“යුෂ්මතී නවතිනු!"
“මොකී? යුෂ්මතී? මං යුෂ්මතී නෙවෙයි නෝනා!
නෝනා! තේරුණාද... නෝනා!”
කිඩෑ කෙල්ල - නෝනා |
“වෙනත් බහුජනයින් මා දුටු පමණින් ත්‍රස්ත වෙද්දී.... මගේ නාමය ශ්‍රවණය කළ පමණින් භීතියෙන් මුසපත් වෙද්දී මේ කිඩෑ කෙල්ල නිර්භයව මා අබියස පිළිවදන් දොඩන අයුරු? මා කවුදැයි තී දන්නෙහිද?”
“මේ.... තමුසෙට අංකල් කියන්නද, සීයේ කියන්නද,
එහෙමත් නැත්තං මාමේ කියලා කියන්නද තෝරාගන්න බැරිවයි මං මෙච්චර වෙලාවත් නැවතුණේ. මට
පරක්කු වෙනවා. මං යනවා මාමේ. ආ, ඔයා නාට්ටියකට යන්නද ඔය ඇඳගෙන ඉන්නේ? අපේ ලොකාලත්
නාට්ටිය නම් නටනවා!”
“මොකා? ලොකා...?”
“අයියෝ, ඔයා ලොකූව දන්නේ නැද්ද? නිමල්.....
නිමල් දිසානායක. නිමල් අයියා. අපේ ලොකයියා.”
“සැබැවි, සැබැවි. මෙතෙක් මට ඔහුගේ දර්ශන මාත්‍රයක්වත්
ලැබීමේ භාග්‍යය නොලද්දෙමි. මට හසර වැරදුණු සෙයක් හැඟිණි. මා මේ සොයා යන්නෙත් ඒ
භවතාමය. නිමල් දිසානායකයන්වමය.”
“එහෙමද? එහෙනම් එනවා මාත් එක්ක. ලොකයියා මේ
සැරේ එයාගේ බ්ලොග් එකට මගේ ගැනත් ලියන්නලු යන්නේ. මගේ ගැනයි, අහිංසක කියලා එක්කෙනෙක්
ගැනයි....”
“මැනවි, මැනවි. ඉතා මැනවි. ඒ අහිංසක වනාහී
මම්ම වම්හ.... දැන් මා වල්මත්වීම ගැන බියක් නැත. පෙරමුණ ගෙන මටත් මාර්ගය පෙන්වනු
මැනවි.”
ඔන්න ඔහොමයි ඒ දෙන්නා ආවේ; එන්න කලින්ම
එකිනෙකා හමු වෙලා තිබුණේ. ඇත්ත, මම තමයි එයාලාට පණිවුඩ යැව්වේ මේ වතාවේ බ්ලොග් එකට
එයාලා ගැන ලියන හින්දා ඇවිත් උදව් වෙන්න කියලා.
දන්නවනේ, මේ දවස්වල හිටි-හිටි ගමන් සමහර
විස්තර අමතක වෙනවා! ඩිමෙන්ෂියාව හැදෙන්න එනවාද මන්දා? අර අමතක වීමේ රෝගය! මට වගේ
නෙවෙයි. දැන් ගොඩක් අයට ගොඩක් දේවල් අමතක වෙනවා! විශේෂෙන් 225 නඩේ අයට. අපිටත් එහෙමයි.
මුල අමතකයි.
ඒ කාලේ නම් සිරි ලංකාවේ අයට මුල අමතක වුණේ
නෑ.
මොකද නැත්තේ? අච්චර උදව් කරලා රටේ රජකමත්
අරන් දුන්නු කුවේණිව දරු පැටව් දෙන්නෙකුත් එක්කම මාලිගාවෙන් එලෙව්වේ විජයට මුල මතක
නැති වුණු නිසා නෙවෙයිද?
ඉතින් විජය ලංකාවේ කෙනෙක්ද? ඉන්දියාවේ ලාට දේශයෙන්
පිටමං කරපු මැරයෙක්නේ. ඔන්න මිනිහා මෙහාට පාවෙලා එද්දිත් ලංකාවේ හිටිය යක්ෂ, නාග ගෝත්තරවල අය නම් මෙහෙ උදවිය. අනේ මන්දා... අද ඔව්වා නෙවෙයිනේ ලියන්න හිටියේ.
