යකුන් බලන්නට රිටිගල ගිය ගමනේදී .... |
අනේ අම්මාපල් මේකට ගිය කලක්?
මේ පෝස්ටුව දකිද්දී, අපේ
හක්ස්ලි මහත්තයාට හිතෙයි කියලා මට හොඳටම විශ්වාසය.
‘චිත්තම්මා’ පෝස්ටුවෙදීත් මම හක්ස්ලි පෙරේරා මහත්තයාගේ යෙදුමක් ‘පිරුවටයට ඉල්ලා ගෙන දැම්මත්’ ඒ බවක් ලියන්නට නොගියෙමි. ඉල්ලා ගත්තේ ‘තව අවුරුදු පනහකින් විතර’ කෑල්ලය. තමන් වහන්සේ ‘බ්රූස් ලීගේ ලොකු අයියා’ය කියා පම්පෝරි ගහන හක්ස්ලි පෙරේරා අපේ මිත්‍ර සමාගමේ වයෝවෘද්ධයාය.
‘යකුන් බලන්නට ගිය යක්කු’ පෝස්ටුවෙදී කියූ පරිදි අප ගිය සංචාරයේදී මේ කියන ‘ලී අයියා’, මීගමුවේ සම්පතුත්, මාත් එක්කම වගේ රිටිගල නැංගේය.
අනෙක් නඩේ ඉස්සර වී හිටියහ. (එහෙම ඉස්සර වුණාය කිව්වේ, කොළේ වහලා ගැහිල්ලකි. අප තුන්දෙනා හිටියේ අන්තිමටමය. ඒ බැරි-බැරියාව හින්දාය.) හක්ස්ලිටත්, මටත් එහෙම බැරි වුණේ වයස නිසාය; සම්පත්ට බැරි වුණේ ‘කොසොල් රජ්ජුරුවන්ගේ වගේ’ තිබුණු බඩ ගෙඩිය හින්දාය.
එච්චර බඩ ගෙඩියක් තියෙන කාලයේදීත් මේ නූතන කොසොල් රජ්ජුරුවන් වහන්සේ 2013 දී, STF කට්ටියකට නෙළලා හිර ගෙදරත් තැප්පේය.
'වළං කඩේ' සම්පත්, WAL ප්‍රියන්ත, නෙවිල්, ඇඹුල්දෙනිය හා බ්රූස් ලීගේ අයියා හක්ස්ලී (වමේ සිට) 2018 අප්‍රේල් 29 ගත් ඡායාරූපයකි. |
ඉතින් කියාපල්ලකො, වළං කඩේ කතන්දරෙත්.
ඒ දවස්වල සම්පත් රස්සාව කළේ, අපේ සුමිතුරු ලලිත් ප්‍රියන්තගේ ‘වල් කන්ස්ට්‍රක්සන්ස්’ ආයතනයේය; ‘නාවින්න මෙඩි කෙයාර්’ ගොඩනැඟිල්ල ඉදි කෙරෙද්දී සුපර්වයිසර්වරයෙකු වශයෙනි.
“කියන්නත් ලජ්ජයි නිමල් අයියේ. එදා අපි කොන්ක්‍රීට් slab එකක් දැම්මා එළිවෙනකල්... පාන්දර ඉවර වුණේ. ආයෙ ටිකක් හරි rest කරලා ගෙදර යනවට වැඩිය හොඳයි, ගෙදරම ගිහින් නිඳා ගන්නවා කියලා හිතාගෙන එහෙමම පිටත් වුණා... Wash එකක්වත් දාගෙන නෙවෙයි, සිමෙන්ති දූවිල්ලෙන් නෑවිච්ච ගමන්, පෙරේතයා වගේ...” සම්පත් කිව්වේය.
නිඳි මරලා පාන්දර මෝටර් සයිකලෙන් මීගමුවට යද්දී නින්දට වැටුණු සම්පත්ට ඇහැරුණේ වළං, මල් පෝච්චි කුඩුපට්ටං වෙන සද්දෙටය! |
එහෙම පිටත්වී මීගමුවට යන අතරමඟදී මේ පුතයාට නින්ද ගිහින්, මෝටර් සයිකලය පාරෙන් ඉවතටත් පැනලාය. බයිසිකලය නැවතිලා තියෙන්නෙත්; සම්පත්ට ඇහැරී තියෙන්නෙත් එක විඩේමය!
