අක්කොධෙන ජිනෙ කොධං - අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන - සච්චෙන අලිකවාදිනං
මං ඒ ගාථාව ඉගෙනගත්තේ අපොස සාපෙට උගනිද්දීය.
ඒ දවස්වල අපි ඒවා කටපාඩම් කළෙමු. මට නම් ඒවා තවමත් මතකය. එව්වා අපේ ජීවිතයට එළිය
දෙන මිණි පහන්ය. මට හිතෙන්නේ ලොකු-ලොකු විස්ස විජ්ජාලවලට, පිටරටට හෙම ගිහින්
ඉගෙනගෙන එද්දී ඒ වගේ පුංචි පහේ දේවල්; සිල්ලර හොඳකම් ගොඩක් අයට අමතක වෙනවාවත්ද කියලාය.
ක්‍රෝධ කරන්නා දිනාගන්නට නම් මෛත්‍රී කළ
යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂකමින් දිනිය යුතුය. මසුරා නොමසුරුකමිනුත්, බොරු කියන්නා
සත්‍යය පැවසීමෙනුත් දිනිය යුතුය. ගාථාව විතරක් නොවේ, අර්ථයත් ඔළුවට ගත්තාම එව්වා
ජීවිතයේම කොටසක් වෙයි.
ඒ නිසාද මන්දා මට ස්ටැන්ලි තිලකරත්න මහත්තයා
ගැන එතෙක්- මෙතෙක් කවදාවත් තරහක් දැනී නැත!
ස්ටැන්ලි තිලකරත්න මහතා |
ස්ටැන්ලි තිලකරත්න මැතිතුමාට 1970 දී මොකද
වුණේ?
ස්ටැන්ලි මහත්තයා 1970 ජුනි 7 සිට 1977 මැයි
18 වෙනිදා දක්වා ගරු කථානායක ධුරය ඉසිලූ වැදගතෙකි. ඒ දවස්වල මහරගම කියා චන්ද කොට්ඨාශයක්
තිබ්බේ නැත. මහරගමත් අයිති වුණේ කෝට්ටේටය.
1970 මැතිවරණ සමයේ වේදිකාවකදී අච්චර
උගත්, වැදගත් මහත්තයා මේ පඟර නැට්ටාට 'හිඟන කොල්ලා' පට්ටමෙන් බැණ අඬ ගැහුවේය! එය මට
අවනම්බුවක් වුණේ නම් නැත; ගෞරවයක් වුණා
මිස.
එහෙම බැණුම් අහන්නට වුණේ මාත් දේශපාලන හෙංචයියෙක්
වුණු නිසාය. බල්ලොත් එක්ක ලගින්න ගියාම මැක්කොත් එක්ක නැඟිටින්න වෙනවානේ! ඒ නිසා ඒ
‘බලු ලැගුම්’ කතාව වෙනම කියන්නට තියමු නේද? පේව්මන්ට් එකෙන් පස්සේ......
අර වනිතා විත්ති ඉල්ලීම ලියූ රචකයා මා පාසල්වලත්
නැටුව බවක් ලියා තිබිණි. එව්වායේ විතරක් නොවේ, පන්සල්වලිනුත් මට ඇරයුම් ලැබිණි. එහෙම
අවස්ථා කිහිපයක් ගැන දැන් කියන්නට තිබෙයි.
එකක් හබරකඩ පන්සලකය. මට එහි නම අමතකය. එහෙත්
මාව එහාට කැඳවූයේ හබරකඩ ඉන්ද්‍රරත්න හාමුදුරුවන් වහන්සේ බව හොඳටම මතකය.
උන්වහන්සේත් ඒ දිනවල මහරගම විවේකාරාම පන්සලේ නැවතී උන්හ. යළිත් මට එතුමන් මුණ
ගැහුණේ කථික තරගාවලියක විනිශ්චය සඳහා ආනන්ද මහ විදුහලට ගිය විටෙකය. උන්වහන්සේ දකින
ඕනෑම කෙනෙකුගේ චිත්තයේ පහන් හැඟීමක් ඇති වෙයි. ඒ තරමටම පිං පාටය. එසේම කරුණාවන්තය.
හබරකඩ ඉන්ද්‍රරතන හිමිපාණෝ |
එය පිටිසර ගමක තිබූ පුංචි කඩයකි. කඩයක්ය කිව්වාට පැත්තක හෝටලයකුත්ය.
අපේ 'අථිථි සත්කාරකයා' අපව වාඩි කෙරෙව්වේය. 'හරක් මස් කනවනේ?' කියා අපෙන් ඇසුවේය.
