li Item

Monday, February 24, 2025

හතලිහේදී... දහතුන්වෙනි කොටස

‘ආදරය අතක් විදියට ගත්තොත් ඒ අතේ ඇඟිලි පහෙන් එකක් විතරයි ලිංගිකත්වය කියන්නේ. වයසින් මුහුකුරා යද්දී ආදරය කියන්නේ ලිංගිකත්වය විතරක් නෙමෙයි කියලා බහුතරයකට තේරුම් යනවා. අතකින්වත් අල්ලන්නේ නැතුව; හුස්මක්වත් ගෑවෙන්නේ නැතුව; එයාගේ සතුට සැනසීම ආරක්ෂා කරන්න පුළුවන් නං... වීඩියෝ කෝල් එකකින් විතරක් උනත් අවුරුදු ගානක් බැඳීම තියාගන්න පුළුවන් නං අන්න ඒකට තමයි ආදරේ කියන්නේ...’

‘රාග සූත්‍ර’ වැඩ සටහනේ comments තීරුවට Nagoda Vithana රසිකයා කියල තිබුණා.

You are a seductive guy. මටත් පරිස්සම් වෙන්න වෙනවා.

ටිකක් හිතපං මනුස්සයෝ. උඹ සමනලයෙක් බව ඇත්ත. ඒ වුණාට ඉවක්-බවක් නැතුව ඔහොම එක එක්කෙනා එක්ක පැටලෙන්න ගියෝතිං... මතකයි නේද ගිය වතාවේ මේ එංගලන්තේදිම අශාන් උඹට දුන්නු පට්ටම?

(‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය රසික- රසිකාවියනි. මා උමතු කළ අශාන්ගේ වග ‘තිස් එකේදී... -නවවෙනි කොටස’ ලියද්දී ඔබට විස්තර සහිතවම කීවෙමි.
මාත් ඒ වගේ. කයිසරුත් ඒ වගේ. ඒ හින්දම දැන් මට හිතෙනවා නිමල්, අපි දෙන්නම ඔයාව ඈතින් තියා ගන්න එක අපි තුන් දෙනාටම හොඳයි වගේ කියලා.එච්චර වෙලාවක් මගේ උරහිස උඩින් තිබුණු එයාගේ අත පැත්තකට ගනිමින් අශාන් කීවේය. “...You are a seductive guy. මටත් පරිස්සම් වෙන්න වෙනවා. අශාන් එහෙම කිව්වත්- කිව්වේ විහිළුවක් කරන්නා සේ හරිම සැහැල්ලුවකිනි.’)

‘කවුද එහෙම පැටලෙන්න ගියේ? මූද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගහන්න එපා අනේ... ඔයාගේ හිතළු!
පව්!! සුමානයක් දෙකක් තිස්සේ ෆැක්ටරියේදී අමන්ව දැක්ක විතරයිනෙ. ඇත්තම කිව්වොත්, ඒ මනුස්සයාව දකින්නත් ආසා හිතුණ තමයි. එච්චරනේ.’

යකෝ, ගිහිල්ලා ඔව්වා කියහං කොණ්ඩේ බැඳපු චීනුන්ට. හැබැයි දැන් චීනෙත් එහෙම චීනෝ නෑ.
එච්චරනේ! එච්චරනේ!! කියන ලස්සන. උඹ උඹටම හොරෙන් අමන්ට දැලක් දාන්න හිතුවේ නැද්ද... හරියටම ඒ දවස්වල මේ ඇඳ උඩදීම... අශාන් ගැන හීන දැක්ක වගේ... අමන් ගැනත් හිතුවේ නැද්ද කියහං... ඔය පිජාමාවම නේද එතකොටත් ඇඳගෙන උන්නේ...

එතකොටය, මට කල්පනා වුණේ.
පළමු වතාවේ එංගලන්තයට පැමිණි වෙලාවේ මට වෙන්කර තිබ්බේ දීපාල්ගේ කාමරයයි. මේ වතාවෙත් එහෙමය.
“ඔයා ආපහු යනකොට දාල ගිය ලොකාගේ ඇඳුමුයි අනිත් බඩුමුට්ටුයි ඔක්කොම මගේ වෝඩ්රොබ් එකේ අරං තියලයි තිබුණේ. අපි ඔක්කොමලම හිතුවේ ලොකා ඉක්මනටම ආපහු ඉංගලන්තෙට එයි කියලනේ. ඔන්න ඒ සේරම මම උඩ තට්ටුවෙන් තිබ්බා. ඔයාට ඕනි නැති ඒවා තියෙනව නං තෝරලා විසි කරමු!”

මා හවුන්ස්ලෝහි ගෙදරට දෙවෙනි වතාවට ආ දවසෙම මල්ලියා කිව්වේය.
එහෙම රැකගෙන තිබුණ පිජාමාවකි, මං එදා ඇඳගෙන හිටියේ. මොහොතකට මගේ හිත අතීතයට දිව්වේ ඒ තත්පරයෙයි. හිත නැවතුණේ
අශාන්ලා හඳුනාගත් දවස ළඟදියි.
‘...සුමිත්‍රා ආන්ටිත් එතැනට ආවාය. ඉතාම උණුසුමින් අර තරුණයන් දෙන්නාව වැලඳ ගත්තාය. ඔවුන්ව අපට හඳුන්වා දුන්නාය.