කොහොමින් හරි දැන් අපි කවුරු කවුරුත් ටිකාක් මුල අමතක වීමේ ලෙඩේ කැමැත්තෙන්ම
වැළඳගෙන වගෙයි.
තව රහසක්. ආසියාකරේ මිනිස්සුන්ට ඔය
ඩිමෙන්ෂියාව නොහැදෙන්න එක හේතුවක්ලු අපේ කහ කෑම.
දැන් නම් අපි කහ කනවට වැඩිය ‘කහ ගන්නවා’. ඒ
වගේම කාට හරි කියලා ‘කසාගන්නත්’ කැමතියි. ඉතින් ‘කහ’ කතාව ඇත්ත වෙන්නත් ඇහැකියි.
අපේ තුනපහ ජාතිවලින් මොන-මොනවා නොදා ඉව්වත් අපි කහ නොදා උයනවද? සෙංගමාලේ හැදිච්ච
ලෙඩ්ඩුන්ට විතරනේ කහ නොදා උයන්නේ.
කහ |
කොච්චර කහ කෑවත්, මේ දවස්වල බොන බෙහෙත් ජාති
නිසා මට සමහර වෙලාවට යම්-යම් දේ අමතක වෙන්න පුළුවන්ලු. විශේෂයෙන් මෑත කාලීන දේවල්.
ඉතින් කොයිකටත් කියලා අර දෙන්නාවම ගෙන්නා ගත්තු එකේ පල නෙලාගන්නත් එපැයි.
‘අහිංසක උන්නැහේ, දැන් ඔන්න ඔහේගේ වගතුග
කියන්න වෙලාව. හැබැයි භාෂාව යාවත්කාලීන කරගන්න වෙනවා. නැත්තං අපේ ආදරණීය රසිකයෝ මේ
පෝස්ට් ඒක කියවන එකක් නැහැ.’ මං අහිංසකට කිව්වා.
“හරි ලොක්කා, දෙන්නම්කො දොඹෙන්, ආශික් එකට!
කොහොමද ඕනේ? ගද්‍ය ශෛලියෙන්ද, නැත්තං කථන ශෛලියෙන්ද? නැති නම් පද්‍යයෙන්....”
‘අපොයි එච්චර එපා.’ මං අහිංසකට කිව්වා. ‘අපේ
වයසටත් ටිකක් ගැළපෙන්න එපැයි..... මං මේක දිගටම ලියාගෙන එන රටාව කඩන්නත් බැහැනේ.’
“ඔන්න එහෙනම්. අප්ඩේට් කථන ශෛලියෙන්. අපේ අම්මයි තාත්තයි හිටියේ
සැවැත් නුවර. තාත්තා භාර්ග. රස්සාවට කළේ කොසොල් රජ්ජුරුවන්ගේ පුරෝහිතකම. අම්මාට
කතා කළේ මන්තාණි කියලා. මං ඉපදුනෙත් එහෙ, ඒ කිව්වේ සැවැත් පුරේමයි....”
මං අහිංසකව නැවැත්තුවා. ‘එතකොට අර අවි-ආයුධ
දිලිසුණු කතන්දරේ...’
“ඕක කියන්නත් දෙයක්ද? දැන් මෙහෙ හැම තැනම
ආයුධ දිලිසෙන්නේ පාතාලයෝ අතේ.”
ඒකත් ඇත්ත. ‘එහෙම නෙවෙයි අහිංසක, ඉතිහාසේ
දේවල් කියද්දී ඔව්වා විශේෂයි. දැන් අපිට ඔව්වා නෝර්මල් වුණාට ඉස්සර ඔව්වා
ඇබ්නොර්මල් කේසස්නේ!’
“ආ, ඒකත් එහෙමද? ඉතින් මං ඉපදිච්ච දවසේ,
රාත්තිරියේ... ඉපදෙන මොහොතේ මුළු සැවැත් නුවරම තිබුණු සේරම කඩු, කිණිසි, තෝමර,
හෙලි, පිහි විතරක් නෙවෙයි මන්නා-කැතිත් දිලිසුණාලු. සේරමලා බය වෙලා. අනාවැකියකුත්
කියවුණාලු මං දවසක මහ භයානක මිනිහෙක් වෙනවයි කියලා.”