අප උත්තර දෙන්නත් කලින්ම 'හරි. එහෙනම් මුඩ්ලියර් අපි තුන්දෙනාටම මස් හොදියි,
රෝස්පානුයි දෙන්න.' කියා කිව්වේය.
ඔහු හරිම 'ක්වික්ය'. ප්‍රශ්න අහන්නේ කඩිනමින්ය.
උත්තරය දෙන්නත් කලින්ම ඒක බාරගෙනත් ඉවරය.
එය පිටිසර ගමක තිබූ....... |
'යකෝ, කඩවල්වල කොහෙද හොඳ හොදි? ගොඩ හොදි
මිසක්. හිටපන්කෝ මාත් මස්වලින් ගොඩ හොද්දක් හදලා දෙන්න, උඹේ දොළදුක යන්න.' තාත්තා
අභියෝගය බාරගත්තේ එහෙමය.
ඒ විදියටම ගොඩ හොද්දක් හැදුවේ ලකීත්, මාත් දෙන්නාම කියූ
විස්තරවලට අනුවය. මොන? ඒක මුඩ්ලියර්ගේ මස් හොද්දට අලගු තියන්නවත් බැරි තරම් නරකය.
පුදුමය කියන්නේ මාත් කිහිප වතාවක්ම මිරිස්, තුනපහ අඩු-වැඩි කරමින් දමා ඒ හොද්ද
හදාගන්න ට්‍රයි කළත් තවමත් හරි නොගිය එකය.
ඉස්කෝල ගැන කියනවා නම්, මා ගැන දැනගත් උතුම්
ගුරු මහත්මයෙක් මහරගම බුවෙනකබා විදුහලේ උන්නේය.
එඩ්වඩ් ලොකුලියනගේ. හතර රියන්, ඍජු,
කඩවසම් ගුරුතුමා තෝරාගෙන තිබුණේ ගැළපෙනම රස්සාවය. නැටුම් ගුරුකම.
නැටුම් ගුරුකම...... |
බුවෙනකබාවේ තරුණ
සිසුවන් කිහිප දෙනෙකුත් අපේ නාට්‍යවලට (තවම එව්වා ගැන ලිව්වේ නැත. ලියා ඇත්තේ
මුල්ම නාටකය වූ අජාසත්ත ගැන පමණි.) සම්බන්ධවූ විට එඩ්වඩ් සර්; නැටුම් සර් අපේ
ගෙදරත් ආවේය. (අකල් මරණෙකට හවුල් වී-1 පෝස්ටුවේදී ඔබට හමුවුණු උදේනි අල්විස් මට
මුලින්ම මුණ ගැහුණේ නැටුම් සර්ගේ ගෙදරදීය.)
"ගුණපාල අයියේ, මේ කොල්ලව එවහන් අපේ
ඉස්කෝලෙට හවසට පැය භාගයක් විතර. මං මේ කොල්ලට නැටුම් ටිකක් කියලා දෙන්නම්." නැටුම්
සර් අපේ තාත්තාට කිව්වේය.
මං විද්‍යාකරේ ඉගෙනගත්තත් බුවෙනකබාහු එකෙන්
නැටුම් ඉගෙනගත්තේ එහෙමය. හැබැයි දිගට නැටුම් කරලා එඩ්වඩ් සර්ගේ නම ගෙනිච්චේ නැත.
මා නැතත් එසේ අපූරුවට නැටුම් කළ සිසුවියක් ගැන දැන් මතක් වෙයි. බියට්‍රිස් බටපොල.
එඩ්වඩ් සර් හැදූ 'මැණික්පාලි' නාට්‍යයේ ප්‍රධාන නිළිය ඇයයි.
ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහයන්ගේ පාදපරිචාරිකා
චරිතයෙන් පස්සේ ඇය වේදිකාවේ රඟපෑම අත් හැරියා විය යුතුය.
බියට්‍රිස් බටපොල සැමියා හා දෙපුතුන් සමඟ |
සමහර ස්වාමි පුරුෂයෝ
බිරින්දෑවරු රස්සා කරනවට අකැමැතිය. අපේ තාත්තාත් ඒ ආකල්පය දැරූවෙකි. ඒත් ඉස්තාලය
වහන්නට හැදුවේ අශ්වයා පැනලා ගියාට පස්සේය. “රංජි, හොඳට මතක තියා ගනින්. කවදාවත්
රස්සාවක් කරන ගෑනියෙක්ව බැඳගන්න එපා. රස්සාවට යන ගෑනියෙක්ව බැන්දත්, බැන්දට පස්සේ
ඒකට යන්න දෙන්න එපා. එතකොට ගෑනුන්ව මේච්චල් කරන්න අමාරුයි...” ඔහු මටත් කිව්වේය.