මේ රෝයිගේ brother අශාන්... මේ අශාන්ගේ ෆියෝන්සේ කයිසර්....
ඒ දෙන්නාම කඩවසම් පිරිමි පරාණකාරයන්ය.

රෝයි අංකල් එයාගේ මල්ලී සමනලයෙකු වීම රිස්සුවේ නැත; කයිසර්ව රිස්සුවෙත් නැත. එහෙත් සුමිත්‍රා ආන්ටි සිය මස්සිනාවවත්, ඔහුගේ ලිංගික සහකරුවාවවත් හෙළා දැක්කේ නැත. ඔවුනට අවමන් කළෙත් නැත. නෑ හිත මිතුරන් මධ්‍යයේදී පවා ඒ දෙදෙනා ‘සමරිසි යුවල’ක් ලෙස ‘කුල වද්දමින්’ ඔවුන්ට උදව් කළාය.

මුල්කිරිගල පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ පොඩි නමට කියලා කාලමක් පිම්බෙව්ව හැටි. අර සුද්දි- නහයෙන් කටෙන් ලේ දාලා වැටුණේ... 

‘අතීත ස්මරණය’ ඕන්න ඔතැනට ආවාමය මගේ යටිහිත ආයෙමත් පණ ගහලා හිත් ඉස්මත්තට ආවේ.

උඹත් සමනලයෙක් කියලා ලෝකෙට එළිදරව් කළොත්... තමුසෙගෙ දෙවෙනි විශ්වයේ කතන්දරේ ප්‍රසිද්ධ කළොත්... මොන ගිනි විජ්ජුම්බරයක් වේවිද?

“පුතේ, කොයියම්ම දෙයක් වුණත් තදියමට- හිතුණු පළියට කියන්නත් එපා, කරන්නත් එපා. ඒකයි ඤාණවන්තකම. කොයි දේටත් හොඳ වෙලාවක් තියෙනවා, පුතේ. නරක වෙලාවලුත් එහෙමයි.”
(අපේ ආච්චී මට ඉගැන්නුවේ එහෙමය. එයා ඉගැන්නුවේ ‘තියරි’ විතරක් නොවේ. ඒ න්‍යායයන් පැහැදිලි කරන උදාහරණ තොගයකුත් කියා දුන්නාය. ‘පාඩම’ට එකතු කරන්නට බැරි තරම් තවත් කරුණු තොගයක් ඒ හැම විටෙකම ආච්චිගේ දැනුම් පෙට්ටගමේ පිරී තිබුණු අයුරු තවමත් මගේ කුහුල දනවයි!)

”රංජි පුතාට මතක ඇතිනෙ කලින් දවසක මං කියල දුන්නු මුල්කිරිගල පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ පොඩි නමට කියලා කාලමක් පිම්බෙව්ව හැටි. අර සුද්දි- නහයෙන් කටෙන් ලේ දාලා වැටුණේ...”

“...කොයි දේටත් හොඳ වෙලාවක් තියෙනවා, පුතේ. නරක වෙලාවලුත් එහෙමයි.” ආච්චිගේ අවවාදය මගේ හිත ටිකාක් විතර ඔද්දල් කළත් එක්ක.

එහෙම අවවාදවලින් මිනිස්සු හැදෙනවා නං...
මාළු ඇම ගිලින්නේ නොදැනුවත්කමින්; පළඟැටියන් ගින්දරට පනින්නේත් නොදැනුවත්කමින්. ඒ තිරිසනුන් නෙවෙයිනෙ- දියුණු මොළයක් නැති සත්තු. ඒත් මිනිස්සු... දැන දැනම නෙවෙයිද අපි කරන වැරදිවලින් වැඩි හරියක්ම කරන්නේ?

අවුරුදු පන්දහසක් කල් නිර්මල බුදු දහම රැකෙනවාය කියන මේ ධර්මද්වීපයේ ‘රුපියල් පන්දාහේ කුලියටත් මිනී මරණ මිනිසුන් ගැන’ කියවද්දී ඇත්තෙන්ම මං සලිත වුණා!
ගණේමුල්ල සංජීව යනු රු.5000 ටත් මිනී මරන්නෙකු බව පාතාල ලෝකයේ පවතින ප්‍රකට මතයකි...’

අනුන් ගැන නං මාත් එහෙම විවේචනාත්මකව කියනවා තමයි. ඒත් මං වහන්සේ වුණත් එක එක්කෙනා දෙන අවවාද පිළිගන්නෙ අඩුවෙන්. මොකෝ දන්නවද? ලෝබ නැතුව අවවාද වගුරණ ගොඩක් උදවිය එව්වා පිළිපදිනවා පෙනෙන්නේ අඩුවෙන්. අනෙක ඉතිං, මසුරං වටිනා අවවාද වුණත් බලෙන් මගේ කරේ පටවනවට මං නං කොහෙත්ම කැමති නෑ!

මඟ පෙන්වීම් වගේ දේවල්- අවවාදාත්මක දේවල්- ගොඩාරියක් මගේ ජීවිතේට එකතු කරලා තියෙන්නෙ නම් පොත්; පත්තර; චිත්‍රපට; නාට්‍ය වගේ දේවල්වලින්. මගේ හිතට වැදුණු එහෙම උපදේශ; අවවාද වැඩිම හරියක් ‘ගෙඩි පිටින්ම දීල තිබ්බ අමු අවවාද’ නං නෙවෙයි. මම කැමතිත් ඒ පන්නේ එව්වාටයි. ‘We provide-You decide’ පන්නෙට.
එතකොට අපි කැමති නං ගන්නවා. නැත්තං නිකං ඉන්නවා!

