li Item

Tuesday, March 4, 2025

දෙදොහක ජරමර

තවමත් වාසනාව තියෙන්නේ මගේ පැත්තටය!
මෙච්චර කාලෙකට කෙලින් තියාගෙන උන්නු මගේ කොන්ද නොකැඩී පරෙස්සම් කෙරෙන කෙරෙන විදිහටය, පෙරේදාත් මගේ ‘වාසනාව’ විසින් මාව බිමට වැට්ටුවේ.

ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්... ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්... ටෙලිෆෝන් එක එක දිගටම කෑ ගහන්න ගත්තා. ‘කවුද බොලේ?’ මං වතුර කරාමය වැහුවේ මගෙන්ම අසා ගනිමින්. මම හිටියෙ නාමින්. දවසේ පළමු වතාවට. දෙවෙනි වතාවට නාන්නේ හවසටනේ!
විනාඩියකට නෑම නවත්තලා, තුවායත් ඉණ වටේ දවටාගෙන මං නාන කාමරෙන් එළියට ආවේ ටිකාක් කඩිනමින්.

ඒත් හිතෙන් නං ඉන්නේ...

මං දැන් ඉන්නේ හානි දශකය පහු කරලා. ප්‍රාග් භාර දශකයට ඇවිත්. ප්‍රවංක දශකය පටන් ගත්ත විතරයි.

මං කියවපු ලියවිල්ලක ‘ප්‍රවංක දශකය’ අර්ථ කථනය කරලා තියෙන්නේ මෙහෙමයි. ‘ප්‍රවංක දශකය යනු හැත්තෑව, අසූව දක්වා අතර ඇති කාලයයි. ප්‍රා යනු ඉදිරියයි. වංක යනු වක ගැසීමයි. ශරීරය ඉදිරියට නැමෙන ගතිය සහ බරවන ගතිය වැඩි වීමයි. තම ශරීරය තමාට අවනත නොවන ස්වභාවයයි. එවිට සැරමිට්ටක් සැරයටියක් ආධාරකයක් අවශ්‍ය කරන කාලයයි.’

ඔන්න ඔය ප්‍රවංක දශකය නිසාත්, මල්ටිපල් මයෙලොමාව නිසාත්, මයෙලොමාවට ගන්න  බෙහෙත් කන්දරාව නිසාත් මං දැන්මම ‘මෝමූහ දශකය’ට ඇවිත් සිටින්නෙක් ගණනයි. (ඒත් හිතෙන් නං ඉන්නේ ක්‍රීඩා, වර්ණ දශක දෙක මැද්දේ.)

මේ කාලෙ මම හැරෙන්නෙත් හෙමින්. මං දඩිබිඩියේ හැරුණත් ඇති ‘දඩස්’ ගාලා බිම වැටෙන්න. අනේ, අනේ...‘මිස්ටර් කලබල වෙලා හිටිය නිමල් දිසානායකයාට වෙලා තියෙන දෙයක්! දැන් ඒ හාදයා ‘xxx මිහිරානි’ වෙලා.
(xxx මිහිරානි ඉතිහාසගත වෙච්ච දක්ෂ නිළියක්. හැබැයි, මට හිතෙන විදිහට ලංකාවේ ටෙලි නිළියන්ට අන්තිම අඩු වේගයකින් හැරෙන- පෙරලෙන- හෙලවෙන ලෙඩේ බෝ කළේ එයා.)

ඔය slow මෝෂන් වැඩේ අමතක වෙලයි, මං ඒ වෙලාවේ අඩිය ඉස්සුවේ. එතකොටත් මගේ සරුවාංගයෙන්ම දිය බේරෙනවා. ටයිල් පොළොව උඩට වතුර වැටිලා තිබ්බම වෙන දේ අමුතුවෙන් කියන ඕනැයි- ලෙස්සනවා!

(අපේ සාලේ තියෙන්නෙ කොටස් දෙකකට. එක කොටසක ඉඳලා අනෙකට යන්න වෙන්නේ පඩි තුනක් නැඟලා. WAl ප්‍රියන්ත plan එක අඳින්න යනකොට, මං වහන්සේ ඕනිමය කියාපු එක දෙයක් ඒ. එහෙම ඇඳපු සැලැස්මට අනුව Wash Room එක තියෙන්නෙ ඉහළ කොටහේ දකුණු කෙලවරේ. ඒකෙ ඉඳලයි මං පහළ කොටහට යන්න හැදුවේ.)

මොන? හැදුවට යන්න වුණේ නෑ.
නිකංම යැවුණා... ලෙස්සලා. උඩම පඩිය උඩට පය තිබ්බා විතරයි, ‘සුරුස්’... ලෙස්සුවා. (සුරුස් ගාලා ලිස්සලා යන යෙදුම ණයට ගත්තේ සහෝදර
blog රචක බකුසු මහතාගෙන්.)

