අපේ බඩා මල්ලී; දීපාල් එංගලන්තයට ගිහින් ආපහු
ලංකාවට ආ පළමු වතාවේ කළු සුද්දෙක්වී හිටියේය. හැබැයි මිනිහාට ටික වෙන්නට 'හෝම්
සික්' එකත් තිබුණේය. (විස්තර ටිකක් 'නැණ ලැබ ගත්තෙමි... - 4 පෝස්ටුවෙදීත් ලියැවිණි.)
"ඇයි ලොකූ, ඔයා මාව එහාට ගෙනියන්න අම්මට ඉඩ දුන්නේ? කොච්චර කන-බොන දේවල්
තිබ්බත් මෙහෙ වගේ නෑ ලොකා!" ඒ උගේ පළමු මැසිවිල්ලය.
දෙවෙනි මැසිවිල්ල කීවේ ඊළඟ දවසේය. "මෙහෙ
එච්චර කැරැක්ටර්ස් නෑ වගේ නේද....." අප්පට සිරි. ඒ ඩිංගට මේකා සමාජ විද්‍යාඥයෙක්
වෙලානේ! මට හිතුණේය. ඒත් අහලාම බලමුකෝ....
"ඒ කිව්වේ?"
"නෑ ලොකූ, මං ටිකක් ස්ටඩි කරනවා එක-එක
විදියේ කැරැක්ටර්ස් ගැන. මට පේන්නේ ලංකාවේ ස්ටඩි කරන්න තරම් ස්පෙෂල් කැරැක්ටර්ස්
නෑ වගෙයි!"
මා ඔහුට කිව්වේ 'හොඳින් නිරීක්ෂණය කරහන්'
කියලාය. අප යන-එන ඕනෑම තැනක විශේෂ නොව අතිවිශේෂ චරිත එමටය. පදික වේදිකාවේත් එහෙමය. සුවිශේෂී
චරිත එමටය. ප්‍රශ්නය වැඩිය කවුරුන්වත් එයාලා ගැන අධ්‍යයනය නොකිරීමයි.
'ගී සිංදු ගයා වයා මාවතේ - මා ඉන්නේ කඳුළු
මැදින් සිනා සිසී ජීවිතේ
මද්දහනේ කඩේ පිලේ මේ වගේ - වට රවුමේ අහන්
ඉන්න දුගී ලොවේ ගී මගේ'
ටයි මහත්තයා චණ්ඩියා එක්ක |
ටයිටස් තොටවත්ත කියන්නේ එහෙම සුවිශේෂී අයෙකු
ගැන හිතට වද්දා ගත්තු කෙනෙකි. වද්දා ගත්තා විතරක් නොවේ! ඔහුගෙන් වැඩකුත් ගත්තේය.
"චණ්ඩියා" සිංහල සිනමා අම්බරයේ 112
වැන්නයි. 1965 දී චණ්ඩියා රිදී තිරය ඉරාගෙන කඩා පැන්නේය. 'නුවන් නයනජිත්'ගේ ශ්‍රී
ලාංකේය සිනමා වංශයේ නම් තියෙන්නේ ඒ ෆිල්ම් එකේ 'සිරිවර්ධන වේලු' කියා කෙනෙකුත් රඟ
පෑ බවයි. පේව්මන්ට් දිවියේදී මා නම් ඔහු දැන හිටියේ 'අන්ධ වේලු' නමිනි.
වේලු කළේ රබානක් වයමින් ගී කීමය.
'සිනමාවේ නෑසේවී - පෙම් ගීත මාගේ - නැත නාමේ
ජනකාන්ත වීලා
ජීවිතයේ දුක් පීඩා - හිස රන්දා ඉන්නා - කොයි
කාටත් මා ගී ගයාලා
උපකාරේ සතේ සතේ වේවා - මට සතේ සතේ වේවා
මහපාරේ ප්‍රසංගයේ ගායකයා මං තමා'
අසහාය ගායක ජෝතිමත් ජෝති එහෙම 'මහපාරේ ගායකයා ජනකාන්තවී නැතැයි' ගැයුවත් ටයි
මහත්තයා වේලුටත් තමන් හැදූ චිත්‍රපටයේ සිංදු කියන්නට ඉඩක් දුන්නේය. වේලු සිනමාවේ
අමරණීය වුණේ ඒකෙනි.