අපේ ගෙදරදී නම් ඒක වුණේය. ඒ අම්මාත් රස්සාවක්
කරන්න ගත්තාට පස්සේය. ම් ම් ම් .... මේ කොටන්නේ ‘පදික වේදිකා...’ පෝස්ටු මාලාවේ
අටවැන්නයි. අම්මා ගැන වෙනම කියන එක ලෙහෙසිය. ඊටත් එඩ්වඩ් නැටුම් සර් ගැන කියන්නත්
ඕනිනේ. ආයෙම එතනට යන්නෙමි.
නැටුම් සර්ගේ ප්‍රියම්බිකාවත් ගුරුවරියකි.
ඉගැන්නුවේ තලපත්පිටිය සිද්ධාර්ථ ඉස්කෝලයේය. මා ගැන දැනගත් ඇය එහි විවිධ ප්‍රසංගයක්
තියෙන දිනයක නැටුම් අංගයක් ඉදිරිපත් කිරීමට මා ගෙන්වා ගත්තාය. ගුරු මණ්ඩලයෙන්
සෑහෙන මුදල් ආධාරයකුත් මට එකතු කර දුන්නාය.
"නිමල් පුතේ, ඔයා ඉස්කෝලේ යනකල්ම මං හැම
මාසෙම ඔයාට රුපියල් දහයක් දෙනවා! මගේ පඩි දවසේ හවස ඔයා අපේ ගෙදරට ඇවිත් ඒක ගන්න
ඕනා!" අපේ පවුලේ විස්තර අසාගත් ඒ පාසලේ එක ගුරු මහත්මියක් මට කිව්වේ එදාය.
ඇය දිගටම ඒ පොරොන්දුව ඉටු කළ බවත් නොකියාම බැරිය.
තවත් මගේ අකෘතඥකමකි මේ; අවුරුදු ගණනක් ඒ ගුරු මහත්මියගේ ගෙදරට ගියත්, ආධාරය ලැබුවත් ඇයගේ නමවත් අසාගත යුතු යැයි කල්පනාවක් එදා මට නොවිණි. තවමත්, අදත් සමහර වේලාවන්හිදී කළ යුතුම දේවල් පවා මට මඟ හැරෙයි.
‘අනේ, ඒක මෙහෙම නේද කරන්න තිබුණේ’ කියලා හිතෙන්නේ පස්සේය. මෝඩකමට බෙහෙත් නැතැයි කියනවානේ!
කල්පනාවක් එදා මට .... |
තවත් මගේ අකෘතඥකමකි මේ; අවුරුදු ගණනක් ඒ ගුරු මහත්මියගේ ගෙදරට ගියත්, ආධාරය ලැබුවත් ඇයගේ නමවත් අසාගත යුතු යැයි කල්පනාවක් එදා මට නොවිණි. තවමත්, අදත් සමහර වේලාවන්හිදී කළ යුතුම දේවල් පවා මට මඟ හැරෙයි.
‘අනේ, ඒක මෙහෙම නේද කරන්න තිබුණේ’ කියලා හිතෙන්නේ පස්සේය. මෝඩකමට බෙහෙත් නැතැයි කියනවානේ!
අඳුනන අය පන්සල්- ඉස්කෝල වැනි තැන්වලට මා
ගෙන්නා ගත් විදියටම, ඒ දවස්වල මට රජ වෙන්නට හොඳ තැන් ගැන ‘අයුරු’ කිව්වේ පේව්මන්ට්
සගයන්ය. ඒ කාට-කාටත් මා තමන්ගේම දරුවෙක් විය. අද මුලින්ම කියූ ‘පාර්ලිමේන්තුවේ
කථානායකතුමාට’ වඩා ඉදිරියෙන් ඒ හැමෝම හිටියා නේදැයි කියා හිතෙන විටත් පුදුමය.
පේව්මන්ට් මාමලාගෙන් ඔත්තු ලැබී මා ගිය තැන්
බොහොමයකි. හෝමාගම පොළ, පාදුක්කේ පොළ හා කිරිවත්තුඩුවේ පොළ එවන් තැන් තුනකි. එයින්ද
තෙවැන්න විශේෂය.
