"ඉතින් මහත්තයෝ අර සල්ලි ඔක්කොම තිබුණේ
බන්ඩල් කරලා. වැඩේට හවුල් වෙච්චි අයව ගණන් කරලා, ඒ ගණනට තැන් වෙන් කරලා සල්ලි
මිටි-මිටි ගෙනිහින් දාන්න පටන් ගත්තා! ඒ වැඩේ ලේසි වෙන්නයි කියලා මං අපේ කුස්සියේ
තිබුණු කුල්ල ගෙනැත් දුන්නා. ඔන්න සල්ලි මිටි ගැනලා කුල්ලට දාගෙන අරන් ගිහින් අර ගොඩවල්වලට
දානවා.
මං ගිහිං අපේ ගෙදර එක්කෙනාව කූද්දාගෙන එතැනට
එක්ක ආවා! ජීවිතේට දකින්න ලැබෙන සල්ලි කන්දරාවක්ද කියලා පෙන්නන්න හිතාගෙන.
ඒ අම්මංඩිට
පිස්සු හැදුණා. සල්ලි ගොඩ දැකලා නෙවෙයි. කුල්ල අරන් තියෙනවා දැකලා. ‘අනේ මේ, ඔහෙලා
ඕනේ දෙයක් කරගන්නවා මගේ කුල්ල නොකඩා’ කියල මේ මනුස්සයා කුල්ල අරන් කුස්සියට ගියා
කියමුකො. ඔන්න ගෑනු!"
මේ කතාව කියූ කෙනාත්, දියවින්නේ ගෙදරත් දැන් නැත. foto
කෑල්ලේ දකුණු කෙලවරේ කෙසෙල් ගස් ගොන්න තිබෙන්නේ ඒ ගෙය තිබුණු සාවියේය.
දකුණු කෙලවරේ කෙසෙල් ගස් ගොන්න..... |
දැන් එන්නට වෙන්නේ indirect ස්පීච්වලිනි.
එහෙම
බෙදාගත් සල්ලි එක-එක්කෙනා වියදම් කළේ එක-එක විදියටලු. දවස් කීපයකින්ම ආරංචි වුණේ
සමහරුන්ගේ සල්ලි විතරක් නොවේ, ගෙදරට අලුතින් මිලදී ගත් බඩු-මුට්ටුත් අයිතිකාරයන්
එක්කම කුදලාගෙන ගිය බවයි.
ඒ ආරංචි ගෙනා අයම කීවේ "ධර්මේ අයියගේ සල්ලි නං හොයාගන්න
බැරි වෙලා" කියලාය. 'මිනිහා වැඩකාරයා වගේම මොළකාරයා. සතපහක් වියදම් කරලවත්, තැන-තැන-පූච්චානම්
කෙළලවත් නෑ' ඒ තවත් මතයකි. කතාව තිබුණේ කට්ටිය කාලයක් හිරෙත් හිටියත් නඩුවෙන්
නිදහස් වුණු බවයි!
හොරකම් කළ මුදල් මිටි තිබුණාය කියැවුණේ
දැවැන්ත යකඩ සේප්පුවලලු. ඒවායේ යතුරු හැදුවේ ධර්මේ අයියාලු. ඒ දවල් කෑම වෙලාවේ
බැංකුවේම කෙනෙක් යතුරුවල අච්චු සබන් කෑලිවලට අරන් දුන්නාමලු.
ඒත් සේප්පු හදන සමාගම
නඩුවේදී කියා තිබුණේ ඒක කොහොමටවත් කරන්නට බැරි බවකි. ඒ සමාගමේ කීර්ති නාමය ආරස්සා
කරගැනීම පිණිසලු. 'රාස්සයන් කන පරාස්සයා' වගේ උන් ධර්මේ අයියාත් එක්ක අපි ඔව්වා නම් එකක්වත් හගිස්සන්න ගියේ නැත. එයා කියන තරමක් අහගෙන උන්නා මිස.
මුරුංගා |
අලුත්ම ආරංචියේ හැටියට නම් ‘ඒඩ්ස්’ රෝගය මැඩ
පැවැත්වීමටත් මුරුංගා කොළවලට හැකියාවක් තිබෙයිලු!
පීයා, මාකෝ, නිමල් හා දීපාල් |
මුරුංගා ගැන මගේ බාලම නෑණන්ඩි පීයා හොඳ
ඔත්තුවක් දුන්නාය. සිංහලෙන් නොවේ. ජාලයෙන් බලා ලස්සණට සාරිය අඳින්නට ඉගෙනගෙන ඇතත්
එයාට තවම සිංහල බැරිය! පුළුවන් හරියත් නොකියා ඉන්නා එකම හොඳය. එහෙන් කෑම කෑවොත්
අන්තිමට අහන ප්‍රශ්නය sinhalaya. 'කිරි-පනි කනව්වා?'. එයා දන්නේ එහෙව් සිංහලය.