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක |
අනාවැකි කියන්නෙත් මහ භයානක ජාතියක්. මෑත
අතීතයේම අනාවැකි විශ්වාස කරලා කී දෙනෙක්
කෙළවා ගත්තද? ඒත් සමහර අනාවැකි හරි යන නිසා; හරි ගිය නිසා හුඟ දෙනා එව්වා
විශ්වාස කරනවා.
දැන් උඩවලවේ ‘චන්ද්‍රිකා ජලාශය’ බලන්නකෝ.
එතකොට ඒක හදනවා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා දූ-දරුවන්ගේ වේලාපත්කඩ
බලවලා. එව්වා බලපු මනුස්සයා කිව්වාලු ‘කවදා හරි දවසක මෙන්න මේ දූ රජ වෙනවා’ කියලා.
ඒ කිව්වේ සිඟිති චන්ද්‍රිකාගේ වේලාපත්කඩයට අනුවලු.
‘එහෙනම් අපි මේ ජලාශයට එයාගේ නම දාමු!’ කියලා
සී.පී.ද සිල්වා මහත්තයා යෝජනා කරලා. දන්නවනේ, පස්සේ කාලෙක චන්ද්‍රිකා නෝනා
අනාවැකියේ විදියට රජ වුණානේ; ඊට පස්සෙ මොනවා වුණත්!
“ඒ දවස්වල නම් මං ඔව්වා දැනගෙන හිටියේ
නැහැනේ.” අපේ නෝනා කිව්වා. එයාලා කවුරුත් මට ටිකාක් විතර බයයි. මගේ ඉස්සරහ වැඩිය
කට-පට්ට අදින්නෙ නෑ! පොඩි ඉඩක් ලැබුණාම අත අරින්නෙත් නෑ.
“ඒ දවස්වල කිව්වේ?” ඔන්න දැන් අහිංසකත් ප්‍රශ්න
අහන්න පටන් අරන්.
“ලොකූ ඔය කියන්න යන කතාව කාලේ. එතකොට මට
අවුරුදු පහක් විතර. මං පොඩි එකී!” තව විස්තර කියන්න කලින් මං අත උස්සලා එයාට ඇති
කියලා ඇඟෙව්වා. නෝනා කට වහගත්තා. අහිංසක ආයෙම කතාව පටන්ගත්තා.
“අනාවැකිය නිසා බය වුණු හින්දාමයි අපේ
තාත්තලා මට අහිංසක කියලා නම දාලා තිබුණෙත්. කොහොමින් හරි මට හය-හතර තේරෙන වයසට
එද්දී අපේ අම්මලා මාව තක්සලාවට පිටත් කළා ශිල්ප හදාරන්න.” මේ සැරේ එයාට බාධා කළේ
මං.
‘හය-හතර කිව්වේ?’
සදිව්‍ය ලෝකය |
“නැත්තේ මොකද ලොක්කා. මං හිතන්නේ පහේ ශිෂ්‍යත්වෙටත්
මෙව්වා අහනවා ඇති. ළමයින්ට කටපාඩම් කරගන්න පුළුවන් වෙන්න ලියලා දාන අයියේ.” ඒකත්
ඇත්ත වෙන්නැති. ඔන්න මං අහිංසක කියපු ඉතිරි ටිකත් කොටනවා.
“.... නරකය කියන එකට අපායවල් අටක් අයිතියි.
සංජීවය, කාලපුත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය. පේනවද
ලොක්කා, අපි වැලිපිල්ලේ ලිව්වත්....” කියලා නවත්තලා මෙන්න මේ යක්ෂයා තාලෙට සින්දු
කෑල්ලකුත් කියනවා. “... මගෙ මතකය තව සුවඳයි!”
අපාය |
ඒක නම් සහතික ඇත්ත. දැන් කාලේ අපි ඉගෙනගන්න
දේවල් සේරම විභාගෙට ලියාපු ගමන් අමතක වෙලා යනවා. සීයට අනූනවයක්ම එහෙම අනවශ්‍ය
දේවල්මනේ අපි ඉගෙන ගන්නේ. මෙලෝ යකෙකුට වැඩක් නැහැ. ඉස්කෝලවල, විශ්ව විද්‍යාලවල,
ආයතනවල, රස්සාවල ඉඩ-පුරප්පාඩු නැතිවෙන තරමට උගන්වන දේවල් වැඩි කරනවා. විභාග අමාරු
කරවනවා. ඉතින් හැමෝම බලන්නේ ගිරව් වෙන්න! අලුත් චින්තනයක් නැහැ; හිතන්න දන්නෙත්
නැහැ.
