකීම් විරහිතකමද කියලා මට
තවමත් තේරුම් ගන්නට බැරිය.
ඒ ගැන වැඩි දුරටත් සිතන විට, මට ඇතිවී තිබෙන ලොකුම
ගැටළුව ගැනත් කියන්නට වෙයි!
ඉඩ තිබෙන හැම තැනකම සිතුවම් අඳින්නට කප්පරක් කට්ටිය හිටියාට
ඒවා නඩත්තු කරන්නටත් එපමණ පිරිසක් හිඳීවිද?
අද කවුරුන්වත් තෙත බදාමයේ ශාඛසාර- ලාටු- යොදා හැදූ සායම්වලින්.... (සිතුවම- සිතුම් සුධාරක) |
අද කවුරුන්වත් තෙත බදාමයේ සිතුවම් අඳින්නේ නැත. ශාඛ සාර-
ලාටු මැලියම් වගේ දේවල්වලින් තීන්ත හදාගන්නෙත් නැත.
එබැවින් මේ තාප්පවල, බිත්තිවල අඳින චිත්‍ර එච්චර කාලයක්
අල්ලා හිටින්නටත් ඉඩක් නැත. ඒවා පතුරු ගැලවෙන්නට ගත්තාම..... දුර්වර්ණ වෙන්නට පටන්
ගත්තාම.....
ඉතින් ඒ පිළිබඳව විධිමත් වැඩ පිළිවෙලක් යොදන්නට වෙන්නෙත්
රජයටම නම්, එය මහජන මුදල් ගිලින මකර කටක් වෙනවාට කිසිම සැකයක් නැත.
මට ඒ සිතිවිල්ල ඇති වුණේ අශෝක ලක්මාල්ට පින් සිදු
වෙන්නටය.
හරියටම කියනවා නම් අශෝකගේ මුහුණු පොතේ තිබුණු post එකක්
දැක්කාමය. අපූරු පින්තූරයක් එක්ක තිබුණු වැදගත් ප්‍රශ්නයක්
හින්දාය. ප්‍රශ්නය මේකය.
අශෝක ලක්මාල්ගේ මුහුණු පොතෙන් මා දුටුවේ අපූරු foto එකක් එක්ක තිබුණු වැදගත් ප්‍රශ්නයකි! |
‘රට ලස්සන කරන තවත් පිරිසක් - කවුරුත් කතා නොකරන්නේ
පඩියට වැඩ කරන නිසාද?’
තාප්පවල චිත්‍රත් යළි පින්තාරු කරන්නට; නඩත්තු කරන්නට
වෙන්නේ වැටුපට සේවය කරන පිරිසකටමද?
ඒ ගැනත් අප දැන් තියාම හිතන එක හොඳයි වගේය෴
මහරගම පොලිසිය වෙන තැනකට ගෙනිච්චා කියලා දැන ගත්තේ අදයි.
ReplyDeleteඔයාගේ නූඩ්ල්ස් බයිට්/ඩයට් එක කියෙව්වාම පරණ සිද්ධියක් මතක් උනා.
