ඉතින්........... අපේ මානෙල් නංගිත් සිරියාවන්ත මනාලියෙක් වෙන දවස ඔන්න-මෙන්න ආවයි කියමුකො!
ඉන්ද්‍රානි මානෙල් දිසානායක මනාලියක වූ දවසේ............ |
“අනේ ලොකු
මල්ලී. ඔයා මට ලොකු උදව්වක් කරන්න ඕනේ.” මංගල්ලය ඔන්න-මෙන්න කියා තියෙද්දී රෝහිණී
අක්කා කිව්වාය. මොකක් හරි ජංජාලයක්ද කියලා නම් ඒ වෙලාවේ නම් මට බයත් හිතිණි.
තක්බීර් වී හිටි මගේ ඒ බය නැතිව ගියේ රෝහිණී අක්කා ඊළඟ ටිකත් කිව්වාට පස්සෙය.
“මේකයි
මල්ලී, දැන් මංගල්ලෙට බදුල්ලෙන් හෙමත් කට්ටිය එනවනේ.
ඉතින් ඔයාලගේ අම්මලයි,
ආච්චිලයි, නෑදෑයෝයි සේරමලා මඟුල් දවසට ඉස්සෙල්ල දවසේ රෑ අපේ ගෙදරට කඩාගෙන වැටුණොත්
නම් මට උයන-පිහන වැඩ ටික නිදහසේ කරගන්න බැරි වෙනවා ෂුවර්. ඒවා
පැත්තක
තියෙද්දී එයාලා අහන ඒවාට උත්තර දිදී ඉන්න වෙයි.
මට වැඩිය හොඳින් ලොකු මල්ලි
දන්නවනේ අම්මලාගේ විදිය!”
රෝහිණී
අක්කා හුඟාක් දුරට හිතා බලලාය. අපේ අම්මාව විතරක් වුණත් ආම්බාන් කෙරිල්ල කෙනෙකුට
ලෙහෙසි නැත.
කිඹුලා කට
ඇරියාම උගෙ ඇස්දෙක නිකම්ම වැහෙනවාලු.
අම්මාටත් එහෙමය. කට ඇරියාම වටේ-පිටේ වෙන
දේවල් මොකුත්ම පෙනෙන්නේ නැත; දැනෙන්නේ නැත. ඉතින් වයින් කරපු බෝනික්කෙකු වගේ දිගටම
කියවාගෙන යයි; ප්‍රශ්න අහයි; උත්තර දුන්නත් නැතත් අපේ අම්මාට ඒකේ වගක් නැත.
හැබැයි
හූමිටි තියන්නත් ඕනෑමය. ඒකත් කළයි කියමුකෝ! උහුලන්නට බැරි, එහෙම කෙරිල්ලටත්
වැඩියෙන් භයානක පැත්තකුත් තිබෙන එකය!
හායි ගාලා කට ඇරියාම කිඹුලාගේ ඇස්දෙක වැහෙනවාලු! |
දැන්
අවුරුදු කිහිපයක ඉඳලාම අපේ අම්මා මාස තුන හතරකට වතාවක් ලංකාවට එයි. වාසනාව ඒ එක
ගමනකදීවත් ඇය මාසයකට වඩා කාලයක් මෙරටේ නොයින්න එකය.
එහෙම ඉන්නවා නම් එයාට අමතර වියදමක්
දරන්නට වෙයි.
හිරු නොබසින
අධිරාජ්‍යයේ එලිසබෙත් අධිරාජිනියට තව-තවත් දීර්ඝායුෂ, වස්තුව-වලඳුව ලැබෙන්නට ඕනෑය!
එංගලන්තයේ උදවියට මාසෙකට වඩා ලංකාවේ ඉන්න ඕනේ නම් මුදල් ගෙවා වීසා දිගු කරගන්නට
ඕනය. ඒ නීතිය පැනෙව්වේ රැජිනය කියලා හිතාගෙනය මං ඇයට ආසිරි පතන්නේ. අපේ අම්මාට අලියා ගන්නට සල්ලි තිබේ. හෙණ්ඩුව ගන්නට සල්ලි නැත. ඒ හින්දා වීසා දිගු කරගන්නේ නැත. යයි. ගිහින් මාස තුනක් යන්නට කලින් ආපහු එයි.
හැබැයි,
කොච්චර කාලයක් හෙණ්ඩුව අතේම තිබුණත් වැඩක් නොවෙන වෙලාවලුත් ඇත. එහෙම වෙන්නේ වැරැදි
එක්කෙනාගේ අතේ හෙණ්ඩුව තියෙනවා නම්ය. එතකොට ඉතින් අලිත් කැලේමය.
