ඔයාලා කියවන නවකතා, කෙටිකතා පොත් මුද්‍රණය කර
තිබෙන්නේ ඩිමයි 1/8 (අටෙන් එක) සයිස් එකටය. (ඒ සයිස් ගැන 'කෙලින් සනා' දෙවැනි පෝස්ටුව
බලා වැඩිමනත් දැනගන්නට හැකිය.) අර කවි පොතකට ඒ ප්‍රමාණයේ පිටු අටකි. පොතක් කිව්වාට
එය කොළයකි, හතරට නවලා ගත්විටය, පොතක් වන්නේ. එහෙම පොතක් සත දෙකහමාරකි. කීර්තිලතා ඒ
පොතක් වික්කේ සත විසිපහකටය. එවැනි පොතුත් මගේ රැකියාවට එකතු විණි. දර කැඩූ ළමිස්සිය
නොහොත් කට්ඨාරි ජාතකය, අම්මාගෙන් දුවට, තාත්තාගෙන් පුතුට, සද්දන්ත කථාව පොත් ගැන
නම් මට හොඳටම මතකය. ඇයි අවුරුදු පලාපල..... ඊශ්වර විංශතිය, අවුරුදු ලිත වැනි
පොතුත් හොඳින් විකිණුනු එව්වාය.
කවි කොළත් එහෙමය. ඒවා නම් මොකක් හරි
මිනීමැරුමක්, පලහිලව්වක් හරි විනාශයක් මුල් කරගෙන ගෙතූ කවිය. හැම කවි කොළයකම වාගේ
ඒ කාලයේ ජනප්‍රිය සින්දුවක තාලයට පබැඳුණු ගීතයක්ද තිබිණි.
මං ඒ පොත් වික්කේ තුනක් සත විසිපහකටය. සාධාරණ
වෙළෙඳාමකි. දැන් නම් හිතෙන්නේ මා එසේ කිරීමෙන් ඒ වෙළෙඳාම බාල්දු කළා කියලාය.
ඒ පොත් ගතහැකි තැන් දෙකක් සිරිපාල අයියා මට
පෙන්නා දුන්නේය. මරදානේ ඩේවිඩ් මාවතේ, කැප්ටන් මුද්‍රණාලය පළමුවැන්නයි. දෙවැනි එක
මාලිගාකන්ද පාරේ විද්‍යාලංකාර මුද්‍රණාලයයි.
මට හොඳටම ඉල්ලමක් පෑදුනු දවසකි ඒ. යහමින්
ආධාරත් ලැබී, කවි පොතුත් විකිණී රුපියල් දොළහක් හෝ දාහතරක් ආදායම වෙලා තිබූ හැටි
තවමත් මතකය. තාත්තා මට අවවාද කර තිබුණේ 'සූට්කේස් එකේ සල්ලි තියද්දී වැඩියෙන්
පෙනෙන්න තියන්න එපා!' කියලාය. එදාත් මං දවසේ ආදායම දෙකේ කොළවලට හරවා සූට්කේස් එක
අඩියේ පොතක මැදින් දැම්මේ වැඩි පරෙස්සමටය. තවත් ඉතිරිව තිබ්බේ රුපියල් දෙකට වඩා
අඩු ගණනක මාරු කාසි විතරය.
සල්ලි දැමූ ඒ පොත damage එකකි. එහෙම එව්වා
ආපසු ප්‍රෙස් එකටම බාරගනියි. "කමක් නෑ. දැන් ගෙදරනේ යන්නේ" මම හිතුවේ එහෙමය.
බොරැල්ල හන්දියේදී රාත්‍රී අටට විතර මගේ කතාව
අවසන් කළා පමණි. කවුදෝ මහත්තයෙක් රුපියලක් දිගු කළේය. "දරුවෝ, මේක ඔයාලගේ
ගෙදර අයට මොනවා හරි විශේෂ දෙයක් ගන්නයි දෙන්නේ." ඔහු කිව්වේය. මම එතුමාට
ස්තුති කර පොත් තුනක් දිගු කළෙමි.
"එපා! එපා. පොත් තුනක් එපා. ඩැමේජ්
පොතක් හරි දෙන්න. ඒ ඇති."
මට සූට්කේස් එක අඩියේ තිබුණු පොත මතක් විය.