හැළි-වළං-මල් පෝච්චි කුඩු-පට්ටං වෙන සද්දෙටය!!
ඒ බව කියන ටෙලිෆෝන් කෝල් එක ඇහෙද්දී මගේ මනසේ ඇඳුණේ, පරසිදු අම්බලමේ පිනා කවියයි. ඒ එක්කම ‘අකල් මරණෙකට හවුල්වී’ පෝස්ටුවේ කියැවුණු ‘සම්පත් පුංචිහේවා’ නීතීඥ හිතවතායි. තව ඩිංගෙන් ඒ සම්පත් මෙන්ම මේ සම්පතුත් සමාදානයේ සැතපෙනවාය.
වාසනාවට වගේ සම්පතාට ඉස්පිරිතාලෙකට යන්නට තරම් කැඩුම්-බිඳුම්-සීරුම්-තුවාල නොවුණේය; කඩේ අයිතිකරුවන්ට අලාභය ගෙවා නිදහස් වෙන්නට පුළුවන් වුණේය. ඒත් කරුමේය කියන්නේ- සම්පත් රණසිංහට හක්ස්ලි අයියා පබැඳූ නමෙන් ගැලවෙන්නට බැරිවීමය. ‘වළං කඩේ!’
ඔහොම humorous හක්ස්ලි අයියාට මදිය නොකියන්නම හිනා ගියේ ‘මාරක හී පහර’ නාට්‍යය ගැන කතන්දරේ එයාට කියූ දවසේය.
'මාරක හී පහර' 'මහ සමයම' වැනි දැවැන්ත නාට්‍යයක් නොවේ; පොසොන් නාට්ටියකි! |
(මගේ බ්ලොගය කියවනවාට හක්ස්ලි පෙරේරා මහත්තයා ජපන් කොම්පැනියකින් වැටුපකුත් ලබන නිසාදෝ, සමහර ඒවාට කමෙන්ටුවකුත් දමයි. නිදිගෙ පංච තන්තරේට පළමුවෙනි කමෙන්ටුව දමමින් ලී මහත්තයා කිව්වේ ‘සාම ජාතක කතන්දරේ’ ලියනතුරු ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලාය!
Huxley Perera April 9, 2018 at 11:21 PM
Interesting. I am eagerly waiting to read Poson Drama Sama Jathakay !!!
ඒ
තරමටම හක්ස්ලිට මේ කතන්දරේ අලකලංචිය හිතට අල්ලලාය!)
ඔන්න දැන් කියන්නට යන්නේ ඒ කතන්දරේ; බ්රූස් ලීගේ වැඩිමහල් සොහොයුරාට එදා නොකී විස්තරත් එක්කම!
මතකයිනේ, මහරගම හන්දියේ පෙන්වපු පළමුවෙනි වේදිකා නාට්‍යය විදිහට- අපි 1966 ‘අජාසත්ත නාට්‍යය’ රැඟුවා. ඊළඟට නැටුවේ අබරන් මාස්ටර්ගේ විධුර.
ඒකෙදිනේ, නා රජ්ජුරුවන්ට ඇඳපු නිහාල් ලියනගේ අයියාට ‘රෝමන් style’ එකට අන්දවලා, දන්නෙම නැතිව නාග මාණික්කේ පෙනෙද්දී කොල්ලෝ හූ තිබ්බෙත්!
සිරිත් දන්නා අමරේ අවුරුදු දවසක අපේ ගෙදරට ගොඩ වැදුණේ තෑගිත් අරං... |
ඊළඟට තමයි, මේ ‘මාරක හී පහර’ වේදිකාගත කෙරුණේ. ඒ ගැන කියද්දී අමරේ ගැන කියලා ඉන්නම වෙනවා.