එහෙම දෙගිඩියාවකට මුහුණ පාලා තියෙන අය; දෙලොවක් අතර අතරමං වෙලා උන්නු අය නං දන්නවා එහෙව් වෙලාවක දැනෙන අසහනේ...

ඒත් හත්තික්කේ, එදා රාත්තිරියේ හිතට වැදිච්චි අදහස ටික දොහකින් මට අමතක වෙලා ගියේ නෑ. හිත පාරවමින් පොලා පැන-පැන ඉස්මතු වුණා.

‘ඔව් යකෝ! තිස් අවුරුද්දක් විතරම තමුසෙ හැංගිමුත්තං කෙළියා මදැයි! දැන්වත් ඔන්නොහෙ ඇත්ත කියල දාලා හිත නිදහස් කර ගනිං මිනිහෝ!’
ඉතිං, මං වහන්සේ එකලාවම තීරණේ කළා මගේ කතන්දරේ එළිදරව් කරන්න.

‘පරෙස්සමින් නිමලෝ! අහක යන නයින්ව ඇදලා අරගෙන රෙද්ද අස්සෙ දාගන්නවා වගේ නෙවෙයි- සමහරවිට කනවෝ කනවෝ කියලා කෑ ගහන්නත් වෙයි!’ හිත අනතුරු අඟවමින් බලාගෙන උන්නා.
මට තිබ්බ ලොකුම ප්‍රශ්න වුණේ පටන් ගන්නේ කොතැනින්ද- කාගෙන්ද- කොහොමද කියන එකයි! (එහෙම දෙගිඩියාවකට මුහුණ පාලා තියෙන අය; දෙලොවක් අතර අතරමං වෙලා උන්නු අය නං දන්නවා එහෙව් වෙලාවක දැනෙන අසහනේ පොඩි නැති විත්තිය!)

අවුරුදු දහස් ගණනාවක් තිස්සේ දස පාරමිතා පුරමින්- ආත්ම සිය ගණනාවක් තිස්සේ බුදු බව පතමින් සසරේ සැරි සරලා, දස මාරයන් පරදවලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණු සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේටත් එහෙව් ප්‍රශ්නයක් ආවනේ-
කාටද පළමුවෙන්ම බණ කියන්නේ කියලා... තමන් වහන්සේ දේශනා කරන්නට යන ධර්මය අවබෝධ කර ගැනීමට තරම් නුවණ මුහුකුරා ගිහිං තියෙන අය ලෝකෙ ඉන්නවද කියලා...

ඒ ගැන කල්පනාවට ගත්තු ගමන්ම මගේ සිහියට ආවේ සමන්ති පද්මිණී දිසානායක; Sam; අපේ පවුලේ හත්වැන්නී. ඇඟපතින් හැඩ රුවෙන් එයා අපේ මහරගම ආච්චී වගෙයි. මොළයෙනුත්!
මට පෙනෙන විදිහට නං මගේ නංගිලා- මල්ලිලාගෙන් බුද්ධිමත්ම කෙනා වෙන්නෙත් සෑම්.
(දීපාල්- අනිල් දෙන්නාගේ ‘ටිකිරි මොළවල්’ ගැනත්, දීපානිගේ මොළේ වැඩ කරන හැටි ගැනත් අපූරු අවස්ථා දෙකක් ගැන ඔයාල දැනටමත් කියවලා තියෙනවනේ.)
ඔව්! සමන්තිට තමයි ඉස්සෙල්ලම කියල බලන්න ඕනි! සමන්තිනේ වෙඩින් කාඩ් එකටත් අම්මලගෙ නම් නොදා
මගේ නම දැම්මෙ. එයාට කිව්වට පස්සේ... බලමුකෝ මොකද වෙන්නේ කියල...

නිමල් දිසානායකයා ඒ විදිහට තීරණය කළ විත්තිය හැබෑය. ඒත් ඒකා පිටිං පෙන්නන තරමට දරදඬු නැති හින්දා දස අතේ කල්පනා කළේය... ඒ, එම තීරණය ක්‍රියාත්මක කළ යුත්තේ කොහොමදැයි කියලාය.
ඒකා වැඩියත්ම කල්පනා කළේ, උදේ හවස දෙකේ බස් එකේ යන අතරෙය. (එංගලන්තයේ වෙලාවට- කලාවට දුවන බස් රථ ගැන මා මීට කලින් ලියා ඇත.)



බස් පාස් එකක් ගත්තම ලාබයි. දවසට දෙතුන් පාරක් වුණත් එකම ගමන යන්න පුළුවන්...

ඒ බස්වල ඇතුළතත් පිටතත් පෙනුම චාම්ය. දිදුලන බබළන විච්චූර්ණ සැරසිලි නැත. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලාගෙන් එකම එක්කෙනෙක්වත් බස් එකේ පැත්ත පළාතකට වැද්දාගෙන නැත. කන් පැලෙන ‘ඩඟර ඩඟර’ සිංදුත් නැත.

පා පුවරුවේ එල්ලීගත් ගමන්- පාරේ අනිත් වාහනවලට ඉස්සර කරන බව පෙන්වන්නට අත දික් කරගෙන සංඥා කරමින් යන ‘මදාවි කොන්දොස්තර අය්යලාත්’ නැත.