‘එතකොට කවුද අහිංසකට ඔය හය-හතර කියලා දුන්නේ,
දිසාපාමොක් ඇදුරුතුමා ළඟට යන්නත් ඉස්සෙල්ලම?’
“ඇයි ලොකූ, අම්මල තාත්තලා- ආච්චිලා සීයලා-
නැන්දල මාමලා- ඉඳලම ඉන්නේ ඒකටනෙ. ඒකනෙ ගුරු- දෙගුරු කියන්නේ.”
මෙහෙම ගියෝතින් නම් මේ කතන්දරේ ඉවර කරනවා
බොරු. වෙනදාට පීලි පනින්නේ මං, අද මේ යෝධයා. මං ආයෙම මිනිහව ට්‍රැක් එකට ගත්තා.
‘එතකොට අහිංසකට හොඳට ඉගෙන ගන්න පුළුවන් වුණාද?’
“ආයෙත් අහලා. ඒකම තමයි පරහටත් හිටියේ. සේරම
ගෝලයෝ ඉරිසියාවේ පැලෙන්න ගත්තා. අන්තිමට අර අහිංසක ගුරු මාතාවයි මාවයි පටලවලා මහ
කැත-අසික්කිත කතාවක් ඇදුරුතුමාගේ කනේ තිබ්බා.”
“ඉතින් ඇදුරුතුමාත් ඒ කතාව පිළිගත්තද මෝඩයෙක්
වගේ?” ඕං ආයෙමත් නෝනාගේ කට ඇරුණා
ලොව හොඳම ගුරුතුමිය |
මට මතක් වුණේ ඇන්ඩ්‍රියා සෆිරාකෝ ගුරුතුමිය.
ලෝකයේ හොඳම ටීචර් විදියට මෑතකදීම අබිසෙස් ලබලා රුපියල් කෝටි 16ක විතර තෑග්ගක්
දිනපු, බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව. රටවල් 170කින් තරගයට ආව නාම යෝජනා 30,000කට
කිට්ටු ගණනකින් තමයි ඇයව තේරුණේ! ඒ ඉතින් යුරෝපා රටකනේ. දිසාපාමොක් ඇදුරුතුමා
හිටියේ ආසියාවේ රටකනේ.
“කාලේ වෙනස් වුණාට මනුස්සයෝ හිතන විදිය වෙනස්
වෙන්නේ නැහැ ළමයෝ!” අහිංසක හූල්ලලා කිව්වා. “හැමදාම වෙන්නේ එකම දේ. වටේට ඉන්න පන්දම්කාරයෝ
එකතු වෙලා ලොකු උදවියව රවට්ටනවා. එයාලටත් මොළේ නැති වෙනවා. බලේ තියෙනකොට මොළේ නෑ-
මොළේ තියෙනකොට බලේ නෑ!”
අහිංසක හීල්ලුවා. “ඉතින් මොකද වුණේ මාමේ?”
නෝනා අහපි. මේ ඩිංගට කෙල්ලට අහිංසකයා මාමාත් වෙලා.
“දිසාපාමොක් ඇදුරුතුමා කිව්වා ගුරු පඬුරු
පූජාවක් කරන්නයි කියලා.”
“හරි, හරි. මං දන්නවා. ඉස්කෝලෙකට ළමයෙක්
දානකොට ආධාරයක් කරනවා වගේ....” ඒ කිව්වේ නෝනා. ඔන්න අහිංසකත් නක්කලේට හිනා වෙන්න
ගත්තා.
“ඔය ළමයත් අපේ ටීචර්ලා සර්ලා වගේමයි, දැනීම
අප්ඩේට් කරගෙන නෑ. දැන් කොහෙද දුවේ ආධාර? ඒ අවුරුදු තිහ-හතළිහකට ඉස්සර. දැන්
එව්වායේ ගණන ලොකුයි. නමත් ගාම්භීරයි. සමහර වෙලාවට මස්-මාංශවලිනුත් දෙන්න වෙනවා.”