ඉක්මනින්ම එය අතට ගෙන ඔහුට දුන්නෙමි. පොත ඇතුළේ දමා තිබුණු දෙකේ කොළ ගැන මට
සිහිවුණේ ගෙදර එන්නට බස් එකට නැංගාටත් පස්සෙය!
"හරි වැඩේනේ මල්ලී. සමහරු හිතන්නේ ඔයා
මගේ පුතෙක් කියලා. මගෙන් ඇහුවත්තෙක්ක." දවසක් සිරිපාල අයියා කිව්වේය. මට
දෙන්න උත්තරයක් තිබුණේ නැත. හැබැයි ඒ වාගේ 'කිලිටි බායි' කෙනෙක් මගේ තාත්තා කියා සිතීම
නම් මගේ හිතටත් මදි-මදි වාගේය.
පුංචි දවස්වල ඉඳලාම මගේ හිත ගියේ ලස්සණ,
පියකරු, ළගන්නා, කඩවසම් කට්ටියටය. බොරු කියන්නේ නැතිව කියනවා නම් අදටත් ඒ ගතිය
එහෙම්මය. එහෙම කියද්දී මගේ කුඩුකේඩු වැඩක් ගැනත් පාපෝච්චාරණය කරන්නට වෙයි.
ඒ දවස්වල මාත් සුනිල් මල්ලිත් පාසල් ගියේ
එකටමය. සුනිල් හැමදාම ගස් බඩගායි, වෙලේ දඟලයි, සෙල්ලමට යයි. ඔව්වා නිසා මිනිහාගේ
ඇඳුම්වල කහට පැල්ලම්ය. අනෙක එයා තමන්ගේ ඇඳුම් හෝදාගන්නෙත් බැරිම තැනය. (ලොකු පවුලක
සිටීමේ අවාසියකි, තමන්ගේ බොහොමයක් දේ තමන්ටම කරගන්නට සිදුවීම.) ඒ සේරම ගණන් නොගෙන
හිටියත් මේකත් ඉවසිය හැකිද? සුනිල් ටිකක් විතර කළු පාටය. ඔව්වා නිසා මට මිනිහා
එක්ක පාරේ යන්නටත් මොකක්ද වාගෙය. අනේ සුනිල්, මීට ඉස්සෙල්ලාත් මේ කාරණා ඔයාට කියලා
තිබුණත්, දැනුත් 'ඇත්තටම සමාව ඉල්ලිය යුතුය!
ඉතින් මගේ කුප්පකමට මමම හැදූ 'නික් නේම්' එකක්
අපේ පන්තියේ යහළුවන්ට උගන්වා සුනිල්ට විහිළු කෙරෙව්වෙමි. 'උලමා!' එහෙම කළ මං ඊට
අවුරුදු දෙක-තුනකට පෙරාතුව බදුල්ලේදී ගත් ඡායාරූපයක් දැනුත් මටම ඔච්චම් කරයි. ඔන්න
සුනිල් මල්ලිගේත් මගෙත් හැටි සැසඳීම ඔයාලාටම බාරය! උලමා කවුද?
ලොකු නංගී හා මං සුනිල් මල්ලී
හැබැයි ඔය අසනීපය අප කාට-කාටත් තියෙන එකකි.
යුරෝපා රටකදී කළ සමීක්ෂණයකට අනුව නම් එකම වර්ගයේ වැරැද්දක් කළත් ප්‍රසන්න පෙනුමැති
අයට ලැබෙන දඬුවම් ලිහිල්ය. පියකරු පෙනුමක් නැති අයට ලැබෙන්නේ අරිට වඩා දැඩි දඬුවම්ය.
එහෙව් එකේ ලක්ෂ ගණන් වියදම් කරමින් සුදු පාට වෙන්න ඉන්ජෙක්ෂන් ගස්සා ගැනීමත් අපරාධයක්
නොවේ. හිත පිරිසිදු නොවුණාට කමක් නැත, ඒක කාටවත් පෙනෙනවායැ? කාටත් පෙනෙන්නේ වතය.
එය මල් පහට තිබිය යුතුය. හැබැයි හිත පිරිසිදු වෙන තරමට වතත් හැඩ වෙන බව මම නම්
පිළිගනිමි.