"ලොකූ, පිලිපීනෙ ගෑනු කෙනෙක් ප්‍රෙග්නන්ට්
වෙනකොටම අලුතෙන් මුරුංගා අත්තක් හිටෝන සිරිතක් තියෙනවාලු. ඒ තරමටම මුරුංගා නියුට්‍රිෂස්ලු." කියා කීවේ පීයාය.
හැබැයි, මාත් කලින් නම් මුරුංගා කොළ දැම්මේ
ඉස්සන් කකුළුවන් උයද්දී විතරය. දැන් නම් පරිප්පු කිරට උයද්දී, කරිය ළිපෙන් බාලා
විනාඩි පහකට විතර පස්සේ කොළ ටිකක් එකතු කරන්නෙමි. රසය; ලස්සනය. පරිප්පුව ළිපේ තියෙද්දීම කොළ ටික දැම්මොත් එව්වා වැඩියෙන් තැම්බී
කැත කොළ පාටක් එයි.
වැඩියෙන් තැම්බුණාමත්, එක තැනම තැප්පුණාමත් හොද්දක්
කැත පාට වෙයි. මට හිතෙන්නේ අපේ දේශපාලන පක්ෂ ගොඩක අයත් මේ සත්‍යය තවමත් තේරුම් ගෙන
නැත. බොහෝවිට තේරුණේ නැති විදියට ඉන්නවාය. මෙහෙම ගියොත් .......
ඒ.ඩී. රංජිත් කුමාර මහත්තයා මේ දිනවල 'සරසවිය'
පත්තරයට 'මතක මං පෙත' නමින් ලිපි පෙළක් ලියයි. 2018 මැයි 17 ලිපිය තිබ්බේ ජෝසප් සෙනෙවිරත්න පිළිබඳවය. එහි අග
හරියේ මේ ටිකත් විය.
ඒ.ඩී. රංජිත් කුමාර |
'ජෝසප් ගැන මම දන්නවා නොවැ. මුන්නැහැගේ විකට
ජවනිකා මම රේඩියෝවෙන් අහලා තියෙනවා. අපට සතුටු වෙන්න පොඩි විහිළුවක් කරන්නකෝ'
අගමැතිතුමා කීවේය. ඒ 1956 බණ්ඩාරනායක මහතා අගමැතිවූ අලුතය.
'සර්, මම විහිළුවක් කරන්නම්. අපහාසයක් වුණොත්
සමාවෙන්න.'
'කියනවා, විහිළුවලට මොන සමාවක්ද?'
'බණ්ඩා කේම් ටු ටවුන්
යූ. එන්. පී. ඩවුන්'
බණ්ඩාරනායක මහත්තයා දියසේන කුමාරයා යැයි කතාවක් ඒ කාලයේ තිබුණාලු. දියසේන කුමාරයා එන්නේ රට ගලවා ගන්නලු. ඉතින් දැන් ඉල්ලංකාවට එන්නට ඉන්නා 'දියසේන කුමාරයා'
කවුද? එහෙමත් නැත්තං එන්නට ඉන්නේ 'කු' නැති කෙනෙක්ද?
ඊළඟ වතාවේ දියවින්නේ පන්සලට ගියාම අහගන්නට
හිටි තවත් ප්‍රශ්නයකට අපේ නෙවිල් උන්නැහේ උත්තර හොයා දුන්නේය. ඊයේ දවල්ට මා හැදූ කෙසෙල්
මුව කරියක්ද විණි. ඒ ගැන කතාවට ප්‍රවිෂ්ඨය නෙවිල්ගෙනි. "දැක්කද එදා උයලා තිබ්බ
කෙහෙල් මුව මාළුවෙ ලස්සන?"
"එක නේන්නම්. මං එහෙ ගියාම අහගන්නමයි ඉන්නේ
කොහොමද කෙහෙල් මුව කෑලි එහෙම සුදු පාටටම එන්න උයන්නේ කියලා. ඊට හපන් ලොකුවට කෑලි
කපලත්. කොහොමද දන්නේ නැහැ කහට පාට ආවේ නැත්තෙ."
"ඒක නම් මං දන්නෙ නෑ. හැබැයි කෙහෙල් මුව
පහළොවක් ඉව්වා කියල නම් කියනවා ඇහුණා." එහෙනම් රහස එතැනය. “මැද සුදු හරිය විතරයිලු
ගත්තේ.”