කිසිම කලබලයකින් තොරව- විනීතව බස් රිය පදවන්නෙත්, බසයට නඟින මඟීන්ගෙන් අදාළ ගාස්තුව අය කරගෙන tickets නිකුත් කරන්නෙත් බසයේ රියදුරු මහතා තනිවමය!

ඒ දවස්වල ඔහොම විස්තර ලියනකොට මං වහන්සේට මඟ ඇරිච්ච කාරණාවක් Lotus රසිකාවිය විමසල තිබුණා- මේ posts මාලාවේ දසවෙනි එකේදී.
නිමල් එතකොට පලවෙනි දවසෙම පාරවල් හොයාගෙන බස් එකේ වැඩට ගියාද, නැත්නම් දීපාල් ගිහිල්ලා දැම්මද. ඒ දවස්වල paper tickets තියෙන්න ඇත්තෙ දැන් වගේ ATM කාඩ් එක touch on කරන්න බැරුව ඇති නේද.”

අපරාදේ කියන්න බෑ, Lotus, බස්සා මහත්තයා දෙන්නා විශේෂ ප්‍රශ්න විමසමින් මාව පොළඹවනවා මගේ පැරණි මතකය අවුස්සන්න. නිදිගෙ පංච තන්තරේ කියවන තවත් පාඨකයනුත් ඔය ‘හතර වටේ අතීත විස්තර’ දැන ගන්න අකමැති නැහැ වගෙයිනෙ. ඉතිං ඒ හැමෝම වෙනුවෙන් මං ඇවිස්සුවා ‘පරණ පෙට්ටගම’- එහෙම කළේ Bus Pass එකක් තිබිච්ච බව මතක නිසයි.

බස් පාස් එකය කිව්වට මහ ලොකු එකක් නෙවෙයි, වදේ. අඟල් 4 x 2 ½ size එකේ පොඩි එකක්.
අනෙ අම්මේ... පෙට්ටගමේ පරණ ලට්ට- ලොට්ට අතරෙන් ඒක හොයා ගන්න වෙච්ච මහන්සියක්!

පළමුවෙනි වතාවේ එංගලන්තෙට ගියාම අපේ අම්මා තමයි bus pass කියලා ජාතියක් ගැන අපේ අනිල්වයි, මාවයි දැනුවත් කළේ.
“බස් පාස් එකක් ගත්තම ලාබයි. දවසට දෙතුන් පාරක් වුණත් එකම ගමන යන්න පුළුවන්...” අම්මා කිව්වේ අම්මගෙ bus pass එක පෙන්නන ගමන්.
“එතකොට ලංගමේට පාඩුයිනෙ!” අන්නා කිව්වා. ඒක ඇහුණු ගමන් දීපාල්ලා කට්ටියම උඩ පැන-පැන හිනා වුණා. “මෙහෙ කොහෙන්ද අනිල් අයියේ ලංගමක්... London Transport මිසක්?”
“හරි, හරි. අපි මේ මෙහාට ආවා විතරයිනෙ හලෝ. පොඩ්ඩක් වැරදුණා... ඕකට ඉතිං හොඬවැල පටලෝලා උස්සල අරං පොළොවෙ ගහන්න ඕනිය.”

“අනිල්ට වාසියි මාසේ පාස් එකක් ගන්න එක. ඔයාට නං රංජි එහෙම කරන එක පාඩුයි. ඔයා දිගටම එකම තැනක වැඩ කරනවා නෙවෙයිනෙ. රංජිට වැඩ හම්බ වෙන හැටියට සුමානේ බස් පාස් එකක් ගන්න එක තමයි හොඳම දේ.” ගිය වතාවට අපේ අම්මාගේ ඒ කීම වලංගු වුණත්, දෙවෙනි වතාවේ මට එය ගැලපුණේ නැත.

ඇත්ත කියපං... උඹට එෆෙයාර් එකක් තියෙනව නේද?” ඒ ගමන්ම අමන් මටත් ප්‍රශ්න කීපයක් එල්ල කෙරුවා.

නිතිපතා සවුත්හෝල් වෙත යන බැවිනි, මා එවර මාසික bus pass එකක් ගත්තේ. ඒ වෙනුවෙන් පවුම් 23.10ක් ගෙවන්නට සිද්ද වී තිබෙන බව bus pass එකේ ඡායාරූප සාක්ෂි දරයි!

ඉතිං උදේ හවා බස් එකෙන් යන අතරේ සිතමින් ගියත් මගේ අර ‘ප්‍රශ්නයට උත්තරයක්’ හම්බ වුණේ නැතිය. එය හම්බ වුණේ මා සිහිනයකින්වත් නොහිතූ විදිහටය.

ඒ ජංගම දුරකථන පෙරළියකට බඳුන් වෙමින් තිබූ යුගයයි. මුලින් මුලින් ගඩොල් බාගයක් තරම් සුවිශාලව තිබුණු මෝබයිලයන් ටිකෙන් ටික පුංචි වෙන්නටත්- හුරුබුහුටි වෙන්නටත් පටන් ගෙන තිබුණේ ඒ වකවනුවේදීය. එසේම ඒවායේ මිලත් අධික ලෙසම පහත වැටෙමින් තිබිණි. ඒ විත්තිය මට කිව්වේ හිත හොඳ බල්නූර්ය; එයා මෝබයිලයක් අරගෙන ආ දවසෙය.
“නිමල් බ්‍රදර්... I took a phone! ලස්සනයි නේද?” බල්නූර් ඒ ජංගම දුරකථනය මටත් පෙන්නුවේය. “දැන් මටත් පුළුවනි ගෙදර ඉන්න මිසිස්ට වැඩියෙන් කතා කරන්න.”