වත්තේගෙදර පාරේ ‘අමරේ’ මාව හඳුනාගත්තේ අර නාට්‍ය දෙකින් එකක රසිකයෙකු විදිහටද, එහෙමත් නැතිනං මං ‘පේව්මන්ට් එකේ රජවෙද්දී’ ඒවා නැරඹූ ප්‍රේක්ෂකයෙකු විදිහටද කියලා නම් මට මතක නැහැ. ඒවා කොහොම-කොයි හැටි වෙතත්, අපි දැන-හඳුනාගෙන සතියෙන්- දෙකෙන් වගේ අමරේ අපේ ගෙදරටත් ආවා. අපේ තාත්තාගේත් හිත දිනාගත්තා. මනුස්සයා ඒ තරමටම අහිංසක පාටයි; අවංක පාටයි; ලැදියි.
ඒ ගතිය වැඩියත්ම පෙනුණේ එයා හිනා වෙද්දී. හිනාවෙනකොට එයා නොවැරදීම වාගේ අතින් කට වහගන්නවා.
ලජ්ජාවට? .... පිස්සුද, ලජ්ජාවට නෙවෙයි, ඒ මනුස්සයාගේ ඉස්සරහ දත් පහ-හයකම බාගය බැගින් තිබ්බ හින්දා. කොයි තරුණ හාදයාද කැමති, තමන්ගේ ලොඹු කට එළියෙ දාගෙන හිනා වෙන්න?
අමරේගේ ඔය දත් කතන්දරේ හින්දා දවසක් මං අපේ පිය මහ රජ්ජුරුවන්ගෙන් ගුටිත් කනවා, තව ඩිංගෙන්.
අලුත් අවුරුද්දක් ලබපු දවසක් ඒ. සිරිත්-විරිත් දන්නා අමරේ බිස්කට්- කැවුම්- කෙසෙල් ගෙඩි බෑගයකුත් උස්සාගෙන අපේ ගෙදරට ගොඩ වැදුණා. මාත් වචනෙන්-දෙකෙන් මනුස්සයාට ඇයි-හොඳයි කියලා, කරමින් හිටි වැඩේටම බැස්සා. ‘අමරෙට තාත්තා එක්ක කතා කර-කර ඉන්න බැරියැ’ කියලා හිතාගෙන.
ළඟ ගෙදරක කොලු කුරුට්ටොයි අපේ ගෙදර හැච්චො-බැච්චොයි එකතු වෙලා....
අපේ
ගෙදර දරු පිරිවරයි, ළඟ ගෙදරක කොලු-කුරුට්ටොයි එකතු වෙලා වාද බයිලා කියමින් තමයි,
අපි අවුරුදු නිවාඩුවෙන් කොටසක් ගෙවමින් හිටියේ, අමරේ එනකොට.
අමරෙව අපේ තාත්තාට පංගාඩම් කරලා, මං බයිලා පිටියට යනකල් එයාලා ‘commercial බ්රේක්’ එකක් අරගෙනයි හිටියේ. “හුරේ... අපේ ලොකා ආවා. හරි... ආයි පටන් ගමු....” කට්ටිය මාව පිළිගත්තේ හුරේ දාලා.
අපි ආයෙමත් බයිලා කියන්න පටන් ගත්තා.
කියනවා කිව්වේ ගිරව් වගේ තමයි. අපෙන් කාටවත්ම බයිලා ගොතන්න බෑ. හැබැයි, අරයා-මෙයා කියනවා අහගෙන ඉඳලා කටපාඩම් කරගෙන තිබ්බා.
ඒ කාලේ ඉස්කෝලේ ළමයින් ගොඩ දෙනෙකුත්, ටීචර් කෙනෙකු නැති පීරියඩ් එකක් පුරා කළේ බයිලා කියනවා වගේ වැඩ! එහෙම කටපාඩමින් බයිලා කියන්න දක්ෂයින් තමයි ඒ දවස්වල වැඩියත්ම හිටියේ.