එක සැරයක් පේව්මන්ට් එකේදී වේලුගේ සිංදු ඇහූ කෙනෙක්
දෙවෙනි වතාව මඟ හැරගන්නේ නැත. ඒ තරමට ඒ සිංදු අපූරුය. සින්දුවලටත් වඩා විස්මිත
දෙයක් කරන්නට වේලු දැනගෙන උන්නේය.
හරියටම තත්පරයට වෙලාව කියන්නට. ඇස් පෙනෙන
කෙනෙකුට නම් ඔරලෝසුව බලාගෙන වෙලාව කියන්නට බැරියැයි. දෑසම අන්ධ වේලු කොහොම ඔරලෝසු
බලන්නද? ඒත් කොයිම වතාවකවත් වේලුට වෙලාව වැරදුණේ නැත; උපදින වෙලාවේදී නම් නැකත වැරදිලා
වෙන්නැති! නැති නම් දෑසම අන්ධ වේවියැ.
අන්ධ වේලු |
ඒ අහිංසක පදික වේදිකා සගයා කටින්ම අපූරු හඬකුත්
නඟමින්ය ගී ගැයුවේ! මා දන්නා තරමින් නම් පේව්මන්ට් එකේ කවුරුත් වේලුට උදව් කළහ. ඒ
කවුරුවත් ඔහුගේ ජාතිය හෙව්වේ නැත!
'භාරතයේ සරසවියේ නව රාග තාලේ - ස්වර මාලා මා නම්
නොදන්නේ
රන් වීණා වයලීනේ නැතුවත් සිතාරේ - සංගීතේ
අඩුවක් නොවන්නේ
මේ වාගේ විනෝද ගී ගයලා - මම විනෝද ගී ගයාලා
ආ හා හා අද වාගේ ගෙන එන්නම් වාසනා'
ජෝතිපාලට මේ ගීතය රචනා කර දුන්නේ කවුදැයි
හොයන්නට දන්නා තරම් දහිරිය දැම්මත් හරි ගියේ නැත. ඒත් ඒ ලියුවේ කවුරුන් හෝ වේවා, පේව්මන්ට් රජ දහන 'හොඳින්
නිරීක්ෂණය කරන්නට ඇත; ස්ටඩි කරන්නට ඇත.' එහෙම නැතිව මෙවන් ගීයක් ලියතහැකිද?
මගේ පදික වේදිකා ජීවිතය ගැනවත්, ළමා අවදියේ
කටුක අත්දැකීම් ගැනවත් 'අඳෝසංසාරයක්' නොදන්නා හිතවතෙක් මේ පෝස්ටු කියවා ප්‍රශ්නයක්
ඇහුවේය.
"බලාගෙන ගියාම නිමල් පුදුම දුකක්නේ විඳලා තියෙන්නේ?" ඒ ප්‍රශ්නයම
විකාර එකකි. මට නම් එව්වාගේ දුකක් නැත. එව්වායේ තියෙන්නේ ජීවිතයට මුහුණ දීම විතරය.
'එන-එන විදියට ගහ උලුවස්සා!' කියන්නැහේ මම
ජීවිතයට මුහුණ පෑවෙමි. ඒ හැම දෙයකින්ම පන්නරය ලැබුවෙමි. අපේ නංගිලා මල්ලිලා මා
තරමටම 'ඔරොත්තු දෙන්නන්' වී නැතැයි මට හිතේ. ඒ ඔවුන්ගේ පංගුවටත් එක්කම මා සටන් කළ
බැවිනි. සද් භාවයෙන් යුතුව එහෙම කළත්.....
මා එහෙම කළේ ඔවුන් ගැහැට විඳිනවා බලන්නට අකැමැත්තෙනි.
ජීවිතයට එළඹෙන බාධක, අභියෝග ආදියට මුහුණ
පෑමෙන් අපට පන්නරය ලැබෙයි; නුවණ මුහුකුරා යයි. වැඩි සුව පහසුව ජීවිතය අලස භාවයට
පත් කරනවාවත්ද? නංගිලා මල්ලිලා වෙනුවෙන් නොවෙහෙසී මා ඔවුන්ටම පරිණත වෙන්නට හැරියා
නම්.....
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි |
"සීත කඳු යායේ - ගැයෙන ගී රාවේ..."