හිම මත ලිස්සල යනවා වගෙයි මාත් සුරුස් ගාලා ලෙස්සුවේ.. ඒත් මං ලිස්සල ගියේ නෑනෙ... ලිස්සල වැටුණනේ. පඩි තුනෙන් පහළට විතරක් නෙවෙයි. ලිස්සල ගිය වේගයට තවත් අඩි තුන-හතරක් ඉස්සරහටත් තල්ලු වෙලා ගිහිල්ලයි මාව නැවතුණේ! හරියටම කිව්වොත් තුන්වෙනි පඩියේ සිට පැතලි පොළොවේ තවත් අඩි පහක් පෙරට!!

ඉකුත් අරගල සමයේදී...

මොකද්ද දෙයියනේ වුණේ?
එහෙම්ම ඉඳගෙන මං සිද්ද වෙච්ච අලාභ-හානි තක්සේරු කරන්න පටන් ගත්තා. මටම අවංකව...

අලාභ-හානි තක්සේරු කරන්න... රජයේ තක්සේරුකරු වගේද?
ආණ්ඩුවේ / රජයේ තක්සේරුකරු කියලා කෙනෙක් ඉන්නවලු නෙව. (එතුමාගේ කෙරුවාව ගැන තක්සේරු කරන්නේ කව්ද දන්නෑ!) මේං බලන්නකෝ- ඒ තක්සේරුකරුත් ගෑවිච්ච කතන්දරයක්:  

‘ඥාණක්කාගේ ගෙදරටත් රජයෙන් දෙකෝටි අසූ ලක්ෂයක් වන්දි ගෙවලා!

හිටපු ජනාධිපතිවරුන්, දේශපාලඥනයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් විවිධ කාර්යයන් සඳහා ආශිර්වාද ලබාගැනීමට පැමිණි, අනුරාධපුර පදිංචි ඥාණවතී ජයසූරිය (ඥාණක්කා) නමැත්තියගේ නිවෙස ඉකුත් අරගල සමයේදී ගිනිතැබීමෙන් පසු ඊට හානි පූර්ණ වන්දි වශයෙන් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක මුදලක් ඇයට ගෙවා ඇතැයි හානිපූර්ණය සඳහා වන කාර්යාලය සඳහන් කරයි.

‘අරුණ’ වාර්තා කර ඇති ආකාරයට, තොරතුරු දැනගැනීමේ පනත යටතේ හානිපූර්ණය සඳහා වන කාර්යාලයෙන් කරන ලද විමසීමකට අනුව මෙම තොරතුරු ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුර නව නුවර පාරේ, ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිව සිටින ‘ඥාණක්කා’ නමින් හඳුන්වන කාන්තාවගේ නිවසට, දේවාලයට සහ හෝටලයට ඉකුත් අරගල සමයේදී එනම් 2022 වසරේ මැයි 10 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනිතබන ලදී.

ඒ අනුව, හානිපූරණය සඳහා වන කාර්යාලය කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ රජයේ තක්සේරුකරු විසින් ලබාදී ඇති රහස්‍ය තක්සේරු වාර්තාවෙහි වටිනාකම මත පදනම්ව මූල්‍ය සහන ලබාදී ඇතැයි එම කාර්යාලයේ තොරතුරු නිලධාරියා සඳහන් කරයි.

මෙලෙස මූල්‍ය සහන ලබාදීමේදී (ඥාණක්කාගේ) හෝටලයට සහ දේවාලයට ගෙවීම් කර නැතැයි ද හානිපූරණය සඳහා වන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.’

ඔය රජයේ තක්සේරුකරු කියන කෙනා පොඩිපටු කෙනෙක් වෙන්ඩ බෑ. උන්නැහෙගේත් වාර්තා එහෙම සැලකිල්ලට අරගෙන වෙන්නෝනි ඒ ආණ්ඩුවේ මැති ඇමති මන්ත්‍රීවරු 43 දෙනෙකුටත් රුපියල් කෝටි 122කට කිට්ටු මුදලක් ලෝස් නැතුව ගෙවල දමල තියෙන්නෙ.

කිසිම පළපුරුද්දක් නැතුව පාර්ලිමේන්තු ආව නවකයන් වැඩි දෙනෙකුගෙන් හැදුණු අලුත් ආණ්ඩුවෙ උදවියගෙන් කියවෙච්චි විදිහට නං ‘මෑත අතීතයේ පත් කෙරුණු කොමිසම් හැටහුටහමාරෙන්’ තිතටම; අධිවේගීව වැඩ කරලා තියෙන්නෙත් ඒ කොමිසම විතරයිලු.
මං හිතන්නේ ඒ කොමිසමේ සාමාජිකයන්ට ඔවුන්ගේ කාර්යක්ෂමතාව වෙනුවෙන් ‘ගෞරව සම්මාන- බුහුමාන’ පුද කළ යුතුමයි!

