li Item

Sunday, February 16, 2025

හතලිහේදී... දොළොස්වෙනි කොටස

‘ඒ දුර්ගන්ධය මුඛ දුර්ගන්ධයක් විතරක් නෙවෙයි නේද. ඒගොල්ලො සමහරු කන කෑමවල තියෙන අධික කුළුබඩු සාන්ද්‍රණය (intensity) නිසා දහඩියවලට ඒ දුර්ගන්ධය එකතු වෙලා තියෙන්නෙ. නිමල් කලින් ගිය වෙලේ එහෙම අත්දැකීම් තිබුනෙ නැත්ද.

අවාසනාවට ඒ සමහර අය මේ ලෝකෙ deodorant කියලා ජාතියක් තියෙනවා කියලා දන්නෙත් නෑ.’  Lotus රසිකාවිය සඳහන් කරලා තිබ්බේ එහෙමයි.

හැබෑටම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වගේ ප්‍රොජෙක්ට්ස් කොච්චර ගොඩක් දියත් කරන්න වෙයිද එහෙම අයව දැනුවත් කරන්න?

//ඒ සමහර අය // ඒ කියන්නේ මිනිස්සු...

මිනිස්සු කී දෙනෙක් විතර මේ මිහිතලය මත ජීවත් වෙනවා ඇද්ද? (මිනිස්සුය කියලා කියන්න බැරි අමනුස්සයො වගේ මිනිස්සුත්- හිස, කඳ, බඩ, ගාත්‍රා සේරම තියෙද්දී තිරිසන් සත්තු වගේ ජීවත් වෙන මිනිස්සුත් ඔක්කොම මිනිස් ගොඩට දාලා ගණන් බැලුවොත්...

එහෙම අහලයි මං වහන්සේ ‘හතලිහේදී 11 කොටස’ නැවැත්තුවේ.

Lotus කියල තිබ්බ deodorant ගැන විතරක් නෙවෙයි, කොලෝන්, සෙන්ට්, අත්තර්, සුගන්ධ තෛල ජාති හැම එකක් ගැනම දන්න; නිතිපතා එව්වා පාවිච්චි කරන posh මිනිසුන්ගෙන් වැඩි දෙනෙකුත් දැන-උගත් ගොඩටයි වැටෙන්නේ. වත්-පොහොසත් ගොඩට නෙවෙයි; නිකංම නිකං පොහොසත් ගොඩටයි වැටෙන්නේ.
වත්කම් අතරෙන් එකක් වෙන පරාර්ථකාමී දැනුවත්කම- අනුන් ගැනත් හිතීමේ; තැකීමේ පුරුද්ද ඒ ගොඩක් අයගේ ළඟ නෑ!
හැබෑටම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වගේ ප්‍රොජෙක්ට්ස් කොච්චර ගොඩක් දියත් කරන්න වෙයිද එහෙම අයව දැනුවත් කරන්න?

අර ‘මිනිස්සු කී දෙනෙක් විතර මේ මිහිතලය මත ජීවත් වෙනවා ඇද්ද?කියන ප්‍රශ්නය මං ඇහුවේ තවත් විස්මිත කතාවකට පාර කපා ගන්නයි...
(ඒ කතාවට කලින් මේ කියන්න යන ගණන් හිලවු ටිකත් මතක තියා ගනිමුකෝ. සිරි ලංකාවේ ජනගහනය දෙකෝටි 31 ලක්ෂයකට වඩා වැඩිය. ලෝක ජනගහනය කෝටි අටසියය පැනලාය.)

බැක්ටීරියා කටේ - මෙච්චර බුදාම්මියෝ
දන්නවාද ඔයාගෙ කටේ කොච්චර බැක්ටීරියා ප්‍රමාණයක් ඉන්නවද කියලා.
ඇහුවොත් පුදුම වෙයි. සංවේදී අය කියවන්නේ නැතුව හිටියත් කමක් නෑ.
මේ ලෝකෙ මිනිස්සු කොච්චර ඉන්නවද? සෙල්ලං ගාණක් නෙවෙයිනෙ නේද?...’
(මේ වදන් මගේ නෙවෙයි. ‘ටකබුං’ගෙ. ‘ටකබුං - හැම රෙද්දම’ අඩවියේ මේ විස්තර පළවෙලා තිබ්බේ 2018 ජුනි 27 වෙනි බදාදයි!)
‘...එහෙනං දැනගන්න මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු ගාණට වඩා බැක්ටීරියා ප්‍රමාණයක් කටේ ජීවත් වෙනවා කියලා.
සරලව කිව්වොත් එක දතක බැක්ටීරියා මිලියන 400ක්, බිලියන 1ක් අතර ප්‍රමාණයක් ඉන්නවලු. සරල නෑ නේද?
පුදුම සංතෝසයක් එන්නෙ අම්මපා ඕං!’

එහෙම බලනකොට කිර්පාල්ගේ මුඛයේත් අටසිය කෝටියකට වැඩියෙන් බැක්ටීරියාවන් ජීවත් වෙන්නැති!
ඒ සා විශාල ජීවී හෙණ ගෙඩියකින් නිකුත් කෙරුණු දුර්ගන්ධමය වායු දහරාවක් ‘පැයට හැතැප්ම 100ක* විතර වේගයෙන්’ ඔබේ දිහාවට එල්ල වුණොත්... මළ හත්තිලව්වක් නේද වෙන්නේ?
(*කිවිසුමක වේගය පැයට හැතැප්ම 30 ඉඳලා 100 විතර වෙනවලු!)

එදා වුණේ ඒක!

එතකොට නං ආලවකයා මගේ හිස මුඳුනටම නැඟගෙන උන්නේ...

මගේ පැත්තට හැරිලා කතා කරන්න එපැයි කියලා ඒ වෙද්දීත් කිහිප සැරයක්ම මං කිර්පාල්ට කියලයි තිබ්බේ. ඒ යක්ෂ පැටියා ඒක වැඩිය මායිම් නොකළට මොකද. එදත් කිර්පාල් මොනවදෝ කියන්න මගේ පැත්තට හැරුණා. එතකොටම අර යක්ෂ පැටියගෙ මූණ විකෘති වේගෙන- වේගෙන ගියා...