ඇහෙන කොටම කාවද මතක් වෙන්නේ? චන්ද්‍රලේඛා පෙරේරා. හරි. ඊළඟට? සිංදු ගැන උනන්දු
කෙනෙක් නම් කියයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන නමත්. ජාතික තරුණ සේවා සභාවෙ 'යොවුන්
ගී කණ්ඩායමෙන්' 1979 දී ගැයුණු අමරණීය ගීයක්!
දන්නවද, ඒ චන්ද්‍රසේන මහත්මයා වතාවක්
කියලා තිබ්බා පුංචි කාලේ අග-හිඟකම් නිසා දුක් විඳි හැටි. තාත්තත් එක්ක වැඩ කරන්න
ගිහින් සිමෙන්ති අනපු හැටි...... කොළඹින් ප්ලාස්ටික් බඩු ගෙනිහින් ගෙයක් ගානේ
ඇවිදලා එව්වා වික්ක හැටි එහෙම. ඒ ඉන්නෙත් දරිද්‍රතාව ජයගන්න අභීතව සටන් කළ කෙනෙක්!
හොයන කෙනෙකුට ඕනෑ තරම් උදාහරණ හොයාගන්න
පුළුවන්. ඉන්දියාවේ 'මුම්බායි කොටස් වෙළෙඳපොළේ
රජු' කියන විරුදාවලියෙන් හඳුන්වපු 'දිරුබායි අම්බානි' මහත්තයාත් ළමා කාලය ගෙව්වේ අහී-දුප්පත්කමින්
පීඩිතව. අද? එයාගෙ දෙපුතුන්ගේ ව්‍යාපාරය ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වටින එකක්!
දිරුබායි අම්බානි |
මං ඔය විස්තර කිව්වේ නිකම්ම නෙවෙයි. අපේ
තාත්තට මං වෙච්ච පොරොන්දුවකුත් ඉටු කරන්න සූදානමක් විදියටයි.
"රංජි, උඹ ලොකු වෙච්ච දවසක මොන තත්වේ
හිටියත් පේව්මන්ට් එකේ නටපු එක අමතක කරන්න එපා!" ඔහු කිව්වේය.
මා එව්වා අමතක නොකළ බවට, තවමත් එව්වා මතකයේ නිදන් කරගෙන ඉන්නා බවට දයාබර කියවන්නන් වන ඔයාලා සාක්ෂිය. ".... ඒ වගේමයි. ඉඳහිට දවසක හරි කළුබෝවිල ඉස්පිරිතාලේ ළඟට ගිහින්, දැන් උඹ විකුණන කවි පොත්- කවි කොළ ටිකක් නොමිලේ බෙදලා දීපන්! උඹ මට පොරොන්දු වෙන්න ඕනෑ ලොකු වුණාම ඒක කරනවා කියලා ලජ්ජා හිතන්නේ නැතිව."
මා එව්වා අමතක නොකළ බවට, තවමත් එව්වා මතකයේ නිදන් කරගෙන ඉන්නා බවට දයාබර කියවන්නන් වන ඔයාලා සාක්ෂිය. ".... ඒ වගේමයි. ඉඳහිට දවසක හරි කළුබෝවිල ඉස්පිරිතාලේ ළඟට ගිහින්, දැන් උඹ විකුණන කවි පොත්- කවි කොළ ටිකක් නොමිලේ බෙදලා දීපන්! උඹ මට පොරොන්දු වෙන්න ඕනෑ ලොකු වුණාම ඒක කරනවා කියලා ලජ්ජා හිතන්නේ නැතිව."
මම දනිමි. තාත්තාගේ ඒ හැම උපදෙසකින්ම කියවුණේ එකම
දෙයකි. ඔහුට ඕනෑ වුණේ මා 'මුල මතක තියෙන' අයෙකු කිරීමටය.
පසු කලෙක, වතාවක් මම දකුණු කොළඹ මහ රෝහල ළඟට නිරීක්ෂණ
චාරිකාවකුත් ගියෙමි. දැන් අර ගේට්ටුව පැත්තේ ඉඩක් නැත. දුටුගැමුණු මාවත පළල් වෙලාය.
ලෙඩුන් බලන්නට එන අය ඉස්පිරිතාලයට ඇතුළු කරවන්නේ ඉස්සරහ ගේට්ටුවලිනි. එතන 'රජ
වෙනවා' තියා 'හිඟන්නෙක් වෙන්නවත්' ඉස්පාසු ඇති තැනක් නොවේ.