ඉතින් අම්මා
ලංකාවේ ඉන්න ඒ එකම එක මාසය හොඳටෝම ප්‍රමාණවත්ය; විසඳන්නට මාස ගණනක් ඕනෑ කරන ජාතියේ
ප්‍රශ්න ටිකක් ඇති කරලා යන්නට.
අලි ගන්නට සල්ලි ඇතත් අපේ අම්මාට හෙණ්ඩුවක් ගන්නට නම්...... ( මේ ඡායාරූපය චලන තෙන්නකෝන්ගේ මුහුණු පොතෙන් ලබා ගත්තෙමි.) |
ඔන්න අම්මා
ලංකාවට ආවාම සුනිල්ලාගේ ගෙදරට යයි. සුමානයක් හමාරක් එහෙ ඉඳියි. එහෙම ඉන්න අතරේ
සුනිල්ගේ ගැන වැරැදි මල්ලිකාට කියයි.
මල්ලිකා ඒවාට පොහොර නොදැම්මත් කමක් නැත.
අහගෙන හිටියාම, හූමිටි තිබ්බාම ඇතිය. “සුනිල්ට හරියට කේන්ති යනවා නේද? ටිකක්
බීගත්තාම මහා නරක විදියටනේ ඔයාගේ ඇඟට කඩා පනින්නේ!” වැනි කතන්දරයක්ය; අම්මා
කියන්නේ.
“හ්ම්!” මල්ලිකා කිව්වේ එච්චරය!
ඒ ටික
හොඳටෝම ඇතිය. මල්ලිකා නාගන්නට යන වෙලාවත් ගින්නක් අවුළුවන්නට අපේ අම්මාට හොඳටම ඇතිය.
එයා සුනිල්ට කිට්ටු කරයි. කතාවට අල්ලා
ගනියි.
“ඈ සුනිල්. මල්ලිකා හරි නරකයිනේ!”
සුනිලුත්
ලණුව ගිළියි. “ඇයි අම්මේ?”
“එයාට වටින්නේ
නැහැනේ ඔයා බීගෙන නරක විදියට කතා කරනවා කියලා මගෙත් එක්ක දොස් කියන්න. මිනිහෙක්
වුණාම ඉඳහිටලා ටිකක් බිව්වට මොකද වෙන්නේ. ඕක ගණන් ගන්න දෙයක්යැ? මොකෝ ඔයා
කන්න-අඳින්න දීමේ අඩුවක් කරනවය?”
අම්මා ඔහොම
කතාවලින් විෂබීජ වපුරලා එංගලන්තයට යයි.
ඉතින් අර දෙන්න-දෙමාල්ලෝ මාසයක් දෙකක් යනතුරු
කෝන්තර හගිස්සා ගනිමින් රණ්ඩු ගොඩකය. ඔය ටික වෙන්නේ සුනිල්ලගේ ගෙදර ඇතුළේ විතරක්
නොවේ. අසල්වාසීන් එක්ක වුණත් එහෙමමය. ටිකෙන්-ටික අම්මාගේ අසනීපය තේරුම් ගියාට
පස්සේ දැන් අපේ කාගෙනුත් අම්මාට තහංචියකි. අපෙන් කාගේ ගෙදරක හිටියත් වට-පිටාවේ
ගෙවල්වලට යාම තහනම්ය; අපේ අසල්වාසීන් එක්ක ඇයි-හොඳයිකම් පැවැත්තීම තහනම්ය.
කැලය මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ............. |
කැලය මාරු
වුණත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැත! රෝහිණී අක්කා වැඩියත්ම බයෙන් උන්නේ ඒ
ගැනය!!
ආයෙමත්
මඟුල් ගෙදර පැත්තට යන්න කලින් අපේ අම්මාට සාධාරණය ඉෂ්ට කරලා ඉන්නත් ඕනෙය. එයා මොන
කයි-කතන්දර කිව්වත් ඒවා කියන්නේ කවුරුන්ව හෝ කොටවන්නට නොවේ. කතා කරන්න දේවල්; තලු
මරන්නට දේවල් ඕනෑ හින්දා වගෙය.
පොතක් පත්තරයක් නොකියවන; චිත්‍රපටයක් නාට්‍යයක්
ගීතයක් රස විඳින්නට නොදන්නා, ඒත් කතාවට කැමැති එහෙම කෙනෙකුට ඉතිරිව ඇත්තේ ‘කුණු
රෙදි හේදීමේ’ විනෝදාංශය විතරයි නේද?
රෝහිණී
අක්කා මට කිව්වේ කරන්නට බැරි දෙයක් නොවේ.