වෙන්න යන සංගදිය තේරිලා; මට මුහුණ පැත්තකට හරවගන්නවත් ඉඩක් හම්බ වුණේ නෑ!

හච්චෝඃ!!!
ඒ යකාට තඩි කිවිසුමක් පලච්චි...
අප්‍රසන්න කුණු ගන්ධකේ විතරක් නෙවෙයි- කෙළ බිඳිති වැස්සකුත්...

එතකොට නං ආලවකයා මගේ හිස මුඳුනටම නැඟගෙන උන්නේ...
දවස් ගණනක් තිස්සේ කියාගන්න බැරිව හිත අස්සේම හිර වෙවී හිටි සේරම මගේ කටින් එළියට ගැලුවා. කැඩිච්ච ඉංගිරිස්වලින්... සිංහල වචනත් උදව්වට අරං... වැඩියත්ම අතපය මුහුණකට භාවිතයෙන්....
මං හිතන්නේ හෙමිනුත් නෙවෙයි! වෙඩි පුපුරණ සද්දෙන්!!

බල්නූරුයි, සමීරායි දෙන්නත් මගේ අයනින් ටේබල් එක ළඟට ආවේ දුවගෙන. අහීර් මහත්තයා වේදිකාවේ කොනක හිටගෙන ‘මගේ හටන’ හොඳහැටි නරඹමින් උන්නු විත්තියවත් මට කිසිම ගනිච්චියක් වුණේ නෑ.

මම ඔයාලට කලින් කියල තියෙනවනේ. මට තදින්ම තරහ ගියොත් ‘හෝ’ ගාලා ඇඬෙන්න ගන්නවා. ඒ හින්දාම තරහ ගියොත් මං කරන්නේ කතා නොකර ඉන්න එක. එහෙම කරන්න බැරි වෙච්චි නරකම වෙලාවක් ඒ!
“Why... වයි බ්‍රදර්? What හැපනින්?” බල්නූර් මගේ පිට අතගාමින් අහද්දී මට තවත් ඇඬුණා.

උඹ මොකක්ද කළේ කියලා සමීරා කිර්පාල්ගෙන් ඇහුවා. ඒකා උරහිස් දෙක අකුළලා අහිංසක පාට පෙන්නුවා.
ඔන්න ඒ වෙලාවෙයි, අහීර් මහත්තයා එතැනට සම්ප්‍රාප්ත වුණේ.
“Tell me, What happened, Nimal?”
මං පැමිණිල්ල ඉදිරිපත් කළා. කිර්පාල් කිඹිහුම අරිද්දී අතින්වත් කට වහගත්තේ නැති විත්තියත් මගෙන් කියැවුණා.

“ඕ කේ, O K, Calm down... කාම් ඩවුන් නිමල්...” මට එහෙම කියන ගමන්ම Mr. Aheer වටපිට බැලුවා.
“... බල්නූර් කෝ අපේ අමන්?”

කවුද අමන්?

බල්නූර් සමීරා දිහා බැලුවේ ප්‍රශ්නයට උත්තරේ දෙන්න කියලා එයාට කියනවා වගෙයි. “මම අඬ ගහන්නං.” සමීරා ඉක්මන් ගමනින් ගිහිං අමන්ව එක්කගෙන ආවා. ‘ආ, එහෙනං මෙයයි අමන්!’
අමන්ට කිර්පාල්ගේ තැන ගන්නයි කියලා, අහීර් මහත්තයා කිර්පාල්ව ඔෆීසි කාමරයට එක්කං ගියා. බල්නූර් අමන්ට කිව්වේ දිග කතාවක් විත්තියයි පෙනුණේ. මගේ නමත් කිහිප සැරයක් එයාගෙන් කියැවෙනවා මට ඇහුණා.

බණත් අසා දන් දුන්නොත් නෙවෙද අගේ

ඒ කතන්දරේ කියවෙන වෙලාව තිස්සේ මගේ ඇස්දෙක වැඩි හරියක් මහන්සි වුණේ අමන්ගේ රූපය එකේක කෝණවලින් focus කර ගන්නයි.

අමන් හැන්ඩියෙක්. කහපාටට හුරු සුදු පාටයි. කොණ්ඩය දිගට වවලා. කැරලි නොගැහී උරහිසට ගලා හැලුණු ඒ කොණ්ඩය ඒ කඩවසම් හාදයාගේ නෙත්කලු පෙනුම තවත් වැඩි කළා වෙන්නැති. ඇත්තමයි, අමන් හින්දි නළුවෙක් වගෙයි. එයාට නළුවෙකු වෙන්න බැරි වෙන්න ඇත්තේ, එයා එච්චර උස කෙනෙක් නොවිච්ච නිසා වෙන්නෝනි...

සේරමත් හරි, ඒ ගාමන්ට් ෆැක්ටරිය ඇතුළේ අමන්ගේ භූමිකාව මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න බැරුවයි මං උන්නේ.

එයා වැඩට එන නිශ්චිත දවසක්- වෙලාවක් තිබ්බෙ නෑ. එකම වැඩක් කරන විත්තියකුත් පෙනුන්නෑ. ඒ වගේමයි, ඒ රාජධානියේ අමන්ට යම්කිසි තැනක්- තත්ත්වයක් හිමි බවකුත් හොඳටම පෙනුණා.
VIP තත්ත්වයක්... අමන් අහීර් මහත්තයාගේ නෑදෑයෙක්ද දන්නෑ!