ඉතින් පේව්මන්ට් රස්සාව ගැන විතරක් නොවේ, මගේ
ජීවිත කතාවම ලියන්නට ඕනෑ යැයි තදින්ම හිතාගෙන හිටියේ අර තාත්තාට වුණු පොරොන්දුවත් එමඟින් ඉටු
කරන්නටය.
ඔන්න තාත්තේ, දැන් මා ඒ පොරොන්දුවෙනුත්
නිදහස්ය!
එච්චර හොඳ ගති මට හුරු කළ අපේ තාත්තා මට වීරයෙකි.
එහෙමය කියා මා ඔහුගේ දුබලකම්, පසික්කාඩුකම් හෝ අමනකම් ගැන අමතක කරන්නෙත් නැත. එහෙම
කොටසක් විතරක් අමතක කරන්නට බැරිකම මගේ දුර්වලතාවකි.
මේත් තාත්තාගේ එවන් දයා විරහිතකමකි.
එදා තාත්තාත් මා එක්කම කොළඹ ගිය දවසකි.
කොටුවේ පල්ලිය ළඟ, ලක්සල ළඟ, හතරවෙනි හරස් වීදියට හැරෙන තැන වැනි තැන් කිහිපයකම 'රජවී'
සෑහෙන මුදලකුත් ලැබී තිබුණු දිනයකි. මා පිටකොටුවේ බෝධීන් වහන්සේට වැඳ පඬුරකුත් දමා
එළියට ආවා විතරය.
කොළඹ පේව්මන්ට් රස්සාව කරන්න පටන් ගත්දා සිට
එය මගේ වතාවතක් විණි.
"රංජි, මේ බෝධියට ගොඩක් අනුහස්
තියෙනවලු. උඹ මෙහෙ එන හැමදාම බෝධීන් වහන්සේට පඬුරක් දාහන්.'' තාත්තාමය මට එහෙම
කියාදී, ඒ වතාවත පුරුදු කළෙත්. අනෙක ඒ දවස්වල මහරගම - පිටකොටුව බස් නැවතුම
තිබුණෙත් ඊට ටිකක් එහායින්; පාරෙන් එහා පැත්තේය. බෝධිය පහු කරගෙන යන්නට කලින්
වැඳලා පඬුරක් දැමීම ලෙහෙසිය. ඉතින් මං එහෙම කර එළියට ආවා විතරය. තාත්තා මට පැත්තකට
කතා කළේය.
"රංජි. අද තවම මේ හරියේ සෙනඟ වැඩියි. අරහෙත්
සැරයක් කතා කරලා ආවොත් බස් එකේ ගණනවත් ෂේප් වෙයිනේ." ඔහු හිසෙන් පෙන්නුවේ
පස්වෙනි හරස් වීදියයි.
එක දිගට කතා පැවැත්වීම ලේසි නැත. වෙහෙසකරය.
පුරුදු වුණාම නම් එහෙම නොවෙතත්, දිගට කතා කරද්දී උගුර බැරැන්ඩි වෙයි. අනේ, මොනවා
කරන්නද? හොඳ පණ ගිහින් හිටියත් මම පස්වෙනි හරස් වීදියේදී තවත් වතාවක් රජවී ආවෙමි.
තාත්තේ, ඔයා මිය-පරලොව නොගිහින් හිටියා නම් ඒ තරම් අකාරුණික වෙන්නේ කොහොමදැයි මා අද ඔබෙන් අහනවාට සැක නැත. ඒ තරමටම ඒ සිදුවීම මගේ හදවතේ ඇනුණු කටුවක්වී රිදුම් දෙයි!
තාත්තේ, ඔයා මිය-පරලොව නොගිහින් හිටියා නම් ඒ තරම් අකාරුණික වෙන්නේ කොහොමදැයි මා අද ඔබෙන් අහනවාට සැක නැත. ඒ තරමටම ඒ සිදුවීම මගේ හදවතේ ඇනුණු කටුවක්වී රිදුම් දෙයි!
කිඹුලා කනවා උහුලතත් කොහිල කටු ඇනෙන එක
ඉවසන්නට බැරිය කියන්නේ මේ වගේ එව්වාටද?