ඒ දවස්වල මා අපරිණතය. අර ටික කිව්වාට
පස්සෙවත් සිරිපාල අයියා ගැන මෙලෝ දෙයක් අහන්නට මට හිතුණේ නැත. දැන් නම් මම දනිමි.
හැමදෙනාටම ඕනෑ සවන් දෙන අයයි. තමන් ගැන උනන්දුවන අයයි. තමා ගැනම පම්පෝරි ගසමින්
තමාම උඩ දමා ගන්නා අය නොවේ! අප ඉගෙන ගන්නේ වැරදීම් තුළිනි. ඒත් සමහරුන් නම් කොච්චර
අවස්ථා උදාවුණත් ජීවිතයට යමක් එකතු කර ගන්නේ නැති හැටි. මටම පුදුමය.
ඊටත් ටික දවසකට පස්සේ සිරිපාලයියා කළුබෝවිල
ඉස්පිරිතාලය ළඟට මා එක්කාසු කරගෙන ගියේය. දකුණු කොළඹ මහ රෝහල. මොකක් හෝ මරාලයක් බව
මටම තේරුණේ එතැනට ඔන්න-මෙන්න කියා තියෙද්දීය. "මල්ලී, මේ තැන්වලට අරක්ගත්ත
එවුන් ඉන්නවා. බහිරවයෝ වගේ. කවුරු මොනවා කිව්වත් ඔයාට තියෙන්නේ සද්ද නැතිව ඔයාගේ
වැඩේ කරගෙන යන්නයි. අද මට චාන්ස් එක දෙන්නවත් නවත්තන්න එපා! හැබැයි, ඉස්පිරිතාලේ
ගේට්ටුව අරිනවා විනාඩි පහක්-හයක් කලින්. ඔන්න මල්ලිගේ බිස්නස් එක ඉක්මනින් ඉවර
කරගෙන ඉන්න වෙයි."
සිරිපාලයියා කිව්වා හරියටම හරිය.
ඉස්පිරිතාලේ ගේට්ටුවට ඉස්සරහින්, පාරෙන් එහා
පැත්තේ ඉඩ-කඩ ඇති ඉඩමකි. එහි ගරාජයක්ද විය. මා මේ කියන්නේ මහ ගේට්ටුව ගැන නොවේ.
රෝහලේ දකුණු කෙළවරෙන් පටන් ගෙන දිවෙන පාර ගැනයි. එහි නම දුටුගැමුණු වීදිය නේද?
කොළඹ මහ රෝහල් ගේට්ටුව ළඟදී මෙන්ම මා ඇඳුම් මාරු කරගෙන සොලෝව කිව්වා පමණි. අර
වත්තේ වැට අයිනටම පැමිණි හතර රියන් පුරුෂයෙකි. මට මතක් වුණේ මහ කළු සිංහලයාය.
"ආ, උඹ අද රිලා පැටියෙකුත් අරන් ආවද නටවන්න?" අර මනුස්සයා මහ හයියෙන්
ඇසුවේය.
එහෙත් මෙදා පොටේ නම් මා හේබා ගියේ නැත. ඒ
රිලා පැටියා කිව්වේ නම් මටමය. ඇතුළතින් කොච්චර සලිත වුණත් පිටතින් ඒ බවක් නොපෙන්වා
දිගටම කතාව කරගෙන ගියෙමි. අර සද්දන්තයා ඇඟිලි උරුක් කරමින් බැණගෙන-බැණගෙන ගියේ මට
නොවේ. පැත්තකින් බලා හිටි සිරිපාල අයියාටය. ඒ වෙලාවේම තව කවුදෝ ඇවිත් ඔහු සන්සුන්
කරන්නට මැදිහත් වෙනවා පෙනිණි. පාර අයිනේ තැඹිලි කරත්තයක හිටි කෙනෙකුත් ඒකට උදව් වුණේය.
මා වටා හිටි මිනිස්සුත් එහෙමම හිටි තැන්වලම සිටීම මට ශක්තියක් විය.
ටිකකින් ඉදිරිපස වත්තේ සිට අර තැනැත්තාත් මහ
හඬින් කවියක් ගායනා කරන්නට පටන් ගත්තේය.