“ඔන්න අම්මලා ආච්චිලා පුංචිලා කාටවත් මඟුල්
දවසේ උදේට මිසක් රෝහිණී අක්කලාගේ ගෙදරට යන්න බැහැ. සේරමලා අපේ ගෙදරදීම ලැහැස්ති
වෙලා ඉවර වෙන්න ඕනේ. මං වෑන් එකක් සූදානං කරවන්නම් ඔයාලව එහාට එක්කරන් යන්න!”
මම
පූර්ව නිවේදනය නිකුත් කළෙමි.
මානෙල්
නංගිව විතරක් රෝහිණී අක්කලාගේ ගෙදරදීම මනාලියට අන්දවන්නට පිළියෙළ කෙරිණි. දැන්
කාලේ වගේ නොවේ. කවුදෝ පුංචි කෙනෙකුය ඇන්දවීම බාරගෙන තිබුණේ. දැන් එහෙමද? preshoot
එහෙමත් තියනවානේ. අන්දවන්නත් ලක්ෂ ගණනකි.
මෑත දිනයකදී
අචිනි-එරාන් දෙන්නාගේ මංගල්ලයේ ප්‍රී ෂූට් එකේ foto කිහිපයක් දකින්නට ලැබිණි.
හැබෑම ලස්සනය. එරාන් සම්පතුත් සේවය කරන්නේ ‘ලදුදෙ’ නිසා ප්‍රී ෂූට් එක කරලා
තිබ්බෙත් ස්ටේෂමක්, රේල් පාරවල්, බිංගෙවල් එහෙම අහුවෙන විදියටය.
ආරාධනා පත්තර ගහලා
තිබුණෙත් කෝච්චි ටිකට් විදිහටලු!
හනිමූන් එක තිබුණෙත් ‘පට කුඩ දෙක-දෙක’ වෙන්නට
ඇතිවය.
එරාන් සම්පතුත් සේවය කරන්නේ 'ලදුදෙ'ම හින්දා........... |
සැවුළු
සංහාරය කරන්නට වුණේ මඟුලට කලින් දවසේය. එතැනදීත් අනුගමනය කෙරුණේ ආඳා මාළු අතින්
නොකා ඉරටෙන් කන තියරි එකමය. “බදුල්ලෙන් කට්ටිය එන්න ඉස්සෙල්ලා කුකුළො ටික මරලා
සුද්ද කරලා ඉවර කළා නම් හොඳයි නේද?”
කරන්නට
හොඳය. පෙනෙන්නට නරකය! ඒත් මේ ඒවාට එරෙහිව රණ්ඩු කරන්නට වෙලාව නෙවෙයිනේ. මම කට
පියාගෙන හිටියෙමි.
“මල්ලා,
තමුසේ එහෙනම් කුකුල්ලුන්ගේ කකුල් ගැට ගහලා එක ගොඩකට දානවා!”
ආයුක්ෂයවී
සිටි අවාසනාවන්ත සැවුළන් මරන්නට තෝරා දුන්නේ අජිත් මල්ලීය. ඒ ගොඩටම නාකි කළුකුම්ලා
දෙතුන්-දෙනාත් අයිති වුණේය. උන්ගේ කකුල් ගැට ගහන්නට ඕනෑවූ ලණු කැරලි ගෙනාවේ අපේ
සීයාය.
අනේ අජිතෝ,
අනේ සීයේ. ඔයාලා දෙන්නාමත් නොදැන හරි එදා, ඒ ප්‍රාණඝාත අකුසලයේ කොටහකට කර ගහලාය.
බණේ කියවෙන හැටියට නම් ප්‍රාණඝාත අකුසලයක් සම්පූර්ණ වෙන්නට කරුණු පහක් සපිරෙන්නට ඕනෑය.
1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු බව දැනගැනීම
3. වධක චිත්තය හෙවත් මැරීමේ චේතනාව
4. මැරීම සඳහා යම්කිසි උපක්‍රමයක් යෙදීම
5. එම සත්ත්වයා එයින් මරණයට පත් වීම, ඒ කාරණා
පහය! මං කරන්නේ තොරතුරු සම්පාදනය විතරය. තීරණය ගත යුත්තේ බුද්ධිමත් රසිකයන්
විසිනි.
පරපණ නැසීමේ අකුසලය කොහොම-කොහොම බෙදෙන්නට ඇතිද?
සැවුළු සංහාරයේ පාපය බෙදෙන්නට ඇත්තේ කවුරු-කවුරුන් ................. |
මගේ හැඟීමත්
දැනීමත් අනුව නම්, එදා අපේ ගෙදර හැමෝම එක-එක මට්ටමෙන් ඒ පවට කර ගැසුවෝය!