පන්සල වටේටම සෑහෙන්න ලොකු කෙසෙල් වගාවකි.
ඉතින් කෙහෙල් මුවද හිඟ? වටේට තිබෙන තද පාට කොටස එහෙම පිටින්ම ගලවා දමා සුදට තියෙන
හරිය ගත්තාම මාළුවත් ලා පාට වෙනවා ඇත.
මෙතෙක් දවසක් නොවුණු විදියට අද කෑමබීම ජාති
ගැන වැඩියෙන් කෙටුණද මන්දා? එහෙම නැතිව ඉතින් අපට නොලැබුණු ගෙවුඩ ගැන ලියන්නයැ.
මොකද නොලැබුණේ?
කුඹුරු යායක ගොඩ ඉල්ලමක් පෑදී ඇති බව අපට
ආරංචි විණි. ඒ ආරංචිය ගෙනා ඩිංගිරි අයියාම කිව්වේ පහුවදාට සේරම පතල්කාරයන් එතැනට
යන්නට සූදානමක් ඇති බවය. දියවින්නේ තිබුණේ- තියෙන්නේ ගොඩ ඉල්ලම්ය. දෝනා පතල් වගේ
නොවේ. ලේසිය. ගියා. හෑරුවා. ගොඩ දැම්මා. හේදුවාය.
"කදුරුවවෙලට යමුද සුදු අයියේ, අපිත්?"
එහෙම ඇහූ සෝමේ මල්ලිට මම අනුමැතිය දුන්නෙමි. ඉතින් පහුවදා පාන්දර වෙනදා වාගේම දවල්ට
බතුත් උයාගෙන අපි කදුරුවවෙලට ගියෙමු. මට මතක් වෙන්නෙම ඊස්-මීස් නැතිව එතන පිරී
තිබුණු හැටිය.
හතර දිග් භාගයේම උන් වාසනාව හොයන්නෝ එදා එතැනය.
"සුදු අයියේ, පොලීසියෙන් එනවා නම් අර පැත්තට දුවන්න. පස්සේ පාර හොයාගෙන එන්නත් ලේසියි. පුළුවන් නම් අතට අහුවෙන බඩුත් අරගෙනම දුවන්න. නැත්තම් පොලීසියෙන් එව්වා අරන් යනවා." ජයවර්ධන කලින්ම අනතුරු ඇඟෙව්වේය.
ජයවර්ධනත්, ඩිංගිරි අයියාත් දෙන්නාම සෝමේ මල්ලිගේ සොහොයුරු ගුණසිංහ එක්කය පතල් බැස්සේ. එදා ඔවුනුත් අපට එහා පැත්තේ පතලකය.
"සුදු අයියේ, පොලීසියෙන් එනවා නම් අර පැත්තට දුවන්න. පස්සේ පාර හොයාගෙන එන්නත් ලේසියි. පුළුවන් නම් අතට අහුවෙන බඩුත් අරගෙනම දුවන්න. නැත්තම් පොලීසියෙන් එව්වා අරන් යනවා." ජයවර්ධන කලින්ම අනතුරු ඇඟෙව්වේය.
ජයවර්ධනත්, ඩිංගිරි අයියාත් දෙන්නාම සෝමේ මල්ලිගේ සොහොයුරු ගුණසිංහ එක්කය පතල් බැස්සේ. එදා ඔවුනුත් අපට එහා පැත්තේ පතලකය.
මේ වතාවෙත් මට ජයවර්ධන හමුවිය නොහැකි විණි.
සෝමේ මල්ලී මා දියවින්නට එන බව ඔහුට කියලා නම් තිබිණි. ඒත් ජයවර්ධන ඉන්නේ දුරය.
'ජයවෝඩන පුරය' තරම් ඈතක නම් නොවේ. කිරිමකුලුගොල්ලේය. අතිසුන්දර කැලයක් මැදින් අපි වතාවක්
එහාටත් ගියෙමු. දැන් යන්නේ කොහොමද ඉස්සර තිබුණු ගාය නැතිකොට.....
පොඩි කොට - නොකෑ කොට
ලොකු කොට - කන්ට බැරි කොට
මා අත වරද කොට
උස්ස-උස්සා නාදු කන් කොට
කියලා හම්පඩ නාකි කොටි මාල්ලෙකුත් නාඹර ගොන්
වස්සෙකුට කිව්වලුනේ!