‘ඒ ටික දවසට කොහොමද යුෂ්මතා අමන් ගැන ඔච්චර විස්තර දැන ගත්තේ?’- දැන් ඔයාලට හිතිලා ඇති. එහෙම නොහිතුණා නං තමයි පුදුමේ!
අමන්ව දැකපු පළමුවෙනි දවසෙම මගේ ඇහැට වැටුණා. වැඩියත්ම ඒ හාදයාගේ තිබ්බ කෙළිලොල් සැහැල්ලු ගතිය! කිසිම බරක්-පතලක් නැතුව හින්දි සිංදුවක් මුමුණමින් පිහාටුවක් වගේ පා වෙවී ෆැක්ටරිය ඇතුළේ කරපු සක්මන... හැබැයි එයාට නං ‘නිමල් දිසානායක’ කියලා කෙනෙක් හිටිය විත්තියක් නිනව් වෙලා නැතුවයි තිබ්බෙ.

දැන්! දැන්... මෙන්න බොලේ එහෙව් හාදයා මගේ ඉස්සරහටම ඇවිත්...
“Shall we?”

අමන් මගෙන් ඇහුවේ මාව ආපහු පියවි ලෝකයට ගෙන්නමින්.
එදා මට මහන්සිය දැනුණේ වෙනදට වැඩිය ගොඩක් අඩුවෙන්... මං හිතන්නේ දවස තිස්සෙම වගේ ඇහුණු අමන්ගේ හින්දි සිංදුත් ඒකට එක හේතුවක්.
හවස වැඩ ඇරිලා ගෙදර යද්දිත් අමන්ගේ සිංදු මගේ දෙසවන් ඇතුළේ නිම්නාද නංවමින්...

  සිලුත්   අරං බොරු කිව්වොත් ලොවට දඟේ
  මලුත්   පුදා ගල් ගැසුවොත් මොකද    අගේ
  බණත් අසා දන් දුන්නොත් නෙවෙද    අගේ
  අලුත්   පිටට  ගෝනිය කැඳලුවා           වගේ
කියලා පැල් කවියකිනුත් කියල තියෙනවනේ. අලුත් ගෝනියකට කැඳත් දැම්මා වගේ වැඩක් තමයි එදා සිද්ද වුණේ.

නයනානන්දගේ; 145 වෙනියාගේ ලියුමක් මං ගෙදර එනකල් මඟ බලමින් උන්නා.

දන්නවද, දිගින් දිගට මතක් කරමින් ඔයාලට නොකිව්වත් මට එයාව දිගටම සිහි වෙවී උන්නේ. එයාගේ උණුසුම් පහස; ප්‍රේමාලිංගන හෙම.
නේත්‍රාංජනයක් වුණු අමන්ගේ දර්ශනයෙන් ඇති පදමට සන්තර්පණය වී හිටි මං වහන්සේගේ හැඟීම් එදා තවත් කුළුගැන්වුණේ නයනානන්දගේ ලියුමෙන්.

අපරාදේ කියන්න බෑ, නිඳි දෙව් දුවත් එදා රෑ උදව් කළේ...

'සදා වාසනා!
ආදර නිමා,

එවපු ලිපිය ලැබිල අදට දවස් තුනක් වුණා. කොහොම පිළිතුරු ලියන්නද කියල හිතා ගන්න බැරුවයි ඉන්නේ. ඔව් හලෝ, මං හිතාගෙනවත් හිටියෙ නැති තරමට ඔයා මගේ හිත ඇතුළේ ඉඳලා. පහුගිය අවුරුදු ගණන අස්සේ අපි දවස් දෙක තුනකට වැඩිය ඈත් වෙලා ඉඳල නැහැනෙ. ඒ හින්දා අපිට අඩුවක් දැනිල නෑ. අම්මෝ... මේ දවස් ටිකට ඔයා ළඟ නැති අඩුව දැනෙන තරං... ඒත් පොරොන්දු වෙච්ච විදිහට මෙන්න බැරි-බැරි ගාතේ ඔයාට ලියුමක් ලියන්න පටන් ගත්තා.

පෑන අතට ගනිද්දීත්... (එතන ලියල තියෙන ටික ශෘංගාරාත්මක වැඩි නිසා අයින් කරනවා. ඒ වගේමයි- ලිපිය ලියු කෙනාව හඳුනාගැනීම වැළැක්වීමට මම සමහර වචනත් වෙනස් කළා.)

ඔයා එවපු ලියුමේ නං කිසි අඩුපාඩුවක් නෑ. සියලුම තොරතුරු ඇතුළත් වෙලා තිබුණා. හරියට කෝපි කඩේ වගේ. (මේ ලියුම ලියැවී තිබෙන්නේ 1998 වසරේදී බවත් සිහිපත් කරන්නෙමි.) හොඳ වෙලාවට ප්ලේන් එකේදි paඩයක් එහෙම ගියේ නැත්තේ. එහෙම  වුණා නම් ඒකත් ලිපියට ඇතුළත් වෙලා තියේවි ලස්සනට. මම හිතුවේ කතා කරනකොට විතරයි ඔයා nunstop කියලා. බලනකොට ලියනකොටත් එහෙමනෙ. අනිත් වැඩ ගැන කියන්න ඕන්නැහැ නේද...
වෙලාවකට පුදුම වදයක් හලෝ ඔයා මට දුන්නේ... ඒක නැති වුණාම තමයි අගේ තේරෙන්නේ.

ඔන්න ඔයා මට කියලා තිබ්බ විදිහට ගෙයින් ගෙට ගිහිං ඔයාගේ යාළුවන්ට කිව්වා එයාලාව ආදරෙන් මතක් කරන බව. ඔයා ආයෙ ලංකාවට ආපුවාම මට ගමන් ගාස්තු ගෙවන්න වෙයි... නිකන්ම නෙවෙයි- පොළියත් එක්කම.’