හිටි ගමන් අමරේ අපේ ගෙදරින් එළියට බැහැලා, කඩා-බිඳගෙන යනවා දැක්කත් මට කිසි ගනිච්චියක් වුණේ නෑ. වෙනදට නං මනුස්සයා ඔහොම මටත් නොකියම ආපහු යන සිරිතක් නැහැ. ඒත්, බයිලා පිටිය හොඳටම උණුසුම් වෙලා තිබුණු නිසා මාත් එහෙමම හිටියා.
මං ආලවක තාත්තා ළඟට ගියා! |
ආ,
අන්න තාත්තා ජනේලෙන් එබුණා. “රංජි, මෙහාට වරෙන්!” ගෝරනාඩුවත් ඇහුණා.
“අනේ තාත්තේ.... තව ඩිංගයි.... මේක ඉවර වෙනකල්......”
“හොඳ හිතින් උඹ මෙහාට එනවද, මට පව් නොදී..... නැත්තං මං ඔහාට එන්නද?”
බයිලා තරගෙ බල්ලට ගියා. මං ආලවක තාත්තා ළඟට ගියා.....තාත්තා රකුසු මූණෙන් ඔරවාගෙන.
“තොට මොළයක් කියලා එකක් ඇත්තෙම නැද්ද?”
මේ මොන මරාලයක්ද යකඩෝ? දන්නවනෙ... එහෙම වෙලාවට තූෂ්ණීම්භූතව ඉන්න එක තමයි නුවණක්කාරම වැඩේ. මම හැකිතාක් අහිංසක පාටින් යුතුව, එකත්පස්ව බලාගෙන හිටියා; සීරුවෙන් නෙවෙයි හලෝ, හොඳටම අසීරුවෙන්. පළමුවෙනි ප්‍රශ්නය නොගෙන හිටියට, දෙක එහෙම කරන්න බැරි එකක්....
“උඹ මොකක්ද අර කිව්ව බයිලේ?”
ඒ වෙලාවේ කියපු බයිලා මතක තියෙන්න මම වොලී බැස්ටියන් නෙවෙයිනේ.... |
ඒ වෙලාවේ කියපුවා මොකාටද මතක තියෙන්නේ? ඊටත් බය බිරාන්ත වුණාම අතැඹුලක්සේ දන්නා දේවලුත් අමතක වෙනවනේ! ඒත් දිගටම නිරුත්තරව හිටිල්ලත් අපේ තාත්තාව කේන්ති ගැස්සිල්ලක්. “මොකක්ද තාත්තේ....”
“මොකඩ්ඩ ටාට්ටේ.... උඹ මො..ක..ද්..ද දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්ව බයිල එක.... යකෝ, තොටත් මොළේ නැද්ද? අර ලොම්බා ඉන්න වෙලාවෙම ඒක කියන්න... ඒ මනුස්සයා තේ එකවත් නොබී එළියට බැහැල ගියේ.... ආයෙ මේ පැත්ත පළාතේ පස් පාගන එකක් නැහැ... දැන් ඉතින් විරෝගෙන හිටපං... මෝඩ හරකා! මෙතනිං පලයන් ඉතින් මගේ දෑහැට නොපෙනී...”
අන්තිම
හරියෙදී නම් මටත් හුස්මක් වැටුණේය. ඒ අන්තිම හරිය කියද්දී අපේ තාත්තා හිටියෙත්
හිනාව හිර කරගෙනය!
අර ලොම්බා!
ඒ සේරම වුණේ එක බයිලා පදයක් නිසාය. ඒ පදය මට තවමත් මතකය. ‘කොහේ ඉඳන් ආවද මේ දත් නැති ලොම්බා’. ඒ දෙවෙනි පදයයි. දැනටමත් දහ-දොළොස් දෙනෙකුගෙන් අසා බලා ඇතත්, ඒ බයිලාවේ පළමු පදය දන්නා කෙනෙකු හමු වුණේ නැත.
ඉතින් එතැනින්ම එදා අපේ මහා වාද බයිලා තරගය නතර වුණේය.