“මිසිස් එක්ක මොනව කතා කරන්නද බ්‍රෝ? ඔන්න කෙල්ලෙක් එක්ක නං...” එතැනම උන් අමන් විහිළුවෙන් ඇහුවේ එතකොටය.
“ඒක නෙවෙයි, නිමල්. උඹට උඹලගෙ රටේ කෙල්ලෙක් ඉන්නවා නේද? ඇත්ත කියපං... උඹට එෆෙයාර් එකක් තියෙනව නේද?” ඒ ගමන්ම අමන් මටත් ප්‍රශ්න කීපයක් එල්ල කෙරුවා.
“එකක්? එකක් නෙවෙයි අමන්, මට එෆෙයාර්ස් ගොඩක් තියෙනවා...” ඇත්තම ඇත්තක් බොරුවක් වගේ දැනෙන විදිහට මං කිව්වේ එතකොටයි.

එතකොට අමන් කිව්වේ මං කීයටවත් නොහිතපු දෙයක්.

“කෙල්ලෝ විතරක් නෙවෙයි නිමල්... උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා වෙන්නැති! ඇත්තටම උඹට එහෙම එෆෙයාර්ස් තිබිලා නැද්ද?”
ඒ කතාවෙන් නං මං තිගැස්සුණා. ඒත් ඒ විත්තිය කාටවත්ම නොපෙනෙන්න කට පුරවලා හිනාවක් දාන එක මට එච්චර අමාරු වුණේ නෑ. මගේ
රංගන කෞශල්‍යය එතකොටත් ඉතිරි වෙලා තිබුණු හින්දා.

නමුත් මගේ හිත නං තිබ්බේ දෙමෝලෙන් පිටි කොටන ගණනට.
ඇයි අමන් අරහෙම ප්‍රශ්නයක් ඇහුවේ... මට දිගටම හිතුණා.

ඒ වෙලාව මතක් වෙද්දී මේ දැනුත් මගේ හුස්ම වැටිල්ල වේගවත් වෙනවා... මුහුණට; විශේෂයෙන් කන් පෙතිවලට ලේ පිරෙන හැටි දැනෙනවා... ඇස් දෙකත් දිලිසෙන්න පටන් ගෙන වෙන්නැති...

එ..හෙ..නං අ..ද..ට නවතින්නං. ඊළඟ කොටස කියවන්නත් මෙහාට එනව නේද?à

26 comments:

  1. බස් රිය පදවපු බූ... සොරි.. රියදුරු මහත්වරු සුදු ජාතිකයින්ද, නැත්නම් දකුණු ආසියාතිකයින්ද, නිමල්? (ඒ දවස්වල).

    “එහෙත් සුමිත්‍රා ආන්ටි සිය මස්සිනාවවත්, ඔහුගේ ලිංගික සහකරුවාවවත් හෙළා දැක්කේ නැත“. ඒ කාලෙදිත් එහෙම කරන්න පුලුවන් වුණා කියන්නෙ ඇය ඇත්තටම හොඳ කාන්තාවක්.

    "එයාට කිව්වට පස්සේ... බලමුකෝ මොකද වෙන්නේ කියල..." බලමු.. සමන්ති වෙඩින් කාඩ් එකට නිමල්ගෙ නම දාලා පෙන්නපු රැඩිකල් ස්වබාවය අනිත් දේවලටත් තියෙනවද කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල මම වැඩියෙන්ම දැක්කේ සුදු ජාතික රියදුරු මහත්වරුන්. සික් ජාතිකයෙකුත් දැක්ක. Lotus දන්නවද- මට එයාව මතක හිටියෙ තලප්පාවයි- රැවුලයි නිසා.

      Delete
    2. සත්තකින්ම සුමිත්‍රා ආන්ටි ඉතා ප්‍රියමනාප- රැඩිකල් කාන්තාවක්!
      Samට කියපුවම වෙච්ච දේ ඉක්මනටම කියවේවි.

      Delete
  2. "ගණේමුල්ල සංජීව යනු රු.5000 ටත් මිනී මරන්නෙකු බව..." ලෝකයේ දියුණු රටවල නම් අපරාදකාරයෙක්, කුඩුකාරයෙක්, කවුරු වුණත් අනතුරකට පත්වුණාම, ලෙඩ වුණාම ඔවුන්ගෙ ජීවිත බේරගන්න තමයි ඉස්සෙල්ලා උත්සාහ කරන්නෙ. නඩු අහන්නෙ ඊට පස්සෙ. නමුත් මිනිස්සු දාස් ගානක් යන එන උසාවි සංකීර්ණයක වෛද්‍යාධාර/ ප්‍රථමාධාර ඒකකයක්, stretcher එකක්වත් නැද්ද කියලා මට හිතුණා ඒ මනුස්සයව උස්සගෙන ඇවිල්ලා කකුල් දෙක එලියෙ තියාගෙන වාහනයක බිම දාගෙන යන හැටි දැක්කම. ඔව් ඒ මනුස්සයා ඊට වඩා දරුණු අපරාද කරලා ඇති නමුත් එහෙම වුණා කියලා මුලු සමාජයක්ම අශිෂ්ට විදිහට හැසිරෙන්න ඕනෙද. අනිත් එක ඉතින් අපරාදකාරයො එකා දෙන්නා මරලා පාතාලය තුරන් කරන්න පුලුවන් කියලා හිතන එක නගරයක් අලංකාර කරපු කෙනා රටම අලංකාර කරයි කියලා හිතපු ආකල්පයම තමයි.