චපල නිමල් දිසානායක... වලත්ත නිමල් දිසානායක.
නයනානන්දගේ ලියුමේ අත් අකුරු පේළි අස්සෙත් අමන් හැංගිලා ඉන්නවා වගෙයි නිමලයාට දැනුණේ. එදා නිඳි යහනට යන තුරුමත් අමන්ගේ හින්දි සිංදු මගේ හතර වටේ දෝංකාර දෙමින් තිබ්බා. නින්දට වැටෙන තුරුමත් මං කල්පනා කරමින් උන්නේ හැතපුම් දහස් ගණනාවක් ඈතින් උන්නු (අතේ හිටිය කුරුල්ලා) නයනානන්ද ගැන නෙවෙයි- කිලෝ මීටර් කිහිපයක් ඈතින් ඉන්න (අත්තේ හිටිය කුරුල්ලා) අමන් ගැනයි...

අපරාදේ කියන්න බෑ, නිඳි දෙව් දුවත් එදා රෑ උදව් කළේ අමන්ට.

ඒ රාගාන්විත සීතල රාත්‍රියේ නිදිගෙ සයනයට පිවිසුණේ අමන්.
උතුරලා යන පිරිමි පෙනුමක් නැති- තරමක් ලලනාමය සොබාවක් ඇති අමන් ‘අනංග කෙළිය’ටම උපන් කෙනෙකු බවයි- ඒ සිහිනයෙදී මට ඒත්තු ගියේ!
ඒ හීනය නිමා වුණේ මගේ පිජාමාවේ ලෝක
සිතියමක් සලකුණු කරවමින්...

ලෝකයේ ලස්සනම ගැහැනිය සහ කඩවසම්ම පිරිමියා එකට ජීවත් වුණත් අවුරුදු දෙක තුනක් යනකොට උන් දෙන්නාගේ ලිංගික රසායනය...

බලපං, උඹ කොච්චර නරකද? අර තරං ආදරෙන් ඉන්න නයනානන්ද ඉන්දදී උඹට මාස හයක් ඉවසන් ඉන්න බැරිද- මේ කොහේද යන අමනයෙක් ගැන හිතන්නේ? ලෝකෙ කොච්චර නං කසාද බැඳපු ගෑනු මිනිස්සු මාස ගණන් තනිවෙලා ඉන්නවද... උන්ගෙ  නාඩි වැටෙන්නේ නැහැයි කියලද උඹ හිතන්නේ.
සුමාන ගාණක්වත් ඉවසලා ඉන්න බැරි තරං කැසිල්ලක්ද යකෝ තොට තියෙන්නේ?

‘... මිනිසෙකු සහ ගැහැනියක අතර තියෙන ලිංගික රසායනයට කල් ඉකුත් වීමේ දිනයක් තියෙනවා.

ඒ කියන්නේ ලෝකයේ ලස්සන ම ගැහැනිය සහ කඩවසම් ම පිරිමියා එකට ජීවත් වුණත් අවුරුදු දෙක තුනක් යනකොට උන් දෙන්නා ගේ ලිංගික රසායනය කල් ඉකුත් වෙනවා.

ශරීර එකිනෙකාට පුරුදු වෙනවා. ඕනෙවටත් වඩා එකිනෙකා දකිනවා. සෙක්ස් බෝරිං වෙනවා. Spark එක නැති වෙනවා.…’ රාග සූත්‍ර වැඩ සටහනකදී කියැවුණා.

ඒක ඇත්ත නං- මටත් මගේ ලිංගික සහකරුවන්ටත් විතරක් ඒ සත්‍යය අදාළ නොවී තියෙන්න විදිහක් නැහැ නෙව.

මම නං තවමත් ඒ වගේ කාරණා ගැන දැන ගන්නට උනන්දුයි. මට හිතෙන්නෙම ඒවා සේරම තීරණය වෙන්නේ හෝමෝන- පොරමෝන වගේ රසායන ගොඩක් මත කියලයි. ඒ කරුණුවලින් වඩා නිවැරදි ඒවා තෝරාගැනීම කවදා හරි කෙරේවි. දැනට නම් එකනෙකට පරස්පර මත පවා සමාජගත වෙලයි තියෙන්නෙ. අර ‘රාග සූත්‍ර’ වැඩ සටහනට  රසික රසිකාවන් එවා තිබුණු commentsවලිනුත් ඒ විත්තියයි පෙනෙන්නේ.

Ajana Ranagala

ලිංගික රසායනය හැදෙන්නෙ ලස්සන සහ කඩවසම් බව මතම නෙවෙයි. ඒක වෙන වැඩක්.
ශරීර ආකර්ෂණීයත්වය මත විතරක් ඇරඹි සම්බන්ධතා ශරීර සාමාන්‍යකරණය වීම නිසා ඕලාරික වෙලා යන්න පුළුවන්.
ඒත් ආදරය ප්‍රේමය සහ සමාන රිද්මයන් මත ගොඩ නැගිච්ච අනුරාගයට දීර්ඝායුෂ තියනව.
ඔය ලිංගික රසායන විද්‍යා කතන්දරේ ගේන්නෙම වටේ යන්න එක්ස්කියුස් එකක් විදිහට.
කම්මැලි වුණාම කරන්න ඕන තරම් සෙල්ලම් තියනව හිසේ රදේට කොට්ටෙ මාරු කරනව ඇරෙන්න.

Indunil Gamage

නෑ... කසාදය කියන්නෙ ලිංගික කටයුත්ත වෙනුවෙන් විතරක් කෙරෙන වැඩක් කියල පොට වරද්දගෙන තමයි මේ සාකච්ඡාව පටන් ගන්නෙම. විශේෂයෙන් අපේ වගේ රටවල වෙනත් හේතු කාරණා තමයි ප්‍රබල වෙන්නෙ. දැන් කාලෙ ඉන්න එවුන්ට කොහොමත් කසාද බඳිනකොටත් සෙක්ස් කියන එක නතිං. බැන්දට පස්සෙත් ඇරියස් නොවී ඒක බැලන්ස් කරන හැටිත් දන්නවා. දේපල, සමාජ තත්වය, පවුල් පසුබිම, සමාජ පිළිගැනීම, ළමයි වගේ බොහොමයක් කාරණා නිසා සෙක්ෂුවල් ඇට්රෑක්ෂන් එක මොන මට්ටමේ උනත් අගේට පවුල අරගෙන යනවා. නිකං බලන්න පවුල් අවුල් හදන් තියෙන බහුතරයකගේ හේතු බැලුවම තියෙන්නෙ මොනවද කියල...