අපිත් මෙදා සැරේ නාට්‍යයක් කරන්නයි යන්නේ, පොසොන් එකට.... |
ඒත්
එදා කාටවත් නොකියා, දඩි-බිඩියේ අමනාපයෙන් වගේ පිටත්ව ගිය අමරේ, ආයෙත් අපේ ගෙදර පස්
නොපාගා හිටියේ නැත; ආවේය. ඒ ආවේ පංකාදු පහේ යෝජනාවකුත් අරගෙනය.
“ගුණපාල අයියේ... අපිත් මෙදා සැරේ පොසොන් එකට නාට්‍යයක් පෙන්වන්නයි යන්නේ.....”
“හොඳයිනෙ...”
“ඒක නේන්නං.... සාම ජාතකය. ඔන්න ගුණපාලයියේ, බැහැයි නොකියා රංජි මල්ලිවත් මට ඒකට ඕනෑ... අපේ මාමා තමයි ඒ නාට්ටියම කරමුය කිව්වේ.... එදා රංජි මල්ලී අපේ ගෙවල් ගාවදි ඒකාංගික නාට්‍ය දර්ශනේ කරපු වෙලාවේ (ඒ ගැන කලින් පෝස්ටුවකදී කීවෙමි. එහෙත් link එක නොදමන්නේ හිතා-මතාමය. ඔන්න, ‘කොලොම්පුරේ’ අසංග රණසිංහ ආරච්චි මහත්තයෝ, ‘පලිඟු කිරිල්ලී’ ලියමින් ඉන්නවා මිස, අමරේගේ සුල-මුල හොයා ගත්තත් ප්‍රසිද්ධ කරනවා හෙම නෙවෙයි!) අපේ මාමත් ඒක බලන්න ආවා.
මාමට රංජි මල්ලිව හිතට අල්ලලා, හොඳටම. මාමා කියනවා, වෙල්යාය පාරේ කෙලවරේ තැනක නාට්‍ය කරමුය කියලත්....”
ඉන්දීය නිළි රේඛාගේ තාත්තා ජෙමිනි ගනේෂන්ට මේ කියන 'පෙම් රැල්ල' තිබුණේය! |
අමරේ දිගටම කියාගෙන ගියේ නළලට වැටී තිබුණු පෙම් රැල්ල හොලවමිනි.
ඒ කාලේ උදවියට නම් ඔය ‘තරුණ හාදයන්ගේ පෙම් රැල්ල’ මතක ඇතිවාට සැක නැතිය. මට මතක හැටියට නම් ඒ රැල්ල ජනප්‍රිය වුණේ ඉන්දීය නළු ජෙමිනි ගනේෂන් හින්දාය. (ජෙමිනි තියා, හින්දි තිරේ ගිනි සිලුවක්වූ එයාගේ දෝණි රේඛාටවත් දැන් එතරම් තැකීමක් නැත.)
එතකොටත්- සරම කමිසය අඳින අමරේ, අතින් කරකවා හදාගත් කෙහෙ රැල්ල නළලට දමාගෙන ඇවිද්දේ නළු උණකින් පෙළෙන්නෙකු මෙනි.
ඉතින්, නිදිගෙ පංච තන්තරේ දිගටම කියවූ කෙනෙකුට නම්, අමරේගේ කතාවට කන්දී හුන් අපේ තාත්තාගේ සොබාවය අමුතුවෙන් කියන්නට උවමනා නැතිය!
අද උදේ ‘තට්ටයාගේ කොලම’ බ්ලොගයෙන් ‘මපුතු වසික වෙත සෙනෙහසින්! - (දෙවැනි එක) පෝස්ටුව කියවද්දී නම් මට ඇඬුණේය. එහෙම වුණේ අපේ තාත්තාගේත්, මේ තාත්තාගේත් වෙනස සිහිවෙලාය.
“මගේ හිතේ තිබුණේ ජපානෙ සයිකල් ගෙන්වන තැනකින් ඔයාට සයිකලයක් අරන් දෙන්න. ඒ වුණාට මම මම ඒක ඔයාට කියන්න ගියේ නෑ. ඔයා ඒ කාලේ ඉස්කෝලෙ එකේ දෙකේ විතර.