    ReplyDelete
    Replies
    1. Lotus, ඔයා හරි!
      මනුස්සයෙක් නෙවෙයි සතෙක් සිවුපාවෙක් ගැන වුණත් ඉස්සර අයට තෙතමනයක් තිබ්බා. මට හිතෙන හැටියට ඒ තෙතමනය ටිකෙන් ටික නැති වෙන්න ගත්තා 71- 83- 88 වගේ කාලවලදී...

      හැබැයි ඉස්සර හිටන්ම මෙහෙම කතාවකුත් අපේ අය අතර තිබ්බ නේද? 'බල්ලෝ මරල සල්ලි හම්බ කළාම මොකෝ- සල්ලි බුරනවයැ'

      වීඩියෝ දර්ශන බලද්දී මට හිතුනෙ ඒ මනුස්සයාගේ පණ ටික යනකල් ඉස්රිතාලෙකට ගෙනියන්නෙ නැතිව පරක්කු කළා කියලයි!

      Delete
  3. නිමල් මාමේ අනුර සහෝදරයා මේ රට දියුණු කරයි නේද ?

    නේද ????

    නේද ?????

    ReplyDelete
    Replies
    1. ඔව් බෑනෝ, මට තවමත් එහෙම හිතෙනවා...

      Delete
  4. සෙව්වන්දියකව ලුහු බැන්දා ...
    සලිඳුවා පමණක් දුක්වින්දා ...

    යකෝ සෙව්වන්දි නෙවෙයි
    අහුවෙලා ඉන්න සමිඳු ත් ඇත්ත වෙඩික්කරු නෙවෙයි මට හිතෙන විදියට.
    ඇත්ත දෙන්නම දැන් රටෙත් නැතුව ඇති, මෙලෝ වැඩක් බැරි ගොබ්බ ආන්ඩුවක පාලනය යටතේ වැඩ බලන පොලොස්පතියාගේ වැඩ බැරි
    පොලෝසිය කෝපි කාලෙ ක්‍රම අනුගමනය කරනව. ඉතින් පොලිස්පති වැඩ බලලම ගෙදර යයි වගේ.ලංකාවෙ පොලිසියේ තියෙන බලුම පුරුද්දක් තමයි අපරාධකරුවෙක් අල්ලගන්න බැරි වුනොත් ලඟම නෑදෑයින් මොනවාහරි බොරු චෝදනාවක් දාල අත්අඩංගුවට ගැනීම. නීතීඥ සංගමයවත් මේ වගේ ජරා පොලිස් පුරුදු වලට විරුද්ධව නැගී නොහිටින එක අවාසනාවක්.



    නිස්සන්ගෙන් නෙවෙයි උස් පුටු පුරවන්නේ
    පුස්සන්ටම තමයි තනතුරු පුද දෙන්නේ
    වැඩ බැරි වුණත් උන් වැඩි පඩි ලැබ ගන්නේ
    කොහොමද ඉතිං වෙන පාඩුව වළකන්නේ?

    වැටිලා තැලී කොටාගේ නිතඹේ මොළය
    ඒත් තවම පාඩම් අරගෙන නැතිය
    මාලිමාවේ උන් අසූචි අනුභවය
    දැන් නං පෙනෙයි වල්මත්වී ඇත රජය

    තර වෙයි මාලිමා හොර රැල ගහල ගැටේ
    පච කෙළිනවා ජෙපි රොත්තම හැටට හැටේ
    වැඩි හරියක් බඩගින්නේ අපේ රටේ
    පොදු ජනයට අමාරුයි පෑගිලා ඇටේ!

    ReplyDelete
    Replies
    1. නිස්සන් නැතිව පුස්සන්ටම තැන දුන්නු
      යුගයක අයුරු අපි දුටුවෙමු- අති දරුණු
      අදත් දැකිය හැකි ඒ පුස්සන් සිටිනු;
      පැරණි බොස්ල පැත්තට ඇද වැඩ කරනු

      Delete
  5. අදත් සමරිසි පටන් ගත්ත නේද? මොන මගුලක්ද අයිසේ මේක, ආසා හිතෙන දෙයක් ලියනවකෝ.
    නිදි, සමනලයා කියන වචනේ ආවේ ලගදී නේද? 95 වගේ කාලේ සමරිසි කාරයෝ වැඩි කල් හිටියේ නෑ නේද?
    අපේ ඔපිස් වල දැන් ටික ටික සමරිසි ගැන කතා වෙනවා. ඉස්සර මගේ පාට්නර් කිව්වම අපි ටිකක් පරිස්සමෙන් පාට්නර් ගෑනිද මිනිහද කියලා හොයා ගන්නවා. දැන් මුන් හස්බන්/වයිෆ් කියලා කියනවා, අපි මාර අමාරුවක වැටෙන්නේ.