වයසින් මුහුකුරා යද්දී ආදරය කියන්නේ ලිංගිකත්වය විතරක් නෙමෙයි කියලා බහුතරයකට තේරුම් යනවා.

Chamani Prematilake

ඔය boredom එක නොදැනෙන සම්බන්ධතා අහම්බෙන් තියෙනව. ලස්සනම කෙනා හෝ හොඳම කෙනා හොයන්නෙ නැතුව තමන්ට වැඩිපුරම දැනෙන කෙනාව තෝරගත්ත නම් හරි. ඒත් ඒක හරිම දුර්ලභයි. ලිංගික ආකර්ෂණය පමණක් නම් සුලබව තියෙනව සමාජෙ.

Nisal Sanjaya

ඒකට තමා මාස දෙකකට සැරයක්වත් හෙයාස්ටෛල් එක මාරු කරන්න ඕන... අඳින ෆැෂන් එකට කලින් කලට චේන්ජ් එකක් ගේන්න ඕන... ඉඳලා හිටලා ඈතකට යන්න ඕන... එකම දේ වෙනස් විදියට දැක්කම boredom කියලා දෙයක් එන්නෙ නෑ....

Anusha Perera

කෙනෙක්ට ආදරේදි එහෙම නැත්නම් ලිංගිකත්වයේදි expire වෙන්නේ නැතුව ඉන්නම බැරිද. මම නම් කියන්නේ හිටියහැකි. ඒක depend වෙනවා දෙන්නා මත. විශ්වාසය තියෙන තැන කවදාවත් expire වෙන්නේ නෑ- ලිංගිකත්වයත්. They will find new ways with love.

Chamila Rathnayake

නිකන් බොරු සමාජගත කරන්න එපා. Expire වෙන එක තීරණය වෙන්නේ ඒ දෙන්නට දෙන්නා ජිවිතය ගත කරන අනුව මිසක් ලිංගික රසායනය (බොරු වචන)අනුව නොවේ.

දූවිලි වළා

පරිභෝජනවාදී මානවයා අනෙක් සෑම පරිභෝජනයකදීම ඒ නීරස සීමාව ඉවසනවා... බලාපොරොත්තු වෙනවා...
ඒත් ලිංගිකත්වයේදී ඒ නීරස එහෙම නැත්නම් තෘප්තිය අඩු පරිච්ඡේදයක් ඇති බව පිළිගන්න අකමැතියි.
ඒක සුවිශේෂ තත්වයක් තමයි, හැබැයි එහෙම හිතලා තේරුම් අරන් ඒ තත්වය සමනය කරගන්න
, හිත හදාගන්න මානවයට බෑ... ඒකට හේතුව ප්‍රජාවේ පැවැත්ම වෙනුවෙන් ලැබෙන ජීව විද්‍යාත්මක බලගැන්වීමයි කියලා මම හිතනවා.
එයට ඉඟි සපයන හොඳම උදාහරණයක් තමයි අනාදිමත් කාලයක සිට පවතින ගණිකා වෘත්තිය- අන්තතඃපුර වැනි තත්ත්වයන්...

Nagoda Vithana

ආදරය අතක් විදියට ගත්තොත් ඒ අතේ ඇඟිලි පහෙන් එකක් විතරයි ලිංගිකත්වය කියන්නේ. වයසින් මුහුකුරා යද්දී ආදරය කියන්නේ ලිංගිකත්වය විතරක් නෙමෙයි කියලා බහුතරයකට තේරුම් යනවා. අතකින්වත් අල්ලන්නේ නැතුව; හුස්මක්වත් ගෑවෙන්නේ නැතුව; එයාගේ සතුට සැනසීම ආරක්ෂා කරන්න පුළුවන් නං... වීඩියෝ කෝල් එකකින් විතරක් උනත් අවුරුදු ගානක් බැඳීම තියාගන්න පුළුවන් නං අන්න ඒකට තමයි ආදරේ කියන්නේ...’

ඕන්න එහෙනං හිතාදර පාඨක ඔයාල ඔක්කොටම ස්තුතියි කියලා- අදට නවතිනවා. ඔයාලා ආයෙත් මේ අඩවියට එනවනෙ ඊළඟ කොටස කියවන්න...à

24 comments:

  1. අහීර් ලොක්ක ඔයා හරහා කිර්පාලව කපලා දාන්න හැදුව වගෙත් පේනව. හොඳ හේතුවක් හම්බුන හන්ද මිනිහව අයින් කරාවත්ද. හුම්!

    ReplyDelete
    Replies
    1. අහීර් මහත්තය කිර්පාල්ව අයින් කළේ නෑ- නමියෝ. ඒවා ගැනත් ඉක්මනින් ලියවෙයි.

      Delete
  2. ඇඳුම් වල කුළුබඩු සුවඳ එන එකට මුලික වෙන්නේ බටහිර රටවල කුස්සිය ගේ මැද තිබීම. අපේ ගම්වල කුස්සියේ තිබුනේ වෙනම නේ.

    තමන්ගේ ගඳ/සුවඳ තමන්ට දැනේනේ නැති එක විසාල ප්‍රශ්නයක්, වෙන කෙනෙකුට ඒ ගැන කියන්නත් ලොකු ගටක් තියෙන්න ඕන. මම වැඩ කරපු තැනකත් කට ගඳ කොල්ලෙක් හිටියා, ඌ හොඳ එකා. මේක ඌට කියන්න මට ගට මදි, මම තව යාලුවෙක්ගෙන් ඇහුව අපි මේක ඌට කියමුද කියල, යාළුවා එකපයින් හා කිව්වා (මොකද ඌ හොඳ කොල්ල) අපි දෙන්න ගට දාල කිව්වා, වැඩේ ගොඩ. මෙන්න මු ටික දවසකින් එතැන හිටපු ලස්සනම කෙල්ලට සෙට් උනා නේ.