තාත්ති, ඒක 6,500ක්ලු!... අම්මෝ හොඳටම වැඩියි.....
ඉතින් අපි දෙන්නා ජපන් සයිකල් ගේන තැනකට ගියා. මට පේනවා වැටට අස්සෙන් නිල්පාටයි කහ පාටයි බ්‍රිජ්ස්ටන් බයිසිකලයක්. බයිසිකලේ අපි දෙන්නා දිහා බලාන හිටියා! දැක්ක ගමන් මගේ හිත ගියා. මම ඔයාට ඒ බයිසිකලේ පෙන්නලා ඇහුවා ‘පුතේ ඔයා අර බයිසිකලේට ආසද?’ කියලා.
ඔයාගේ දෑස් ආශාවෙන් දිළිසුනා!
“ඔව්! ඒක ගම්මුද?” ඔයා උත්තර දුන්නා.
“හරි පුතේ!
ඔයා ගිහින් ගාන අහගෙන එන්නකො! මා ගාව රුපියල් 3000ක් තියෙනවා!” මම හොඳටම දැනගෙන
හිටියා 3000 ට ඒ සයිකලේ ගන්න බැරිවෙන බව.
ඔයා
ගේට්ටුවෙන් ඇතුළට ගිහින් ඒ යාඩ් එකේ හිටපු කෙනෙක්ගෙන් සයිකලේ ගාන අහලා පිම්මේ
දුවගෙන ආවා මා ගාවට!
“තාත්ති! ඒක
6500ක් ලු!”
“අම්මෝ, හොඳටම
වැඩියි! එච්චර සල්ලිත් මා ගාව නෑ! ඔයා පුළුවන් නම් ගිහින් 3000කට ඉල්ලන්න!”
ඔයා ආයෙත් ඇතුළට ගියා. ගිය පයින්ම ආපසු ආවා. “අන්තිම 5000ක් දෙන්නලු!”
එහෙම වුණා නම් බ්ලොගයක් ලියන්නට...
“ඉතිං අපි ගාව
එච්චර සල්ලි නෑනෙ! අන්තිම 3500ක් දෙන්නම් කියන්න. ඔයා කියන්න අපි ගාව එච්චර සල්ලි
නැති බව!”
මේ විදියට ඔයා
දෙතුන් වතාවක් ඒ-මේ අතට ගියාට පස්සෙ සයිකලේ 4000කට ගණං බැස්සා. “ගන්නවා නං අන්තිම රුපියල්
4000ක් දෙන්න කිව්වා!” ඔයා මට කිව්වේ ඇස්වල කඳුළු පුරෝගෙන! ඊට පසුවයි මම ඒක ඔයාට
අරං දුන්නේ.
ඒක අයිති කරගන්න ඔයා කරපු කැපවීමකුත් තිබුණා! ඔයා ඒක ගන්න සෑහෙන කට්ටක් කාපු නිසාම ඔයා ඒක ආදරෙන් පරිස්සම් කළා......”
කඳුළෙන් පිරුණු දෑසින් යුතුව ඒ පොස්ටුව ගෙඩිය පිටින්ම කියවලා ඉවරවී මම කමෙන්ට් එකක් දාන්නට මුල පිරුවෙමි; කෙටුවෙමි කවි පද දෙකක්...
ඔබ වන් පියෙකු ඇයි බැරි වුණෙ ලබන්නට
කියලත් දුකක්
හිතුණා මේ ‘දරුවා’ට
එතකොටම කල්පනා වුණා අපේ තාත්තාත්, වසික පුතාගේ තාත්තා මෙන් නොවීමේ වාසිය. කොටන්න ගිය කවි පද දෙක අමතක කළා. වෙනින් දෙපදයක් කෙටුවා. ‘හැම නරකකම හොඳකුත් හැංගිලා තියෙනවනේ!’
අපේ ගෙදර තීරණ ගැනීමේ අයිතිය තිබ්බේ නිසි බලධර තාත්තාටය. ඒවාට බලපෑමක් කෙරුවා නම් ඒ... |
එහෙම වුණා නම් බ්ලොගයක් ලියන්නට
මතක ගොඩක් ලැබෙයිද මේ මොට්ටයට?