    මෙන්න අමාරුම ප්‍රශ්නය, කොහමද මේ සමරිසි එවුන් හස්බන්/වයිෆ් හොයා ගන්නේ?
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ අදහස නොසඟවා කීම ගැන ගොඩක් ස්තුතියි විජේබාහු මහත්තයෝ.
      ඔයා කියන විදිහට 'ආසා' හිතෙන දේවල් ලියන්න මට තියෙන්නෙ ඉතාම සීමිත ඉඩක්. මොකද- නිදිගෙ පංච තන්තරේ ලියැවෙන්නේ මගේ ජීවිත කතාවනේ. ඉතිං වෙච්ච දේවල් තමයි ලියන්න වෙන්නේ.

      සමරිසි- සමනල යෙදුම් ආවේ පසුකාලීනව තමයි.

      ඔවුන් වැඩිකල් හිටියේ නෑ?
      මං හිතන්නේ ඔවුන් එදත් හිටියා. හැබැයි හැංගිලා. ඇත්ත නොකිය තමන්ගේ අනන්‍යතාව වසං කරගෙන. රටේ ඉහළම තනතුරු දැරූ සමරිසියන් පවා 50 දශකය තරම් ඈත කාලෙත් හිටියෙ! (ඒ කාලෙ සල්ලාල ජීවිත ගත කළා යැයි කියවෙන ලොක්කන් ගැන විජේබාහු මහත්තයා මොකද හිතන්නේ?)
      අමනාප වෙන්න එපා, මෙහෙම කිව්වට. විජේබාහු මහත්තයගේ ප්‍රකාශවලින් මට වැටහෙන්නේ ඔයාගේ හිතේ සමරිසි උදවිය කෙරෙහි අප්‍රසාදයක් මුල් බැසගෙන තිබෙන විදිහයි.
      //දැන් මුන් හස්බන්/වයිෆ් කියලා... මේ සමරිසි එවුන්// වගේ යෙදුම් දැක්කමයි මට එහෙම හිතුනෙ. මං වැරදි වෙන්නත් ඉඩ තියෙනවා- හොඳේ.

      Delete
    2. //මෙන්න අමාරුම ප්‍රශ්නය, කොහමද මේ සමරිසි එවුන් හස්බන්/වයිෆ් හොයා ගන්නේ?//

      (එහෙම හොයාගත යුතුමද විජේබාහු මහත්තයෝ?)

      මං හිතන්නේ ඇක්ටිව් පාට්නර් තමයි හස්බන්ඩ්. පැසිව් පාට්නර් තමයි වයිෆ්.
      https://nidigepanchathanthare.blogspot.com/2021/09/blog-post_08.html

      Delete
    3. සල්ලාල කියන්නේ මොකක්ද? රටේ මිනිස්සුන්ට පෙන්නම ගැණු පස්සේ යන එකද? හොරෙන් කරන අය සල්ලාල නැද්ද? මේවා දැවන ප්‍රශ්න නිදි.
      මම කියන්නේ කැමති ගැණු ඕන තරම් ගන්න, හැබැයි ගැණු රවටන්න අමාරුවේ දාන්න පවුල් කඩන්න එපා. ඒ අයගේ අර දෙක තලන්න ඕන.

      සමරිසි අය ගැන නි.දි. හිතුව දේ වැරදීයි, එක සිංහල කෙටීමේදී උන අතපසුවක්. මම ඔය බෙදීම්වල (ජාති,ආගම්, පක්ෂ, රිසි/නොරිසි) මුල් බැසගෙන නැත. තමන්ගේ ජීවිතය තමන්ට ඕන විදියට, අනුන්ට ප්‍රශ්නයක් නොවී ගෙනියන්න ඕන කෙනෙකුට නිදහස තියෙන්න ඕන කියල මම හිතන්නේ.

      සමරිසි අය ගැන උනත්, මම දන්න විදියට ලංකාවේ ඒ අයට අතීතයේ උනත් එහෙම කරදර උනේ නෑ. සමහර දියුණු රටවලත් අතීතයේ සමරිසි නිසා ගැනු/මිනිස්සු මරලා තියෙනවා. අදටත් එහෙම වෙනවා අප්‍රිකාවේ.

      කොහමද මේ සමරිසි අය හස්බන්/වයිෆ් හොයා ගන්නේ? මේක විහිළුවක් නොවේ, කතා බහ වෙනකොට ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්
      මම විජේබාහු

      Delete
    4. // ඔයාගේ හිතේ සමරිසි උදවිය කෙරෙහි අප්‍රසාදයක්....//
      බාගදා මා ගැනත් එහෙම හිතෙනව ඇති. අප්‍රසාදයක් නැහැ, හැබැයි රිපීට් කියන ඒ කොටස් ගැන ප්‍රසාදයකුත් නෑ. ඒත් අර කිව්වා වගේ මේක නිදිගෙ කතාව, නිදිගෙ ආතල් එක නිසා ඉවසා වදාරණවා.

      උදාහරණයක් විදිහට
      stephen fry
      මම කැමතිම අයෙක්. ඔහුත් සමරිසි, ඒත් ඔහු ප්‍රහසන නළුවෙක් වගේම ඉතාම බුද්ධිමත් කෙනෙක්. නිදි තමන්ටම "නරක සමනලයා" කියා පුන,පුනා කීමෙන් කරන්නේ පස්චාත්තාප වීමක්ද, ආතල් එකක්ද කියා පැහැදිලි නෑ. ඒක පස්චාත්තාප වීමක්, සමාව ඇයදීමක් නං, ඒක අවශ්‍ය නෑ.