කිරිවත්තුඩුවේ පොළ තිබුණේ වෙළෙඳුන් වෙනුවෙනි; ගම්වැසියන් සඳහා නොවේ. එහෙම කියන එකත් වැරැදිය. එහෙනම්....? හරි. මෙහෙම කිව්වොත්. ගමේ උදවිය ඒ පොළට ආවේ තම-තමන් වවන, හදන දේවල් විකුණා ගන්නටය. පිට තැන්වලිනි ගැනුම්කරුවන් ආවේ.
කිරිවත්තුඩුවේ පොළ තිබුණේ වෙළෙඳුන් වෙනුවෙනි; ගම්වැසියන් සඳහා නොවේ. එහෙම කියන එකත් වැරැදිය. එහෙනම්....? හරි. මෙහෙම කිව්වොත්. ගමේ උදවිය ඒ පොළට ආවේ තම-තමන් වවන, හදන දේවල් විකුණා ගන්නටය. පිට තැන්වලිනි ගැනුම්කරුවන් ආවේ.
මේ 1938 දී බොරැල්ල මාර්කට් එකය. 1968 දී කිරිවත්තුඩුවත් මෙහෙමය... |
අජිත් අයියා! බාබර් අජිත්! හිටියේ පිටකොටුවේ,
පස්වෙනි හරස් වීදියේ සැලූන් එහෙකය. ඇන්දේ සුදුම සුදු සරමක් හා සුදු කමිසයකි.
මට නම් අජිත් අයියාව පෙනුණේ දමිල නළුවෙකු වාගේමය. කොණ්ඩය පොකුටුය. උඩු රැවුල සිහින්ය. පැහැපත් පාටය. උසට සරිලන මහතය. ඉතා ප්‍රියමනාප පෙනුමකි, අජිත් අයියාට තිබුණෙත්. ඒ පෙනුම නිසාමත්, මෘදු සංවර කතා ලතාව නිසාත් ඕනෙම කෙනෙක් ඔහු හා මිතුරු විණි කියලාය මට හිතෙන්නේ.
ඔහුගේ තරුණකමට නොගළපෙනවා වාගේ පෙනුණේ එකම දෙයකි. තිස්සෙම විටක් හැපීමය.
මට නම් අජිත් අයියාව පෙනුණේ දමිල නළුවෙකු වාගේමය. කොණ්ඩය පොකුටුය. උඩු රැවුල සිහින්ය. පැහැපත් පාටය. උසට සරිලන මහතය. ඉතා ප්‍රියමනාප පෙනුමකි, අජිත් අයියාට තිබුණෙත්. ඒ පෙනුම නිසාමත්, මෘදු සංවර කතා ලතාව නිසාත් ඕනෙම කෙනෙක් ඔහු හා මිතුරු විණි කියලාය මට හිතෙන්නේ.
ඔහුගේ තරුණකමට නොගළපෙනවා වාගේ පෙනුණේ එකම දෙයකි. තිස්සෙම විටක් හැපීමය.
අපේ තාත්තාත් අජිත් සමඟ
කුළුපග විණි. තාත්තාත් මා සමඟ කොළඹ ආවොත්, මා පස්වෙනි හරස් වීදියේ රජ වෙන අතරේ ඔහු
කාලය ගෙවා දමන්නේ අජිත් එක්කය. සැලූන් එකේය.
“රංජි, ඔන්න උඹට චාන්ස් එකක් වදින්නයි යන්නේ.
අජිත් එයාලගේ ගමේ පන්සලක තියෙන පින්කමකට උඹව එක්ක යනවලු. නාට්ටියකුත් පෙන්නලා, මල්
වට්ටියත් උඹ ලව්වා වෙන්දේසි කරවන්නයි යන්නේ.” තාත්තා කීවේ මට ලොකුම ලොකු වාසියක්
වෙන්න යනවා වගේ අඟවමිනි. ඒ චාටු කතා නම් මට අරහංය. ඒත් එහෙම වෙලාවට මං කට ගහගෙන
යන්නෙත් කලාතුරකින් විතරය.
ගමේ පන්සලක.... |
නමේ හැටියටම මම නිදිකුම්බයෙක්මි. ඒ දවස්වල
මහරගම සිට බසයක නුගේගොඩට යනවිටත් මා නින්දට වැටී අහවරය. මරනවා කීවත් නොනිඳා හිටින්නට
නම් බැරි ගණනය. “අනේ අජිත් අයියේ, දැන් නම් මට හරිම නිදිමතයි. තව වෙලා යයිනෙ පිංකම
ඉවර වෙන්න.” මම කෙඳිරි ගෑවෙමි.