මේවා තේරෙන
වයසක නොහිටි අපේ මැරෑටියා; බඩා මල්ලා; දීපාල් කුකුල්ලුන්ගේ කකුල් ගැට ගැහුවේ
සෙල්ලමකට අරගෙනය. ඒ වැඩේ සෑහෙන්නට කෙරුණාට පස්සේ මම වධක රාජකාරිය කරන්නට පටන්
ගත්තෙමි.
මං හිත-හිතා හිටියේ නැත; බල-බලා හිටියේ නැත. එකෙක් අතට. බෙල්ල කොට කෑල්ල
උඩට. පිහිය ඉහළට. ඊළඟට පිහිය පහතට. One shot. දඩාස්! බෙල්ල පැත්තකට. කඳ බැරල් එක
ඇතුළට. ආයෙමත් ඒකමය. ඔහොම දිගින්-දිගටම ශීර්ෂඡේදනය කරගෙන-කරගෙන ගියෙමි.
මගේ අම්මෝ!
ප්‍රාණ හතක් තියෙන්නේ බළලුන්ට විතරක් නොවෙයි වගෙය. බෙල්ල කපලා, කඳ කොටස උස බැරල්
එකට දැම්මාට පස්සෙත් විනාඩි ගණනාවක් යන තුරුම කඳ දඟලයි! උඩ පනියි!! නිසල වෙන්නේ ඊට
පස්සෙය!!! මට හිරිකිතම හිතුණේ දැවැන්ත කළුකුම්ලාගේ බෙලි කපද්දීය!!!!
වතාවක් අපි
නකල්ස් කිට්ටුව නිවාඩු නිකේතනයකට ගියෙමු. අපේ යහළුවන් ගොඩකට මාළු, කරවල, සැමන්
තිබුණාට මදිය. චිකනුත් නැතිනම් හරි නැත. කට්ටියක් ගියෝය; කුකුළු මස් හොයන්නට. පැය
දෙකකට විතර පස්සේ එයාලා ආපහු ආවේ අප්‍රාණික කුකුළු දේහ පහ-හයක් අරගෙනය. “අපෝ.....
තමුසෙලා මේ අවුරුදු දවස්වල කුකුල්ලුන්ව මැරෙව්වද?” වනිතා පාර්ශ්වයෙන් ප්‍රශ්න
වැලකි.
“පිස්සුද?
උන්ව මරලා හම ගහලා තිබ්බේ. විකුණන්නම ලැහැස්ති කරලා.”
උත්තර දුන්
දෙන්නාගේ නම් මෙතැනදී නොකියමි. හැබැයි ඒ දෙන්නාම එවෙලේ ‘මුසාවාදා’ අකුසලයත්
කරගත්හ. ඒත් එයාලා අතින් සිද්දවුණේ ‘අල්ප සාවද්‍ය’ අකුසලයක් විතරක් වෙන්නට ඇතිය. කාවවත්
රැවටීමේ චේතනාවක් එයාලාට තිබ්බේ නැත. එයාලා කාටත් තිබුණේ යහපතක් කරන චේතනාවකි.
'චේතනාහං භික්ඛවේ කම්මං වදාමි' පාඨයෙන් කියන විදිහට නම් එයාලගෙ චේතනාව.......... |
අප
වෙනුවෙන්ම ඒ කුකුළන් දොරත්, උළුවස්සටත් අතර හීනි හිඩැසට බෙලි හිර කරගෙන පරලෝ සැපත්
වුණු බව කිව්වා නම් අපේ බවලත් උදවියගෙන් වැඩිදෙනා එදා සැවුළු මාංශය වළඳන්නේ
නැත.
බණ දන්නවය
කියලා හිතාගෙන හිටියත් සමහර දෙනා මෙවැනි සිල්ලර කාරණාවන්වත් මායිම් කරන්නේ නැත!
අපේ
ආච්චිලා, අම්මලා වුණත් එහෙමය. දැන් ඔයාලගේ හිතේ වැඩියෙන්ම වැඩ කරන්නේ මගේ සැවුළු
සංහාරය ගැනම නේද? Take it easy! එදින්-එදායින් පස්සේ මං එවැනි සමූහ ඝාතනයක් කරලා
නැත. සමූහ තියා, තනි කුකුළු මැරිල්ලක්වත් කළේ නැත. හරියට ‘මීන සංහාරය’ කළ වතාවේ
වගේමය!