ඉතින් ගොඩ කාලයකට කලින්, කදුරුවවෙලේදී අපිත්
පොළොව එක්ක ඔට්ටු වුණෙමු. උඩම පස් තට්ටුව අයින් වෙද්දී ඉඳහිට රවුම් බෝල ගල් මතු වෙන්නට
විය. ඉල්ලමක සේයාවකි ඒ. හරි...... ඉල්ලමක් නේන්නම්!
අපි ඉල්ලම කඩ-කඩා එකතු කළෙමු. එදාම ඉල්ලම් පස් ටික හෝදාගන්නටත් ඕනෑය. සති පොළකට වැඩි සෙනඟ කන්දරාවක් ඉන්නා තැනක ඉල්ලමක් ගොඩ දමා ගෙදර යන්නේ මොන තකතිරුවාද? දෙන්නෙක් ඉල්ලම ගොඩ දමන අතරේ තුන්දෙනෙක් එකතුවී වතුර ඇති දිහාවකට ඉල්ලම් පස් ඇද්දේ ඒ හින්දාය.
අපි ඉල්ලම කඩ-කඩා එකතු කළෙමු. එදාම ඉල්ලම් පස් ටික හෝදාගන්නටත් ඕනෑය. සති පොළකට වැඩි සෙනඟ කන්දරාවක් ඉන්නා තැනක ඉල්ලමක් ගොඩ දමා ගෙදර යන්නේ මොන තකතිරුවාද? දෙන්නෙක් ඉල්ලම ගොඩ දමන අතරේ තුන්දෙනෙක් එකතුවී වතුර ඇති දිහාවකට ඉල්ලම් පස් ඇද්දේ ඒ හින්දාය.
නාම්බුව බලද්දී........... |
අච්චර නැහිලාත් අපට
නම් එදා හම්බ වුණේ පුංචි ගෙවුඩයක් විතරය. රුපියල් හත් දාහක එකකි. එතකොට කරු හවුලට
කළු අක්කාත්, බෙන්තොට ඔබේවංශත්, මමත් වූයෙමු. හත්දාහ බෙදිලා ගිහින් වියදම් පංගුවත්-වැඩ
පංගුවත් දෙකම විදිහටත් මට ලැබුණේ එක්දහස් අටසිය ගණනක්ද කොහෙදය.
දවස් දෙක තුනක් යද්දී අර කුඹුරු යායම ආයේ
කප්පරක් කාලෙකට වගා කරන්නට බැරි තැනට වැටිලාය! ඒ කරුමයට නොදැනම හෝ නොහිතා හෝ අපිත්
අත ගහලාය.
මා නම් 'උපන් දා සිට කරපු පවු නැත වරක්
වැන්දොත් කැලණියේ' කතාව විශ්වාස කරන්නෙක් නොවේ. එහෙම පුළුවන්ය කියා හිතන ඇත්තන්
නම් අපේ රටේ එමටය. උන්නැහේලා තිස්සෙම ඉන්නේ පන්සල්වලය.
දැන්-දැන් නම් පිං-පව්
විශ්වාස නොකරන නිසාදෝ, 'මළ අඩස්සිය' හැදුණත් 'තිරුපතිත්' දුවනවාය! දියවින්නේ
පන්සලට මා ටිකක් හරි ආවඩන්නේ පව් සමා කරගන්නට නොවේ. මැණික් ගරන්නට දුර සිට
දියවින්නට ගිහින් පරිසර විනාශයකට දායක වුණු නිසාය.
අප දියවින්නට යද්දී එහි 'ඇස්බැස්ටෝස්' සෙවිලි
කළ තැන් තිබුණේ එකම එකකි. සමූපකාර කඩය විතරය.
ගමටම තිබුණේ ගුණසිංහ මල්ලිගේ අත් ට්‍රැක්ටරය
පමණි.
ගමට 'තැපෑලවත්' ආවේ නැත. මා ලියුම් ගෙන්නා ගත්තේ කල්තොට ඉස්කෝලේ ඉගැන්වූ
ගුරු මහතෙකුගේ බාරයේය. ඔහු නවාතැන් ගෙන හිටියේත් සෝමේ මල්ලිලාගේ ගෙදරය. මේ පෝස්ටු
මාලාවේ මුලටම කියවුණු 'විමලේගේ' තාත්තාත් ඉගෙන ගන්නට ගියේ කල්තොට ඉස්කෝලේටමය!
මැණික් ගැරිල්ල අත්හැර දමා ඇවිත් අවුරුද්දකට
පසු මම ආපසු දියවින්නට ගියෙමි. හිතවතුන් බලා-කියා එන්නටය. එතකොට ගමේ ගෙවල් ගොඩකට
ඇස්බැස්ටෝස් විතරක් නොවේ කාර්-බාර් දෙකමත් වැඩලාය. වරිච්චි බිත්ති තිබුණු ගෙවල්වල ඉස්සරහත්
අව්වට වේලෙමින්- වැස්සට තෙමෙමින් කාර්ය.