80 දශකයේ දිනක හදිසියේම මිතුරන් කට්ටියක් අපේ ගෙදරට බොන්න සෙට් උනා. එකල ඒ ගෙදර හිටියේ මම විතරයි. දහදෙනෙකු පමණ වූ ඒ කට්ටියට ඩයට් එකට (බයිට් එකට නොව) ලේසියට "හරිස්චන්ද්‍ර'' නූඩ්ල්ස් රාත්තලේ පමණ ලොකු පැකට් 3 ක් හැදුවා. මටත් කුකිං හැකියාව තියන නිසාත්, මගේ ගෙදර නිසාත්, හැමෝම වැඩේට සම්මාදං උනාට, හෙඩ් කුක් උනේ මමයි. තෙම්පරාදු කරපු එළවලු, බිත්තර සහිතව සර්ව් කරපු ඒක හැමෝම රසයි කියා කෑවා. කොච්චර වෙරි උනත්, සෑම නූඩ්ල්ස් රළකම ඉතාම කුඩා අළු/සුදු පැහැති කෙඳි (ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩා ) සිය දහස් ගණනක් තියන බව මම දැක්කා. මේක අනිත් අයට කියලා ඉල්ලං කන්න උවමනා නැති නිසා මමත් සද්දේ වහලා කාලා නිකං හිටියා. පහුවදා අපේ ගේ ඉදිරිපිට කඩේ අන්කල් ට මම නිකමට මේ කතාව කිව්වා. මොකද මම නූඩ්ල්ස් ගත්තේ එයාගෙනුයි. එයා එකවරම රාක්කෙන් පැකට් එකක් අරගෙන කඩලා බැලුවා. දැකපු දේට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ. ඒ පැකට් එක ඇතුලේ නිව්ස්ප්‍රින්ට් කඩදාසියේ මුද්‍රණය කරපු ඩිමයි සයිස් කොලයක්, හාෆ් ට්‍රයි ෆෝල්ඩ් කරලා එක ෆෝල්ඩ් එකක එක භාෂාව බැගින් භාෂා තුනෙන්ම නුඩ්ල්ස් වල උපතේ ඉඳලා විපත දක්වාම විස්තර අච්චු ගහලා තියනවා. අපේ නූඩ්ල්ස් එක මෙච්චර රස වෙන්න හේතුව රිසිපි එකත්(එකක් නොවේ, තුනක්) එක්කම උයාපු නිසායි. නූඩ්ල්ස් තම්බපු එකා පැකට් කපලා ඔක්කොම උණු වතුර මුට්ටියට දැම්මා මිසක් ඇතුල බලලා නැහැ. කාලයක් යනකම්ම කඩේ අංකල් "පුතා ලඟදි නූඩ්ල්ස් හැදුවේ නැද්ද ?" කියලා අහනවා.
ඉතින් හොඳයිනේ සෑම්. දැන් කොච්චරවත් කියනවනේ fiber - කෙඳි සහිත ආහාර වැඩියෙන් ගන්න කියලා.
Deleteහොඳ වෙලාවට එව්වා ඩිමයි කඩදාසිවල ප්‍රින්ට් කරලා තිබුණේ.... ආර්ට් පේපර්වල එහෙම නම් පිඟන් මැටිත් කැවෙනවා!
ඔයාත් පන්නිපිටියේ නිසා කියන්න හිතුනේ.
70 ගණන්වල මහරගම පොලිසිය තිබුනේ ඇල්හේන පාර අද්දර තිබුණු ඉඩමක ඇතුලට වෙන්න. දැන් ඒ හරියේ කඩ පේලියක්. සුපර් මාර්කට් එකක් තියෙන්නේ ඒ හරියේ. එතනට ඉස්සරහින් - (හයිලෙවල් පාරේ අනෙක් පැත්තේ) දැන් ලේඩි ජේ බිල්ඩිම.
ඊළඟට පොලිසිය ගෙනිච්චේ පෝස්ටුවේ කියපු පරණ පාරේ කෙළවරට. පරණ පාරේ ඉඳලා රේල් පාරට යනකල්ම තියෙන ඉඩමක්. ඒ ඉඩමෙන් කෑල්ලක වෙන්න ඕනේ දැන් ලාෆ්ස් පෙට්‍රල් ෂෙඩ් එක තියෙන්නේ. ඒ 80 ගණන්වල.
ඊටත් පස්සේ තමයි දැන් පොලිසිය තියෙන (ජනාධිපති විදුහලට නුදුරු හරියේ) ස්ථිර තැනට ගෙනිච්චේ.
හපොයි , පත්තර කෑලිත් කෑවද 😄
Deleteකාලා නෙවෙය් කැවිලා නේද?
Deleteමරු කතාව.. කියවගෙන ආවා. අර හඟුරන්කෙත ගල් බෝලෙට ස්වීප් එක ඇදුන හැටි මට නම් හිතාගන්න අමාරු නැහැ. මෙහෙත් තාප්ප චිත්‍රයක් අඳිනවා.