අනේ දෙවියනේ මට මතක නැතිකොට
වනේ ලා කොටා වේලා ගත් කලට
තනේ මව් කිරිත් සමඟ එක්කොට
කනේ වත් කරව් තද බඩ රුජාවට
ඊට කලින් මා එවැනි කවියක් අසා තිබ්බේ නැත.
දැන් නම් ඔයාලා පුදුම වෙනවාට සැක නැත; එක වතාවක් ඇසූ පමණින් මට ඒ කවිය පාඩම් වුණාද
කියා. කොහෙත්ම නැත. මා තොටගමුවේ සිරි රහල් හිමියන් වාගේ 'සරස්වතී තෛලය' කට ගාගත්
කෙනෙක් නොවේ. පසු කාලයේදී නිතර-නිතර ඇසෙන විට මතකයේ රැඳුනා මිස.
ඒක වෙද ගැටයකි. කවිය මතක හිටියාට අරුත; ඖෂධ
වර්ග මතකේ රැඳී නැත. එහෙම තිබ්බා නම් මෙතැනම කොටන්නට තිබිණි. කවියෙන් පසු ඔහු චතුර
කතාවකුත් කළා විය යුතුය. එතන රැඳී උන් අය මොනවාදෝ බෙහෙතක් ඔහුගෙන් ගන්නවා පෙනිණි.
අලුත් ගොදුරු බිම මටත් නරක් වුණේ නැත. හැමෝම
වාගේ ඉස්පිරිතාලයට යන්නට ආවේ
එතැනිනි. වාට්ටුවලට කිට්ටු එතැනින් ගිය විටය. සෙනඟ
ගොඩක් නිසා, අප දෙන්නෙක් දේශනා පැවැත්තුවත් මටත් යහමින් සල්ලි ලැබුණේය; පොතුත් විකිණුනේය.
ගේට්ටුව විවර වුණා විතරය. සෙනඟ කඩා-බිඳගෙන ඇතුළට වන්හ.
මම රජ ඇඳුමින් පාසල් ඇඳුමට බැස්සෙමි. වෙස්
මාරුව ඉවර වෙනවාත් සමඟම "මෙන්න පුතේ!" යැයි කියනවා ඇසුණි. කර බාගෙන උන්
මම හිස එසෙව්වෙමි. ගේට්ටුව අසලම බුලත් විට විකුණමින් හිටි අම්මා මට දික් කළේ වෙරළු
අච්චාරු ගොට්ටකි. ගොට්ටක් කිව්වාට කැන්ද කොළයට බෙදූ එකකි. සල්ලි දෙන්නට හැදුවත් ඒ
අම්මා ගත්තේ නැත. "පිස්සුද පුතේ. මටත් දරුවෝ ඉන්නවානේ." තැඹිලි කැපීම
ඉවර කර සිටි තැනැත්තාත් ඒ වෙද්දී අප ළඟය. ඒ දෙන්නාම මගෙන් විස්තර අහන්නට පටන්
ගත්හ. සිරිපාලයියා ඈතින් ඉන්නවා මට පෙනිණි. එතකොටම වාගේ අර 'මහා කළු සිංහලයාත්' අප
ළඟට සේන්දු වුණේ හෙමිහිටය. ඔහුටත් විස්තර කියන්නට තව ටික වෙලාවක් ගියේය.
මා සිරිපාලයියාගේ කවුරුවත් නොවන බව දැනගත්
විට අර මනුස්සයා හොඳටෝම නිවුණේය. තාත්තා අසනීපයෙන් බවත්, නංගිලා මල්ලිලා රොත්තක් සිටින
බවත්, මා තවමත් ඉස්කෝලේ යන බවත් කිව්වාම තවත් හොඳට මෝදු වුණේය. "එහෙනම් පොඩි
එකෝ උඹත් මෙතනට වරෙන්. මං එන්නේ දවල්ට විතරයි. උඹ හවසට වරෙන්. සෙනසුරාදා, ඉරිදා
දවස්වල දවල්ටත් ආවට කමක් නැහැ. හැබැයි එකොළහමාරට උඹේ කතාව නවත්තන්න ඕනා, මට පටන්
ගන්න. හැබැයි පුතෝ, අර මගෝඩියා එක්කලා නම් එන්න එපා. පව් කියලා බලන්නෑ, බොටත් ගහලා
පන්නනවා!"