ඒ එක්කම මට හිතෙන්නේ මා ඕනෑවටත් වඩා පුංචි දේවලුත් මතක හිටින කෙනෙකි කියලාය. නැති නම් ඒ කාලයේ ඩබල් ඩෙකර්වලම යන්නට බලා හිටි හැටි මතක තියේවිද? ඒක ඒ හැටි වැදගත් දෙයක්ද? මට නම් එහෙමය.
ඒ එක්කම මට හිතෙන්නේ මා ඕනෑවටත් වඩා පුංචි දේවලුත් මතක හිටින කෙනෙකි කියලාය. නැති නම් ඒ කාලයේ ඩබල් ඩෙකර්වලම යන්නට බලා හිටි හැටි මතක තියේවිද? ඒක ඒ හැටි වැදගත් දෙයක්ද? මට නම් එහෙමය.
ඩබල් ඩෙකර් - දෙවර්ගයේම කවුළු සහිත බස් |
ඒ කොහාට යන බස් එකක් වුණත් මං බලාගෙන උන්නේ කවුළුවෙන් බාගයක් අරින්නට පුළුවන් පන්නයේ එකක් එනකල්ය. සමහර බස්වල තිබුණේ වාතය ඇතුළට ගලාගෙන එන්නට හැකි උඩින් ඇරුණු කවුළුය.
අද වාගේ හැම තැනම 'රූම්ස්' නොතිබුණු ඒ දවස්වල
එවන් 'කපල්ස්වලට' පිහිටට හිටියේ ඒ ආසනයත්, චිත්‍රපට හෝල්වල මැටිනි දර්ශනත්ය.
මෙතනදී ඒ වකවානුවේදීම මගේ ටිකිරි මොළයට
වැටුණු තවත් කල්පනාවකුත් කියන්නට අවසර.
යසපාලිත නානායක්කාරගේ 'තුෂාරා' ෆිල්ම් හෝල්වල
පැල් බැඳගෙන දිව්වෙත් ඒකෙ අඳුරු දර්ශන වැඩි නිසා යැයි මට හිතුණි. සාමාන්‍යයෙන් එකල
චිත්‍රපටවල සීන්ස් සේරම හොඳින් ආලෝකවත්ය.
තුෂාරා ඊට වෙනස් නිසා ඒක බලන්නට
ආදරවන්තයන් වැඩියෙන් හෝල්වලට රිංගූ බව මගේ මැටි නිගමනයයි. වට්ටෝරුව, සිංදු, විජය
මාලිනී සෝනියා ජෝ වාගේම අලුත්ම විදියට කෙරුණු ප්‍රචාරක වැඩ සටහනුත් එක්ක බලද්දී,
අලෝකකරණයත් නිකම්ම එහෙම වුණා වෙන්නට බැරිය!
එවැනිම අහම්බයකුත් ඇත. මගේ පේව්මන්ට් එකේ
රජවීම අපේ පාසලේ එකම ළමයෙකුගේවත් විහිලුවට ලක් නොවිණි.
ඒ ගොල්ලන්ගේ උත්තමකමක් හෝ නොතකා හැරීමක් හෝ නිසා එහෙම වෙන්නට ඇතැයි මට හිතේ. පමුණුවේ අයටත් එහෙමය. හැබැයි සමහර ගුරු මහත්ම-මහත්මීන් පවා මට විශේෂ අනුකම්පාවකින් කටයුතු කළ බව මතකය.
ඒ ගොල්ලන්ගේ උත්තමකමක් හෝ නොතකා හැරීමක් හෝ නිසා එහෙම වෙන්නට ඇතැයි මට හිතේ. පමුණුවේ අයටත් එහෙමය. හැබැයි සමහර ගුරු මහත්ම-මහත්මීන් පවා මට විශේෂ අනුකම්පාවකින් කටයුතු කළ බව මතකය.
බුද්ධිපාල, එන්.එම්. පෙරේරා, වීරසිංහ,
මංගලජීව මට මේ මොහොතේ එහෙම සිහියට එන ගුරු මෑණිවරුන් කීප දෙනෙකි. ඒ කාටත් යහපතක්ම
වේවා!