ReplyDeleteමිෂන් එක තවම ඉවර නැහැ, අඟහරුවානෙනි. මේ දවස්වල මම හිතමින් ඉන්නේ ඒක ට්‍රේස් කරවන තව ක්‍රම ගැන.
Deleteගල් බෝලයේ හිමිකරුවී සිටි මහලු මහත්තයා කීව හැටියට නම්, එතන දෙකක් තිබිලා. මිනිස්සු රන්-රිදී-මැණික් ඇතුලේ ඇතිය කියලා එකකට කුළුගෙඩි පහර දීලා ඒක කුඩු කර දමලා. අනෙක තමයි මම දැක්කේ, දර ගොඩක දමලා තියෙද්දී.
දැන් Pra Jay මහත්තයා ඉතිහාසඥ මහත්මයෙකුගේ සහාය ලබමින් ඒ ගැන වියහැකියාවන් හඹා යමින් ඉන්නේ.
රජ කාලේ ස්ත්‍රීන් දියේ ගිල්වූ බව ඇත්ත වුනත්, මේ ගල් බෝල වෙනත් දෙයකට භාවිත කළ බවට මතයකුත් දැනටම අහන්නට ලැබිලයි තියෙන්නේ.
බලමු. පංච තන්තරේ කියවන රසික-රසිකාවන්ගේ වාසනාව තමයි, අපට තොරතුරු ලැබුණොත්. ඉදිරියේදී ලියන්නයි බලාගෙන ඉන්නේ!
අපි ඒ හඟුරන්කෙත ගමන යද්දී දුම්රිය කෞතුකාගාරේට යැවුණු එක නිසානේ ඔයා ගැන දැනගන්න පාර කැපුණේ. තවම අඟහරු අඩවියෙන් https://angaharuwa.blogspot.com/ කියෙව්වේ කෝච්චි ගැන විතරයි. ආයේ ගොඩ වෙන්නම්.
මම ඇවිත් කියවල ගියා. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි, කටයුතු කීපයක් උඩ... ඒ නිසා නිදහසේ අදහසක් ලියන්න අමාරුයි.
ReplyDeleteඒකට මොකෝ? මට වුනත් හොඳටම වැඩ වැඩිවෙන දවස් තියෙන නිසා මට ඒක තේරුම් ගන්න අමාරු නැහැ, ඩ්රැකී. ස්තුතියි වැඩ අස්සේ වුණත් එනවාට!
Deleteබනිස් එයාර් ෆ්‍රයර් එකේ හැදුවනම් උන් කයි
ReplyDeleteඇත්තමයි Pra Jay. රවිට කියන්න ඕනේ නෝනා මහත්තයගෙන් අහලා රෙසිපිය එවන්නැයි කියලා.
Deleteතරුන පරපුර වගකීම් විරහිත නෑ නිසි නායකත්වය හා කාලකැප කරන්න හැකි ෙසෙට් ඒකක් තමයි ඔ්නි.
ReplyDeleteමධු. වගකීම් විරහිත වගේ දැනෙන්නේ කැප කිරීම හා නිසි මඟ යාම අඩුවෙන වෙලාවටයි.
Deleteමම තරුණ පෙළ විශ්වාස කරනවා. හැබැයි අඩුපාඩුත් දකිනවා.
ඒ වගේම මතක තියාගෙන ඉන්නවා මන් තරුණ කාලේ කරපු ගොන්කම් ගැනත්.
කියෙව්වා. රවී අයියා කිව්වේ අපේ රවියටද ? දැන් හැමෝම සෙට් වෙලා ගමන් ය්නව් අවගේ
ReplyDeleteඔව් ඔව් අජිත් මහත්තයෝ, නුවර රවී තමයි. එතුමාත් අපේ ගමනකට එකතු වුණු එකම වතාව තමයි ඒ.
Delete