ඒ දවස්වල බලංගොඩ සිට ගමට එන පාරේ dead end එක
දියවින්නයි. ඒ ගමේ අය වාහනයකින් කොහේ යන්නදැයි මට නම් තේරුණේ නැත. කාර් එකේ
එහෙ-මෙහෙ ගිහින් පෙට්‍රල් ඉවර වුණාම? මම ඇසුවෙමි.
"ප්ලාස්ටික් කෑන් එකකට බලන්ගොඩින්
ගෙන්නා ගන්නවා, කාව හරි බස් එකේ යවලා!" උත්තරය තරමටම කෙරුවාව සිම්පල් නැත. ඒ
මට වෙන්නැතිය. ටික දවසකින් වාහනත්, අස්වද්දන්නට හැකි කුඹුරුත්, අත-මිටේ සල්ලිත්
සේරම තිබුණේ නැතිලු.
හැම තැනම පතල් හෑරූ කුඹුරු වසර කීපයක් යනතුරු
යළි වගා කරන්නට බැරිය. ඒ දවස්වල හැම තැනම පතල් මිස කුඹුරු නොවීය.
එව්වා ගැන හිතද්දී විජිත හාමුදුරුවන් පන්සල
බාරගත් වහාම ගත්තු තීරණය අපූරුය. "මහත්තයෝ, දායක-දායිකාවෝ ගොඩක් මාව පන්සලෙන්
එලවාගන්නත් හැදුවා පන්සලේ ඉඩම්වල මැණික් ගැරිල්ලට තිත තියාපුවම....."
ඒ තීරණය ගමටම හොඳ ආදර්ශයක් වෙලාවත්ද? දැන්
නිල්ල-නිලන කුඹුරු යායවල් මැද්දෙ පස් ගොඩවල් නැත. තිස්සෙම දුඹුරු පාටට ගැලූ පියංගිරි
දොළත්, දියවිනි දොළත් දැන් ගලන්නේ නිල් කැටේටය. ආසාවේ බැරිය. "දැන් ගමේ
මිනිස්සු ගොඩක් දෙනා බීමත් අත් ඇරලා!'' උයන්නට ඇවිත් උන් අම්මා කෙනෙක් කුස්සියෙදී
කිව්වාය.
දැන් අපේ සූජානම තව ටිකක්; පුළුවන් උදව්වක්
දියවින්නට කරන්නටය.
හැබැයි එහෙ ඉන්නේ නැති-බැරි අහී-දුප්පතුන්
කියලා නම් හිතුවොත් වැරැදිය. දැන් ඔවුන් පොහොසත් උදවියය. වත්පොහොසත් නොවේ. වත්කම
නම් කාට හරි හොරකම් කරගන්නට වුණත් පුළුවනිය. පොහොසත්කම එහෙම නොවේ! තම-තමන් විසින්ම;
තමා තුළම ඇති කරගත යුත්තකි.
එහෙව් පොහොසතුන් හමුවී, ඔවුන්ගේ ඇසුර විඳ, ඔවුන්ගේ සත්කාර ලබන්නට අපි නැවතත් දියවින්නට යන්නටය සූදානම.
එහෙව් පොහොසතුන් හමුවී, ඔවුන්ගේ ඇසුර විඳ, ඔවුන්ගේ සත්කාර ලබන්නට අපි නැවතත් දියවින්නට යන්නටය සූදානම.
ඉතින් ඒ සුන්දර ගමනට එකතු වෙන්න ඔයාලත් එනවද?
මැණික් ගැරිල්ල නම් නැවතුන එකමයි හොඳ, පැත්ත පළාතම විනාස වෙන වැඩක්. මෙහෙ දවස් දෙකක් නැවතිලා ඉඳල අර අපූරු දිය ඇල්ලෙන් නාල කරල සින්දුවක් දෙකක් කියල ගමේ කෑම ඩිංගක් එහෙමත් කාල එන්න පුළුවන් විදිහට දන්නා කියන කෙනෙක්ව ලෑස්ති කරගන්න පුලුවන්නම් මරු :)
ReplyDeleteදන්නා අය ඉන්නවා, මං ඔයාට මැසේජ් එකක් එවන්නම්, දැන්ම කල් වැඩියිනේ.
Deleteඉතිං ආයෙ යන්න බැරිවෙන්න ඇති තවම.
ReplyDeleteකණ්ඩා ලෝකේ වටේ නෙව දැන් යන්නෙ!
Delete