හැබැයි හිතා ගන්නටවත් බැරි තරමේ උත්තමයෙක්
නම් ඉහිලිය නොහැකි කේන්තියකින් මට 'හිඟන කොල්ලා' කියා ප්‍රසිද්ධ මහජන රැස්වීමකදී 'ටයිටලයක්'
පිරිනමා තිබිණි. එතුමා එහෙම කිව්වේ ‘තමනුත් එක්තරා ආකාරයක හිඟා කෑමක යෙදී හිටියදී
වීම’ය හොඳම උත්ප්‍රාසය.
මිනිසුන්ට කේන්ති ගියාම තැන-නොතැන පෙනෙන්නේ නැත. කිව යුතු-නොයුතු දේවල් තේරෙන්නෙත් නැත.
මිනිසුන්ට කේන්ති ගියාම තැන-නොතැන පෙනෙන්නේ නැත. කිව යුතු-නොයුතු දේවල් තේරෙන්නෙත් නැත.
මට නම් ‘හිඟන කොල්ලා’ ටයිටලය ගැන අංශු
මාත්තරයක තරම්වත් දුකක් හෝ ලජ්ජාවක් හෝ හිතුණේ නැත. ඒ මා ‘හිඟන කොල්ලා’ කියවා
තිබුණු හින්දාය.
අපි ඒ පොත හොයා ගන්නට වලි කෑවේ ‘සිංහල පෙළ පොතක’ තිබුණු ‘සයියාගේ පුතා වයියා’ (ඒක සක්කරයාගේ පුතාද කියලාත් සැකය. වයියාද වයිමාද කියලාත් හරියටම නිච්චි නැත.) පාඩම කියවූ දවසේ ඉඳන්ය. පොත ලිව්වේ ඩබ්ලියු.ඒ. සිල්වා කතා සක්විත්තාය. 1923 දීය.
අපි ඒ පොත හොයා ගන්නට වලි කෑවේ ‘සිංහල පෙළ පොතක’ තිබුණු ‘සයියාගේ පුතා වයියා’ (ඒක සක්කරයාගේ පුතාද කියලාත් සැකය. වයියාද වයිමාද කියලාත් හරියටම නිච්චි නැත.) පාඩම කියවූ දවසේ ඉඳන්ය. පොත ලිව්වේ ඩබ්ලියු.ඒ. සිල්වා කතා සක්විත්තාය. 1923 දීය.
ඒ පොතෙන්, ඒ නමෙන්ම චිත්තරපටියකුත් හැදුවේ
කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා උන්නැහේය. එවකට වැඩිම ආදායම් වාර්තාවට හිමිකම් කිව්වෙත් ඒ
ෆිලුමමය.
ඉතින් කාඩ්බෝඩ් ඔටුන්නක් දමාගෙන, පේව්මන්ට්
එකේදී රජ වෙන මේ හුජ්ජ කොල්ලාට එහෙව් නමක් දීම ඌට ආඩම්බරයක් වෙන බව ඒ උත්තමයාට
නොතේරුණ හැටි!
ඒ විස්තර සේරම වෙන දවසකයි කියන්න වෙන්නේ. තරහ
නැහැනේ? එහෙනම් එතකල් ආයුබෝවන්!
ඩබල් ඩෙකර් වල යන්න ආසාවට වයස් භේදයක් නැහැ ... මායි හාමිනෙයි බැඳපු අලුත රටපිට ඇවිත් බොහොම අහේනියෙන් ඉන්න කාලෙ ඇවිදින්න කොයිතරම් ආසාව තිබ්බත් අතේ සතේ නැති නිසා ... සාජ වල ජුබයිල් බස් හෝල්ට් එකට ඇවිල්ල ... පොඩි එකෙක් වගේ හාමිනේවත් අතින් අල්ලගෙන පෝලිමේ ඉන්නව ඩබල් ඩෙකර් බස් එකක් එනකං ඩුබායි යන්න ... උඩ තට්ටුවේ වට පිට බල බලා යන ඒ පැයක ගමනත් බොහොම ලොකු දෙයක් අපිට ඉස්සර :)
ReplyDeleteනමුත් කණ්ඩා, හොඳට හිතා බලන්න. එදා එහෙම ඩබල් ඩෙකර් එකේ ගිය ගමන අදටත් දැනෙන්නේ කොච්චර රසවත්වද කියලා. ඒක නේද ජීවිතේ?
Deleteඒක ඇත්ත සැප වාහනයක ගියාට වඩා ඒ මතකය රසවත් !
ReplyDelete