සිරිපාලයියා එක්ක නම් ඔහු ජන්මාන්තර බව මම එයින්ම
තේරුම් ගත්තෙමි. පිටින් රළුවට පෙනුණාට 'දෙනිපිටියේ වෙද මහත්තයා' ගුණ-යහපත්
මනුස්සයෙකි.
ඔහු ඇන්දේ ජාතික ඇඳුමට හුරු එකකි. ඒත් උඩ
කොටස වෙනස්ය. කොලරයක් තිබුණු එය, කමිසයක් මෙන් දිගට පළලාය. ඇඳුම සුදු පාටත්
නොවිණි. සමහර දවසට ඒක ලා නිල් පාටය. තව දවසක හොඳටම ලා දුඹුරු-ක්‍රීම් පාට එකකි.
දෙනිපිටියේ වෙද මහත්තයා කතාව පටන් ගන්නට කලින් පිරිස වට කරගන්නටත් අපූරු උපක්‍රමයක්
පාවිච්චි කරන්නට පුරුදුව හිටියේය.
තමාගේ බෑගය තෝරාගත් ස්ථානය මැදින් තියා ඔහු
පත්තර පිටුවක් ඉරාගනියි. එය රෝල් කර රටාවකට එයින් කොටසක් ඉරා ඉවත් කරයි. ඊළඟට එයින්
අපූරු කඩදාසි ඉනිමඟක් නිමවයි. ඒ ඉනිමඟ එක-එක දවසට වෙනස් කරමින් තනන්නටද ඔහු දනී.
ඉනිමඟේ අන්තිම හරිය හදද්දී වෙද ගැට කවියකුත් කියවෙන්නට පටන් ගනී.
කඩදාසි ඉනිමඟක් හදමුද?
"වේසිගෙ බඩේ පළලා මද අරගන්නේ...."
කියා පටන්ගන්නා කවියකුත් ඔහුගේ favourite කවි අතර විය. මේ මට මතක හිටි තව එකකි.
මඟුලේ යන අය දැකලා - කුඹුරේ මඩ කළල් කළා
වැස්සට පැළ යට ඉඳලා - නාග විසට නස්නෙ කළා
එයින් නම් මුල්ම බෙහෙත මට මතකය. මඟුල් කරඳ! ඒ
දවස්වල අපි දත් මදින්නට ගත්තෙත් කරඳ කෝටු කෑල්ලකි. ඒ සමහර දවසට ගෝපාල් දත් කුඩු
ඉවර වෙලා තිබුණෝතින්ය. පොඩි පැණි රහකුත් තිබුණු නිසා සමහර වෙලාවට ගෝපාල් දත් කුඩු
අපේ බඩටත් රිංගයි! ඒ නිසාම එව්වා ඉක්මනටම ඉවරත් වෙයි. ඔවැනි කාරණා හින්දා අප දත්
මදින්නට වැඩියත්ම ගත්තේ අඟුරු කෑල්ලකි.
අර සීදේවි අච්චාරු අම්මා මා එහි යන දවස්
අසාගෙන place එක අල්ලලා තියන්නටත්, නොමිලේම අච්චාරු ටිකක් මට දෙන්නටත් පුරුදු වුණාය.
ආකෘතඥ නිමල්. ඒ අම්මාගේ නමවත් මතකයේ තියාගෙන නැත! තැඹිලි කරත්තය නම් 'ලැන්ටි'ගේය.
පසුව මා හඳුනා ගත්, ඒ කිට්ටුවම හිටි කෙනෙක්
පසු කාලයක රටේ ඉහළම තැනකට ගියේය. ඒ ගැන කතාව ඊළඟ කොටසින් කියවමු! හොඳේ.....
මාර අත්දැකීම් ගොන්නක් නෙව ... මිනිස්සුත් හරියට පොත් වගේ කවරෙ බලල හොඳයි කියන්න බැහැ ... හොඳ නරක ආස්සරේ කරලම බලන්න ඕන !
ReplyDeleteමිනිහෙක් මැරෙන තුරාම දෙවියන් වහන්සේත් ඒ මනුස්සයා ගැන විනිශ්චය කරන්නේ නැහැල්ලුනේ, අපි එහෙම කළාට.
ReplyDeleteහ්ම්... නිදි ලබල තියෙන ජීවන අත්දැකීම්!
ReplyDelete