මගේ
අත්දැකීම නම් එක වතාවක් හෝ වැරැද්දක් කළ පසුව යළි එවැන්නක් කිරීමට හිතක් පහළ නොවෙන
බවයි. හැබැයි සේරම වැරැදි ගැන නම් ඒ නිගමනය සාධාරණ නැත.
(මං කියන්නේ මා ගැනය.) මං
තවමත් සියලු ක්ලේශයන් ප්‍රහීන කරලා නැති නිසා වෙන්නට ඇතිය. මගේ අතින් තවමත් සමහර
වැරැදි- සමහර පාපයන් සිදු වෙයි. එකම හොඳේ මං එව්වා ගැන සිහියෙන් යුතු වීමය. ඒ
නිසාම මං අනුන්ට අසාධාරණයක් වෙන්නට දෙන්නෙම නැත.
ඉතින් එහෙම
හිතා, පාපය විකුණන්නට බැරි නිසා මා විසින්ම මැරූ කුකුළු මස්, කළුකුම් මස් එක්ක
ඉන්ද්‍රානි මානෙල් දිසානායකගේ මංගල භෝජනය
ජයට තිබුණේය. මංගල්ලයත්!
ජයපහටම මානිගේ මංගල්ලයත් කෙරුණේය! |
පාපය යනු
පසුතැවිල්ලේ තවත් මුහුණුවරක්ද? මට නම් එහෙමය. පනහකටත් වැඩි කුකුළන් තොගයකුත්,
කළුකුම්ලා තුන්-හතර දෙනෙකුත් මැරීම ගැන නම් අදටවත් මගේ පසුතැවීමක් නැත. මං කළේ එක
වරදකි. ඒකත් හිතට එකඟවය.
මම හොඳටම දන්නෙමි. එදා ඒ සත්ත්ව ඝාතනය අනුන් ලවා කුලියට
කරවා ගත්තා නම් අදටවත් මට සැනසෙන්නට බැරි වෙනවා නිසැකය. ඒක සහතිකය.
මේ පෝස්ටු
මාලාව ඉවර කරන්නට ඉස්සෙල්ලාත් පූර්වාපර සන්ධි ගැළපීමක් නොකළොත් ලොකු අඩුවකි.
කළු අක්කලා
මඟුල් ගෙදරට ආවෝය. අපේ අම්මලා එයාලාව සාදරයෙන් පිළිගැනීමත් කළෝය! ඒ මදිවාට එයාලාගේ
පවුලම දෙවෙනි ගමනටත් ආවෝය.
(ඊටත් කාලයකට පස්සේ කළු අක්කාගේ දෙවෙනි දියණිය අපේ
මිතුරෙකුවූ කිංස්ලි පද්මලාල් හා විවාහ වූවාය!)
මගේ පැත්තෙන්
මංගල්ලයට සහභාගී වුණේ මර්වින්, කිංස්ලි, උදේනි අල්විස්, විජිත කිත්සිරි බණ්ඩාර හතර
දෙනා විතරක් වගෙය, මට මතක. ඒකත් අමුත්තන් විදියට නෙවේ. රෝහිණී අක්කලාගේ ගෙදර
සරසන්නට, මඟුල් මඩු ගහන්නට, කෑම මේස බාරව කටයුතු කරන්නටය.
ඊටත් කාලයකට පස්සේ කළු අක්කාගේ දෙවෙනි දියණිය............. |
එය එසේ සිදුවිය.
ReplyDeleteඑසේ වුවද තවම මතකය, මධු!
Deleteපසුතැවිල්ල හින්දා පව වැඩිවෙනවා මට තේරෙන හැටියටනං...වැඩි විස්‍තර ඕන නං විසුද්ධි මාර්ගය හෝ අභිධර්ම ප්‍රදීපිකාව කියවන්ඩ...ඊගාවට ලියන්නේ මොන සංහාරය ගැනද?
ReplyDeleteස්තුතියි ලොකු, ඔත්තුවට. මං ඔය පොත් දෙකම කියවලා නැහැ.
Deleteතව සංහාර දෙක තුනක් තියෙනවා, ලියන්නෙ හිතුණොත් තමා.......
+++++++
ReplyDeleteස්තුතියි ඉයන්!
Deletehttps://modernfarmer.com/2014/08/heres-chicken-can-live-without-head/
ReplyDeleteවෙඩිමක් ගැනද ... කුකුල්ලු ගැනද ... පින් පව් ගැනද ... මුසාවාදා ගැනද කියෙව්වෙ කියල තෙරෙන්නෙ නෑ ... තාම කල්පනා කරන ගමන් :)
ReplyDeleteඒ සේරම එකිනෙකට යාවුණු අත්දැකීමක්නේ කණ්ඩා.
Delete