      Delete
    5. විජේබාහු මහත්තයටයි බස්සා මහත්තයටයි දෙන්නටම ස්තුතියි- ගොඩාරියක්.
      දීර්ඝව ඔයාලගේ අවංක අදහස් ඍජුව කීම වෙනුවෙන්.

      ඒ ගැන මගේ පැත්තෙන් කිව යුතු කරුණු කීපයක්ම තිබෙන හින්දා ඊළඟ post එකේම කියන්නං.
      සමනලයෙකු වීම ගැන මගේ පසුතැවීමක් නෑ. නමුත් මං හිතන විදිහට ඒ සබඳතාවලදී මගේ තිබුණු චපලකම ගැන නං මට තරහයි- මාත් එක්කම. ඒක මගේ ලොකු දුබලකමක් විදිහටයි මට දැනෙන්නේ...

      Delete
    6. විජේබාහු මහත්තයටයි බස්සා මහත්තයටයි දෙන්නටම ස්තුතියි- ගොඩාරියක්.
      දීර්ඝව ඔයාලගේ අවංක අදහස් ඍජුව කීම වෙනුවෙන්.

      ඒ ගැන මගේ පැත්තෙන් කිව යුතු කරුණු කීපයක්ම තිබෙන හින්දා ඊළඟ post එකේම කියන්නං.
      සමනලයෙකු වීම ගැන මගේ පසුතැවීමක් නෑ. නමුත් මං හිතන විදිහට ඒ සබඳතාවලදී මගේ තිබුණු චපලකම ගැන නං මට තරහයි- මාත් එක්කම. ඒක මගේ ලොකු දුබලකමක් විදිහටයි මට දැනෙන්නේ...

      Delete
  6. කතාවේ වැඩි හරියක් කියෙව්වා. අර බස් පාස් වගේ විස්තර රසවත්. අමන්, බල්නූර් කතාවෙ මේ කොටසට අදාල නිසා එකත් කියෙව්වා.

    සමහර බවුතික විද්දියා පාඩම්, අතීත සැමරුම් කොටස් වලට කොච්චර ආසද කියනව නං, ලිස්සුවෙ සුරුස් ගාලා එකසිය හැටට බල්ටියකුත් ගහලා.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ, කමක් නෑ බකුසුතුමෝ. මම මට කැමති විදිහට ලියන දේවල් සේරම පාඨකයනුත් කියවිය යුතුය කියල මං හිතන්නේ නැහැ. ඒත් කවුරු හරි කොටස් මඟ හරිමින් කියවනවයි කියන්නේ ලිවීමේදී මගෙන් සිද්ද වෙන අඩුවක්. ඒ ගැන මගේ දැනීමේ හැටියට ලියනවා- ඊළඟ කොටසේදීම.
      කමක් නැහැනෙ.

      Delete
  7. https://www.sciencealert.com/case-study-shows-it-s-possible-to-orgasm-through-mental-thoughts-only

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.

      Delete
  8. පොස්ට් එක කියෙව්වෙමි, නවත්වල තියෙන්නේ හොදම හරියෙන්...කමෙන්ට් ටිකත් බැලුවා .... mama lalith.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත් මහතාණෙනි.
      මං හිතන්නේ ඕනෑම නිර්මාණශීලී දෙයක මුලත්, අගත්, මැදත් ඉතා හොඳින් තිබියයුතු බවයි. ඒ අදහස හැකිතාක් සුරකමින් තමයි මම ලියන්නේ.

      Delete
  9. මම ඉස්සෙල්ලම ලන්ඩන් ආව කාලේ සෝන් හතරට පාස් එක පවුම් 4.50. 1985. නිදිත් ඒ කාලේ ආව නේද

    ReplyDelete
    Replies
    1. ආවා නේන්නං අජිත් මහත්තයෝ. පළමුවෙනි ලන්ඩන් ගමන. ඒ වතාවේ මාස එකොළහක් ඔහේ හිටියා.

      Delete
  10. දැනුයි කියවන්ට හම්බු වුනේ 😁

    ඉස්සර තිබුන විසිරුණු පවුල නැතිවෙලා ගොහින් න්‍යෂ්ඨික පවුල මතුවෙනවත් එක්ක ඔය ආච්චිගෙන් සීයාගෙන් කතන්දර අහල දේවල්, විස්තර තේරුම් ගැනීම සහ ආදර්ශ, අවවාද ලැබීම වර්තමානේ දරුවන්ට නැතිවෙලා ගියා.
    කියෙව්ව මනෝවිද්‍යා ලිපි කීපයකමත් මේ අර්බුධය ගැන සඳහන් වෙලා තිබ්බ මතකයි!

    ReplyDelete
    Replies
    1. ඔව් නමී, වියපත් වැඩිහිටියන්ගේ ආදරය සිඟිත්තන්ට ගොඩක් වටිනවා. ඔයාත් දකිනවනේ අපේ මානි නංගි හිමන්‍යා මිනිබිරියට කරන යහපත් බලපෑම.

      මේ ළඟකදී මට ඉතාම තදින් වැදුණු 'කීමක්' මේ.
      කිව්වේ අට වසරේ ඉගෙන ගන්න දුවෙක්. එයාගේ ආච්චී 'සෙල්ලම ටිකක් අඩු කරල පතක් පොතක් කියවන්න'යි කිව්වට පස්සේ.
      'ඔයාට මොකටද මගේ ඒවා? ඔයාලට ළමා කාලයක් තිබිල නැහැනෙ!'

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්