    ලිගිකත්වය සහ විවාහය තමන්ටම අවේනික දෙයක් කියල තමයි මම හිතන්නේ, අනිත් නිර්වචන රෙලටිව් නේද?

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයෝ, දැන් අපේ ගෙවල්වල 'කිචන්' ඒකත් සබේට ඇවිදින්!!!
      ඒත් කුළුබඩු සුවඳ අපේ ඇඳුම්වලින් හමන බව අපට දැනෙන්නේ නැත්තේ ඇයි? රටේ උණුසුම් දේශගුණයේ බලපෑම නිසාද... නැත්තං- අපේ ගෙවල්වලත්, කුස්සියේත් ජනෙල් දොරවල් නිතරම ඇරලා දාලා තියෙන නිසාද?

      සහතිකයි මහත්තයෝ... අපේ හුඟ දෙනෙක්ට තමන්ගේ ගඳ දැනෙන්නේ නෑ. මමත් එක හිතවතෙක් අමනාප වෙයිද කියල බයේ වුණත් කෙනෙකුට උපදෙස් ගොඩක් කිව්වා. මට පෙනුණේ එයා ඒ උපදෙස් පිළිපැදල විත්තියයි. හැබැයි ඒ මාතෘකාව ගැන හ්ම් නෑ.

      මගේ වලත්තකම හින්දද මන්දා- මට මේවා කල්පනා වෙන්නේ. එයාලගෙ බිරියන් කොච්චර අපහසුවක් විඳිනවා ඇතිද නිඳි යහනේදී.

      විජේබාහු මහත්තයා කියන අන්තිම කාරණයට මමත් ගෙඩිය පිටින්ම එකඟයි.
      ලෝකෙ දෙන්නෙකුට එකම ඇඟිලි සලකුණු පිහිටන්නේ නැත්තං මේ කාරණේදීත් එහෙම වෙන්න හැකියිනේ.

      Delete
  3. //ඒත් කුළුබඩු සුවඳ අපේ ඇඳුම්වලින් හමන බව අපට දැනෙන්නේ නැත්තේ ඇයි? //
    උත්තරේ nose blindness. ඔරුගොඩවත්තෙ පදිංචි අයට ඒ කුණුගොඩේ ගඳ දැනෙනව අඩුයි. ඒක මොලෙන් කරන ස'වයිවල් මැකැනිසම් එකක්, මහිතේ. කෙනෙකුගේ BO එක ගැන කියන එක ටිකක් අමාරු දෙයක්. බොහෝ අය ඒක ගන්නෙ අපහාසයක් විදිහට, කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. කවුරු තනුක කරලා ඒ පිංකම කරනවා නං ග්‍රේට්, ඒත් වැඩි දෙනෙක් ඒ රිස්ක් එක ගන්න කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ මැට්ටං තංමැටං කිව්වලු 😁

      Delete
  4. මේ සැරේ නිදිගෙ ගමනෙ අමතර විස්තර අඩුයි. කලින් එකේදි කෑම, බීම කෝපි එක ගැන පවා විස්තර තිබ්බා. ප්ලේන් එකේ විස්තරේ 145 වැනියාට ආරලු-බුළු ඇතුව කිව්වට අපට සුම්මා. මේ අමතර විස්තර තමයි කතාවට ලුණු-ඇඹුල් එකතු කරන්න.

    ඩැඩා කලින් කරපු රස්සාව මොකක්ද? මෙදා සැරේ ඩැඩා ගැන විස්තර අඩුයි. කලින් අඩුම ගානෙ දීපාල්-ඩැඩා වලි ගැනවත් තිබ්බා. එතකොට අර රුබාබ් ඩෙස්ර්ට් එක ගැන එහෙම.

    ReplyDelete
    Replies
    1. කලින් වතාවේ එංගලන්ත ගමන ගැන ලියද්දී උදව්වට මගේ දිනපොත තිබ්බනේ, බකුසුතුමෝ.

      මේ සැරේ උදව්වට තියෙන්නෙ ලියුම් හා ෆොටෝස් විතරයි.
      එයිනුත් මම එයාට එවපු ලියුම් සේරම පරෙස්සම් කරගෙන ඉඳල මට දුන්නා 145 වෙනියා. එයා ලියපුවාත් සේරම මගේ ළඟ. අනෙත් මිතුරු මිතුරියන් එවූ ලියුමුත් තියෙනවා වුණාට විස්තර අඩුයි. (මේ posts පෙළ ඉවර් වුණාම ඒවා අග්නි දේවතාවට පූජා කරන්නයි ඉන්නේ.)

      Daddy ස්ටොක් බ්රෝකර් කෙනෙක්.
      කලින් වතාවේ මම වැඩි දවසක් ගෙදර උන්නේ. මෙදා සැරේ සතියේ දවස් හයක්ම උදේ පාන්දර සිට පැය 13ක් විතර ගෙදරින් පිට.... ඉතිං කොහොමද දෙයියනේ ගෙදර වෙන දේවල් වැඩිපුර ලියන්නේ?

      ඕකයි ඇත්තම තත්තේ!

      Delete
  5. මටත් ඔහොම හිටපු කෙනෙක්ව මතක් වෙනවා . ගොඩක් වෙලාවට කවුරු හරි පෙන්නලා දුන්නම හදා ගන්නවා

    පොඩි කාලේදී ළමයින්ට හරි සෞඛ්‍ය පුරුදු කියල දෙන්න ඕනේ ඉතින් ..

    අර ලිංගික කතන්දරෙත් ඒ වගේ තමා .

    ගෑනු මිනිස්සු කසාද බඳින්නේ එක හේතුවක් හින්දා නෙමේ නේ . ඒවත් තරුණ ළමයින්ට මුල් කාලෙදිම කියල තේරුම් කරලා දෙන එකෙන් ජිවිත ගොඩක් පහසු වෙනවා මම නම් හිතන්නේ .