අප්පට සිරි! සැවැත් නුවර හිටියට අහිංසක ලංකාව
ගැනත් අකුරටම දන්නවනේ.
‘හරි. මොනවද එතකොට ඔය ඉල්ලපු ගුරු පඬුරු?’ මං
ඇහුවේ නොදන්නකමට නෙවෙයි, ආයෙම මිනිහාව කතාවේ හරි තැනට ගෙන්නා ගන්නයි.
“මිනිස්සු දාහක් මරලා.....”
“අනේ මාමේ. මිනිස්සු දාහක් මරන්න?
පව්නේ.....” නෝනා ඇස් දෙකේ කඳුළුත් පුරෝගෙන.
“පව්-පිං තේරෙන වෙලාවක නෙවෙයි ගුරු පියාණන්
හිටියේ. එයා හිතුවේ මං මිනී මරන්න ගත්තාම කාගේ හරි අතින් මාවත් මැරිලා යයි කියලා.....”
“එතකොට මාමාට බය හිතුණේ නැද්ද?” ප්‍රශ්න
ඇහිල්ල දැන් නෝනාම බාර අරන්.
“බය කියන්නේ වැඩවලින් මඟාරින්න කම්මැලියෝ
පාවිච්චි කරන මෙවලමක් දුවේ! කොටන කුකුළාට කොයි කොටුවත් එකයි කියලානේ කියන්නේ.
උත්සාහවන්තයාත් දිනනවාලුනේ. මම හිතුවා ඒ කඩුල්ලත් ආශීර්වාදයක් කර ගන්න.”
වින්ස්ටන් චර්චිල් |
අහිංසක වින්ස්ටන් චර්චිල් උන්නැහැගේ කියමනත්
දන්නවා වෙන්නැති. “සර්ව අශුභවාදියා සෑම අවස්ථාවකම දුෂ්කරතාවක් දකියි. සර්ව
ශුභවාදියා සෑම දුෂ්කරතාවකම අවස්ථාවක් දකියි.”
“ඉතින් මාමා මිනිස්සු මැරුවද? මං ඔය විස්තර
මොනවාවත් දැනගෙන හිටියේ නැහැනේ! පින්තූරෙට ආසා වුණා මිසක්.”
“මොකක්ද පිංතූරේ?”
දැන් නම් මේ වැඩේ මේ දෙන්නාට ඕනේ හැටියටයි
කෙරෙන්න යන්නේ. එහෙම කොහොමද? ඔන්න මට මතක් වුණා ටී.වී. එකේ දේශපාලන වැඩ සටහන්වලදී
දෙගොල්ලන්ව කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන තැනදී කරන දේ! ‘හා, හා, අදට පෝස්ට් එක ලියන
වැඩේට විරාමයක් දෙන්න වෙලාව හරි! ඉතිරි හරිය ඊළඟ දවසේ!’
මං මේක කියවන්න ආවා
ReplyDeleteමං බලාන උන්නා!
ReplyDeleteඅන්ඩ්‍රියා සෆිරාකෝට හොඳම ගුරුවරිය විදිහට තෑග්ග දුන්නෙ ඩුබායි වල Varkey Foundation එකෙන්, මම සුපිරි කොම්පැණියෙන් ඉවත් උනාට පස්සෙ එතන හිටිය IT සගයො බොහොමයක් ඒක ප්‍රධානය කරන Varkey Foundation එක ආරම්භ කරපු Sunny Varkey ගේ GEMS අධ්‍යාපන ආයතනයට බැඳුන. UAE වල උසස් පාසල් රාශියක් මෙම සමාගමට අයත් නිසා ළමයි උන්න අයට මේක හරි වාසියි සේවකයන්ගෙ දරුවන්ට අධ්‍යාපන වියදම් 50% වඩා වට්ටම් ලැබෙනව.
ReplyDeleteමගේ හිටපු කළමනාකාර තැන මාවත් එතනට අරගන්න සෑහෙන්න පොර කෑවත් මං ඒවන විටත් දැන් වැඩ කරන කොම්පැණියට වචනය දීල තිබ්බ නිසාත් මට ළමයි නැති නිසාත් ඒක ප්‍රතික්ෂේප කරා :)
අපේ රටට නං ඔය වගේ චාන්ස් කවදා වදීවිද කණ්ඩො? හීල්ලුනා.
Delete