ඉතින්.... අපේ ගෙදර කිසිවෙකුට තීරණ ගැනීමේ අයිතිය නොතිබිණි. එය තිබ්බේ නිසි බලධාරියා වුණු තාත්තාගේ අතේය. ඉඳහිට හෝ ඒකට බලපෑමක් කළා නම් ඒ අපේ අම්මා පමණකි.
අමරේගේ කතාවෙන් පස්සේ, මං බලාගෙන හිටියේ තාත්තා කට අරින තුරුය. ඒ වෙද්දී අපේ පොසොන් නාට්‍යය ගැනත් යන්තම්-සන්තම්-පදම් සූදානමක් තිබිණි.
“අමරේ..... වැඩේ නම් හොඳයි... ඒත් පොඩි පරහකට තියෙන්නේ අපිත් පොසොන් එකට නාට්‍යයක් කරන එකයි. දන්නවනෙ.... මේ තුන්වෙනි සැරේ..... මහරගම දන්නා කියන හැමෝම දැන් අහ-අහ ඉන්නේ මේ සැරෙත් නාට්‍යය පෙන්නනවා නේද කියලා. ඉතින් කොහොමද අපේ මිනිහා එකම දවසේ දෙපොළක නාට්‍යවල ඉන්නේ?”
“මං ඔය විත්තිය අපේ මාමට කිව්වා ගුණපාල අයියේ. ඔයාලගේ නාට්‍යවල ප්‍රධාන නිළිය ඉතින් රංජි මල්ලිනෙ....”
එක්කෝ සිංදු බෑ, නැත්තං නැටුම් බෑ... ඒවා පුළුවන් අයට ඇක්ටිං බෑ! (සිත්තම- සිතුම් සුධාර) |
“ඒකනෙ අමරේ. ගෑනු ළමයි කිහිප දෙනෙක්ම බැලුවා.... ගෙවල්වලින් එවන්න කැමති ගෑනු ළමයින්ට එක්කෝ නටන්න බෑ.... එක්කෝ සිංදු කියන්න බෑ.... ඒවා පුළුවන් අය හිටියොත් හොඳට ඇක්ටිං බෑ... අපේ මිනිහටත් තව අවුරුදු දෙක තුනකින් නිළියට ඉන්න බැරි වෙයි උගුරු ඇටේ කැඩෙනකොට! ඒවා තව පස්සෙනෙ... මේකට මොකද කරන්නේ?” තාත්තා ඇහුවේය.
පෙම් රැල්ල සලිත වුණේය.
“අපේ මාමා කිව්වා ඔය ප්‍රශ්නේ ආවොත්, අපේ නාට්‍යය පොසොන් දවසෙම නැතිව ඊට කලින් ඉරිදා හරි, ඊට පස්සේ ඉරිදා හරි පෙන්නමු කියලා.... අපි දවස වෙනස් කරගන්නං.”
අපේ තාත්තා කල්පනාවකට වැටුණේය. තව මොනවද හිතන්නේ? හා කියන්නකො තාත්තේ...
ළඟදී අපේ අයස්මන්ත මහත්තයා වැඩිපුරත්, මං වහන්සේ අඩුවෙනුත් (එකතුවී ලියූ) පෝස්ටුවකදී කිව්වා වගේ ඒ කාලේ මාත් නාසිසිස්ට් කෙනෙකු වුණාවත්ද, අභ්‍යන්තරයෙන් හිස් බවක් හැඟුණු? වේදිකාවේ රංගනය ඒ දවස්වල මට දැනුණේ එතරම්ම සාඩම්බරයක් විදිහටය!
සර්වාභරණයෙන් විභූෂිතව....... අංග රචනයෙන් රූමත්ව.... පැය කිහිපයකට හෝ නරඹන්නන්ගේ දෙනෙත්වල අංජනය වීම කොතරම් භාග්‍යයක්ද? ආඩම්බරයක්ද?