    ReplyDelete
    Replies
    1. //පොඩි කාලේදී ළමයින්ට හරි සෞඛ්‍ය පුරුදු කියල දෙන්න ඕනේ ඉතින් ..//
      පැතුම්, මට හිතෙන විදිහට නං අද කාලෙ අම්මල තාත්තල වෙන අයගෙන් වැඩි දෙනෙකු වගකිව යුතු මව්පියන් වීමට තරම් පරිණත දැනීමකින් සන්නද්ධ නෑ.

      Delete
  6. //ඕනෙවටත් වඩා එකිනෙකා දකිනවා. සෙක්ස් බෝරිං වෙනවා// අතිරසත් දවසක ඇති වෙනවලු නෙ.
    තැන් 2,3ක කතාවට ආව මාර දූවරු විවිධ වෙස් ගනිමින් කාම රංගනයෙ යෙදුන එක ගැන. යොවුන්, තරුණ, මදි ඔය විදිහෙ. මට ඔය ගැන වෙන අදහසක් එතනදී ඇති උනා. අපි කාගේත් රසයන් වෙනස්. ඒවගෙම වෙනස් වෙනස් රස අත්විඳීන්නද කැමතියි බව ඔය කතාවෙන් කියවෙනව කියල මට හිතුන. නවමු අත්දැකීම් ලබන්න අපි කවුරුත් ගිජුයි නෙ.
    එහෙව් එකෙ එකම බෙරයක් වයනවනං අර Nisal Sanjaya කීව වගෙ වෙනස් හඬවල් එකම බෙරෙන් උපද්දවගන්න තමා වෙන්නෙ 🙈

    ReplyDelete
    Replies
    1. දෙතුන් පොලක නෙවෙයි නමී සිය පොලක ලියන්න වටින කතාවක් තමයි 'පූජාවලියේ' මාර පරාජය. මං ඒ ගැන වැඩිම විස්තර ලිව්වේ 'දොළහ වෙද්දී - 6 post' එකේ.
      https://nidigepanchathanthare.blogspot.com/2020/05/blog-post_6.html
      ''“නඟිනි, පුරුෂයන් ගේ සිත් නම් නොයෙක් ආකාරය. සමහර කෙනෙක් බාල ස්ත්‍රීන් කැමැති වෙති, සමහර කෙනෙක් යෞවන ස්ත්‍රීන් කැමැති වෙති, සමහර කෙනෙක් වෘද්ධ ස්ත්‍රීන් කැමැති වෙති, ඒ සිද්ධාර්ථ කුමාරයාගේ අදහස් නො වරදවා බලා ගනුම්හ”යි මන්ත්‍රණ කොට ලා.

      දොළොස් හැවිරිදි කුඩා කෙලි රූ සියයෙක, සොළොස් හැවිරිදි පළමුවන යෞවනයෙහි සිටි ස්ත්‍රී රූ සියයෙක, එක දරුවන් ලද ස්ත්‍රී රූ සියයෙක, දෙදරුවන් ලද උත්තම ස්ත්‍රී රූ සියයෙක, එක දෙ නර දුටු ස්ත්‍රී සියයෙක, විලිකුන් කෙස් ඇති මැහැලි රූ සියයෙකැ යි මෙසේ සසියයක් වෙස් මවාගෙන “සිද්ධාර්ථයා අප පියාණන් මුහුණ ගෑ දැලි අද පිස හරිමෝ ම ය, ඔහුගේ සිල් බිඳුමෝ මය”යි කිය කියා .....’

      නිකමට හිතන්නකෝ, කොහොමද හාමුදුරු කෙනෙකුගේ දැනුම?'
      මතක ඇතිනෙ- එතන තව විස්තර තියෙනවා. (අපේ අයස්මන්ත මහත්තයාට නං ඒ පොත් කටපාඩම් විත්තිය දැන් ඔයා දැකල තියෙනවනේ. එතුමා අනියමින් බල කරන නිසාම මිලින්ද ප්‍රශ්නය, අමාවතුර පොත් දෙක ළඟට අරගෙන ඉන්නේ ඉඩක් ලැබුණු ගමන් කියවන්න..)

      Delete
  7. Replies
    1. හායි! ස්තුතියි Pra Jay මහතාණෙනි!

      Delete
  8. නිදී

    ඔයා මොකද මේක ගැන හිතන්නේ?

    https://www.facebook.com/share/v/15NLdSoskE/?mibextid=rS40aB7S9Ucbxw6v.

    මේකේ තියෙන ඩිෆිනිෂන් හරි නේද?

    ReplyDelete
    Replies

    1. මේකේ තියෙන ඩිෆිනිෂන් හරිද කියන්න තරම් මං ඒ ගැන විශේෂඥයෙක් නෙවෙයිනෙ මලිත් මහත්තයෝ. හැබැයි මමත් මේ වෙනකල්ම කඩේ ගිහිං තියෙන්නෙ දැනුවත්ව- රට වෙනුවෙන්!

      Delete
  9. අමන් ආපු ගමන් එතන ambience එක වෙනස් වුණ එකෙන් තේරෙනවා අපි නිතරම ප්‍රිය මනාපව, පිරිසිදුව, ලස්සනට ඇඳලා ඉන්න එක කොච්චර වැදගත්ද කියලා. (නිමල්ගෙ sexuality එක නිසා එයාට attract වෙච්ච එක වෙනම දෙයක්). ඒ වගේම හිත ඇතුලෙන් දුශ්ට අය පිටතින් කොච්චර ලස්සනට ඇඳ පැලඳගෙන හිටියත්, ප්‍රිය මනාප බවක් නෑ නේද.

    "අලුත් ගෝනියකට කැඳත් දැම්මා වගේ වැඩක් තමයි" අලුත් ගෝනියකට කැඳ වැටුනම ඒක විනාස වෙනවනෙ.