පෙනුණේ නම් අජිත් අයියා පිංකම ඉවර වෙන තුරුම
පන්සලේ ඉන්නට හැදූ බවකි.
ඒත් අන්තිමේදී ඔහු මාවත් කැන්දාගෙන පිටත්ව ආවේය. රාත්‍රිය
ගත කරන්නට සූදානම් කර තිබුණු කාමරයට ආවා මට මතකය. මුහුණ කටවත් නොසෝදා එහෙමම පැදුරට
වැටුණාත් මතකය. කොච්චර වෙලාවක් ගියාද කියා නම් අමතකය.
ඒත් වැඩි වෙලාවක් ගියා
වෙන්නට බැරිය.
කාගේදෝ මුහුණ මගේ මුහුණේ ඇතිල්ලෙයි! මට
ඇහැරිණි. ඔව්! මේ හීනයෙන් නොවේ. හැබැහින්මය. කවුදෝ මා සිප ගනී. මට මතක විදියට නම්
නිදා ගන්නට ආවේ අප දෙදෙනා පමණි. තව කවුරුන් හෝ කාමරයට ඇවිත්ද?
‘අජිත් අයියේ, අජිත් අයියේ.” මා හයියෙන් කෑ
ගැසුවා මට මතකය. එතකොටම කවුදෝ මගේ කට මිරිකුවේය. කට්ට කරුවලේ ඒ කවුරුන්දැයි
අඳුනාගන්නේ කොහොමද? ‘සද්ද කරන්න එපා’ හඬක් නැඟිණි. ඒ අජිත් අයියාද? බය බිරාන්තයෙන්
මොහොතක් ගෙවිණි. “අනේ අජිත් අයියේ.... අජිත් අයියේ... මට ගෙදර යන්න ඕනේ” මම කොඳුරා
කීවෙමි.
ඊළඟ නිමේෂයේ මා ළඟ හිටි කෙනා ඈත්ව යන බව
දැනිණි. තවත් විනාඩියක් දෙකක් ගෙවී ගියේ කල්පයක් වාගෙය. “අජිත් අයියේ!” මා කීවේ
තරමක් සෙමින්ය. “මට දැන්මම ගෙදර යන්න ඕනේ!”
ගිනිකූරක් ගහනවාත්, එළියෙන් කාමරය පිරෙනවාත්
එක්කමය මට හුස්ම වැටුණේ. “ඇයි, ඔයා හීනෙන් බය වුණාද?”
ඇත්තමයි, නින්ද ගැන කොටමින් හිටි නිසාද මන්දා
‘නිදි දෙව්දුව’ මා සමීපයටම ඇවිත්ය. මේ පෝස්ටුවේ දිගත් ඇති-ඇති කියා හිතෙයි. ඔන්න
මං නිදි! නැඟිටලා.....
හබරකඩ ඉන්ද්‍රරත්න හාමුදුරුවො අපි ආනන්දෙ ඉන්න කාලෙත් ඉගැන්නුව වගේම බෞද්ධ සංගමයත් මෙහෙයෙව්වෙ හාමුදුරුවොම තමයි ... අනික කොයිතරම් මදාවි කොල්ලෙක් උනත් වචනෙකින් මෙල්ල කරන්න පුළුවන් පෞරුශයක් තිබ්බ කෙනෙක්. අවාසනාවකට දැන් අවුරුදු දෙකකට විතර කලින් අපවත් උනා.
ReplyDeleteපේව්මන්ට් එකේදි උදව් කරපු සගයන් අර කිව්වත් වගේ පාර්ලිමේන්තුවේ කථානායකතුමාට වඩා හොඳ බව නම් ඇත්ත !
අන්තිම ඩිංග තමයි බොහොම භයානක :-O
කණ්ඩා, හබරකඩ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ ගැන මතක් වෙද්දීත් හරිම නිවුණු හැඟීමක්- පහන් හැඟීමක් තවමත් මට දැනෙන්නේ. එතුමා දැකගන්නට ලැබීමත් පිනක්. ඒ අතින් ඔයාලා මට වඩා වාසනාවන්තයි කණ්ඩො, එතුමාගෙන් ඉගෙන ගෙනත්නේ.
Deleteකතානායකතුමා ගැනත්, අජිත් අයියා ගැනත් මට සිහිවෙන්නේ එක වගේමයි. ජීවිතයේ අත්දැකීම් දෙකක් ලබාදුන්නු දෙන්නෙක්!
අජිත් අයියා ගැන ඊළඟටත් කියවෙනවා.