මමත් 'උඩින් ඔපේ - යටින් හපේ' ඇති 'නාසිසිස්ට්' කෙනෙකු වීම්ද? |
“අමරේ.... මොකුත් හිතන්න එපා.... මම මේ ඇත්තම කියන්නේ. අපේ නාට්‍යය පටන් ගත්තම ආධාර එකතු කරන්න යන්න ඕනේ. පහුගිය දෙපාරමත් මේකාගෙ listවලින් තමයි වැඩිම කලෙක්ෂන් එක තිබ්බේ..... එහෙම එකතු කරන්නේ නාට්‍යයටනේ....
ඒකට ගියාය කියලා අපි බඩගින්නේ ඉන්නයැ. රංජිට කළුබෝවිල ඉස්පිරිතාලේ ළඟට යන්නත් වෙනවා, පනං හතරක් හම්බ කරං එන්න.... නොගියොත් අපි බඩගින්නේ.... ඉතින් මේකට වෙලාවක් තියෙයිද ඔයාලගේ රිහසල්වලටවත් එන්න....”
අනේ......
ඉල්ලීම ඒ අයුරින්ම ඉටුකරන්නම්.
ReplyDeleteගොඩක් ස්තුතියි අසංග.
Deleteඔය සාමජාතකේ නාට්‍ය අහපු දවසේ මම හිතුවේ ඉල ඇට ටික කැඩෙයි කියල..
ReplyDeleteඔස්ටියෝපොරසිස් තියෙනකොට එහෙම තමයි මහත්තයෝ....
DeleteThis comment has been removed by the author.
ReplyDelete“Children begin by loving their parents; as they grow older they judge them; sometimes they forgive them.”
ReplyDelete― Oscar Wilde
සහතික ඇත්ත. එතකොට තමයි Pra Jay මහත්තයෝ, ජීවිතේ මොකද්ද කියලා තේරුම් ගන්න පටන් ගන්නේ .......
Deleteඅනික් කොටස එනකල් මොකවත් කියන්නෑ.
ReplyDeleteඒකට මොකෝ.
Deleteඅර හක්ස්ලි මහත්තයට වගේ අමාරුකම් එහෙම නැහැ නේද?
අර වල් ප්‍රියන්ත කියල ප්‍රසිද්දියේ අපහාස කරන එක හරිද කෙනෙකුට :)
ReplyDeleteඅජිත් මහත්තයෝ, එයා අපේ හොඳම මිත්‍රයෙක්.
Deleteමට මල්ටිපල් මයෙලොමා කියලා දැනගත් වෙලාවේ බෙහෙතක් තියෙනවා නම් පිටරටකින් හරි ගෙන්නමු, යන වියදම මම බලා ගන්නනම් කියලා කියපු කෙනා.
අපේ දහ-දොළොස් දෙනාගේ මිතුරු නඩේ tripsවලින් 99%කම ගිහින් තියෙන්නේ එයාගේ වාහනේක. හුඟක වියදමත් එයාගෙන්. ළඟදීම පොස්ටුවකින් ලියපු චිත්තම්මාගේ ලොකු පුතයි ඒ.
එයාගේ නම W.A.L. ප්‍රියන්ත.... එයාගේ ඉදිකිරීම් සමාගම W A L කන්ස්ට්‍රුක්ෂන්ස්. ඒ නිසා හැමෝම එයාව දන්නේ වල් කන්ස්ට්‍රක්ෂන්ස් එකේ වල් ප්‍රියන්ත කියලයි.
මුල් කාලීන බ්ලොග් POSTS රැසකත් වරින්-වර මම මේ බව ලිව්වා!
ඉතිරි හරිය හිතා ගන්න පුළුවන් නේද?
මුල කොටසක් හොයාගෙන කියවන්න ගත්තා. නිදීගේ කතා ඔක්කොම කියවන්න ආසයි. හෙමිහිට බලන්නම්.
ReplyDeleteගොඩක් ස්තුතියි පැතුම්, වැඩ අස්සෙම වෙලාව හොයාගත්තට!
Delete