    "අර ‘රාග සූත්‍ර’ වැඩ සටහනට රසික රසිකාවන් එවා තිබුණු commentsවලිනුත් ඒ විත්තියයි පෙනෙන්නේ". මේවගේ දේවල් ලංකාවෙ කතා කරන එක ගොඩක් හොඳයිනෙ. වෙලාවක ඒ වැඩසටහන බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus!
      ඔයා කිර්ලියාන් foto ගැන අහල තියෙනවා ඇතිනෙ. ඒ ක්‍රමයෙන් ගත්ත fotoවලින් පෙන්වල තියෙනවා හිත බල සම්පන්න- පිරිසුදු අයගෙන් විහිදෙන කිරණ වඩා බලවත් හා පුළුල් බව. ඒ ක්‍රමය ගොඩාක් ලාබ හා පහසු වෙච්චි දවසට නං එළි වෙයි 'සුදු ඇඳගත් කළු අය' ගැන!

      ඊයේම ඔයාගේ කමෙන්ටුව කියවූ කෙනෙක් මගෙන් ඇහුවා 'කැඳ දැමීම' ගැන.
      ඉස්සර; පොලිතින් නැති කාලෙ තිබ්බේ හණ නූල්වලින් වියපු ගෝනි. අපි පොඩි කාලෙ හුඟක් බඩු එහාමෙහා ප්‍රවාහනය කළේ ගෝනිවල. ඒ ගෝනි රෙදි තමයි බූරු ඇඳන්වලට ගහල තිබ්බෙත්.
      ඒවා බොහොම හයියයි. එහෙමත් තියෙද්දී ගෝනිවලට කැඳ දැම්මොත්?
      'කැඳ' කියන්නෙත් අපි බොන කැඳ නෙවෙයි.
      ඉස්සර; විශේෂයෙන් පාසල් සිසු-සිසුවියන්ගේ සුදු ගවුම් හා කමිස හේදුවාට පස්සේ ඒවා ඉතාම තනුක කැඳ දියරයක ගිල්ලවල අරගෙනයි වේලා ගන්නේ.
      (ඒ කැඳ හදා ගත්තේ සව් ඇට ටිකක් වතුරෙන් තම්බා ගැනීමෙන්.)
      එහෙම කරපුවට පස්සෙයි ඒ ඇඳුම් මැදගත්තේ. එතකොට බොහොම නීට් එකට ගවුම්වල රැළි තියල මදින්න පුළුවනි.
      රතුපාට මල්- මට තාම මතකයි ගීතයේ 'සුදු පාට රැළි ගවුමේ -කඩදාසි සිරි සිරිය- එන්නේත් එහෙම කලාමයි.

      රාග සූත්‍ර වැඩසටහන් මාලාව බලන්න වටිනව Lotus!

      Delete
    2. මම හිතුවෙම කැඳ වට්ටලා ගෝනිය නාස්ති කරන්න හදනවා කියලා 😊. විස්තර කලාට තැන්ක් යූ නිමල්. මට මතකයි ආච්චි අම්මා කැඳ දැමීම ගැන කියනවා. ඕක සාරි වලටත් කරන දෙයක්නේ.

      කිර්ලියාන් foto ගැන දන්නෙ නෑ. කියවලා බලන්නම්, තැන්ක් යූ.

      Delete
    3. සාරිවලට කැඳ දානවා කිව්වේ වොයිල් සාරිවලට නේද Lotus?

      Delete
  10. මම හිතං හිටියේ පොත් කියවන ගෑනු ළමයෙක් බඳිනවා කියල .(නැත්නම් මම කියවන වෙලවට් එයාට බෝරින් නිසා ) බිරින්දෑ හිතන් ඉඳල තියෙන්නේ එයාට ඕන වෙලාවක කතා කර ඉන්න පුළුවන් කෙනෙක් බඳිනවා කියල . ඒක එහෙමම වුනා . මට ඔය සුවඳ විලවුන් ගන්න සල්ලි තිබ්බේ නැහැ රුසියාවට යනකන් . එහෙ ගියාට පස්සේ ඉබේම පුරුදු වුනා භාවිතා කරන්න .

    ReplyDelete
    Replies
    1. අපේ ඉමිහිරි හීන අජිත් මහත්තයෝ!
      ඉස්කෝලේ යන ගමන්ම හවස් වරුවේ කොළඹ පේව්මන්ට් එකේ කවි පොත් විකුණලා බඩවියත හොයාගන්න කාලෙ මටත් සල්ලි තිබ්බේ නෑ කොලෝන් ගන්න. ලස්සනම වැඩේ මගේ රහස් විශ්වයේ සගයන්ගෙන් වූඩූ - ඩෙඹියුටාන් හම්බ වුණාමත් ඒවා හංගලා තියාගෙන -තාත්තාට නොදැනෙන්න යන්තං චුට්ටක් තවරගන්න වෙච්චි එකයි. එතකොට ඒ කොලෝන් බෝතලයක් රුපියල් දොළහයි පනහද කොහේද!
      අදටත්; ගෙදර හිටිද්දී වුණත්- හොඳටම වෙහෙසක් දැනෙනවා නං; මූඩ් බැහැල නං මම හිතේ හැටියට නාලා කොලෝන් තවරාගන්නවා - මටම තෑග්ගක් විදිහට!!!

      Delete
    2. මටනම් දැන් ඕව අරන් දෙන්නේ දුවල . ඉටලියන් ෆ්‍රෙන්ච් ඒවා තමා ඒ ගොල්ල භාවිතා කරන්නේ . ඉතින් මටත් ඉබේම ඒවා ලැබෙනවා . දුවල ඉන්න එකේ වාසිය වෙන්න ඕනේ .

      Delete
    3. මමත් සල්ලි දීලා කොලෝන් එහෙම අරගෙන නෑ අජිත් මහත්තයෝ අවුරුදු තිහකින් හතළිහකින් විතර. මොකටද ගන්නේ- නෑ හිත මිතුරන්ගෙන් එව්වා තෑගි විදිහට ඇති වෙන්නම ලැබෙද්දී.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්