ඔන්න දැනටමත් ඒ වන්දි මුදල් අරගෙන තියෙන පහුගිය ආණ්ඩුවල මන්තිරිතුමන්ලගේ ලැයිස්තුවත් මේ post එකට එකතු කරනවා ‘හුදී ජනතාවගේ පාන් සංවේගය’ උදෙසා.

ඉතිං ‘ලිස්සලා වැටිල්ලෙන්’ සංවේගප්‍රාප්ත වෙච්චි මම ඉස්සෙල්ලාම වටපිටාව තක්සේරු කළා. දොරවල් වැහුණු විදිහටම තියෙනවා. ජනේලත් සුපුරුදු විදිහටම බාගෙට ඇරුණු ගමන්. වැටිච්ච ගමන්ම ඉන්න මං... විතරයි නුපුරුදු සෙයියාවකින් ඉන්නේ.

එතකොටයි මට මීටර්  වුණේ! මං වැතිරිලා ඉන්නේ අමු නිරුවතින්... ඇඟේ නූල් පොටක්වත් නෑ... හෑ...
කෝ යකෝ මගේ ඉණ වටේ දවටාගත්ත තුවාය?

මට හැරෙන්න වුණේ කැක්කුම් දාහක් මැද්දේ... අර තියෙන්නෙ අවතැන් වෙච්චි තුවාය. උඩම පඩිය උඩ. ඒක අරගන්න නං එතැනට යන්න ඕනි. අමාරුයි තමා- ඒත් නොගිහිං කොහොමද?
කාගෙන් හරි උදව්වක් ඉල්ලලා කෑගහන්න හරි වුණත්- ඉස්සෙල්ලම හෙළුව වහගෙන ඉන්න එපැයි.

අරුණ, විනාඩියකට ඇවිත් යන්න- තරහ නැතුව. කලබල වෙන්නවත් කාටවත් කියන්නවත් එපා. මාව වැටුණා! (මලිත් හා අරුණ)

අල්ලාගෙන වාරු ගන්න තරං දෙයක් අත පොවන මානයේ නෑ. කරන්න තිබ්බ එකම දේ පිටිපස්සට තල්ලු වෙන එක. පුකෙන් රිවර්ස්!

මං වහන්සේ එහෙම කරලයි පඩිය උඩින් වාඩි වුණේ. වාඩි වෙලා තුවාය දවට ගත්තේ.

‘තමුසෙ නෑවේ බාගෙට නේද?’
වැටෙනකොටම වැඩි වෙච්චි පපුවේ ගැස්ම දැන් නං නෝමල් වගෙයි. හුස්ම වැටිල්ලත් සාමාන්නියයි. පඩි පෙළේ එක පැත්තක තියෙන අත්වැට අල්ලගෙනයි ඕං මගේ කඳ කෙලින් කර ගත්තේ.
මගෙ සංතෝ! ඒකට ගිය වෙලාවක්... ඒ මදිවට ඒ වෙලාවේ දැනුණු වේදනාව... ඒත් ස්නානය ඉවර කරගෙන ඉන්න එපැයි.

පුළුවන් උපරිමේටම සීරු-මාරු වෙවී නාන රාජකාරිය ඉවර කරගෙනයි අරුණට කෝල් එකක් දුන්නේ. අරුණ ඉන්නේ අපේ ගෙදරට ගෙවල් දෙකක් එහායින් තියෙන නූල් කඩේ.
“අරුණ, විනාඩියකට ඇවිත් යන්න- තරහ නැතුව. කලබල වෙන්නවත් කාටවත් කියන්නවත් එපා. මාව වැටුණා!”

අපරාදේ කියන්න බෑ- අරුණ කලබල වෙලා තිබ්බේ නං නෑ. Phone එක තියන්නත් කලින් මට ඇහුණා අරුණ ගිනි කසයා වගේ දුවගෙන එන සද්දේ. “මොකෝ ලොක්කා වුණේ?”

“මේ ක්‍රීම් අරවා මේවා ගාලා හරි යයිද ලොක්කා... නෙවිල් අයියට හරි දොස්තර මහත්තයට හරි කියමුද? නැත්තං මෙහෙ දොස්තර කෙනෙක් ගාවට යමුද?”
අත් බේත් විදිහට ගෙදර තියාගෙන ඉන්න සිද්ධාලේප කුප්පියයි, ශර්ෂපාදිය තෛලය බෝතලයයි, Movelat Cream ටියුබ් එකයි පෙන්නුවාම අරුණ කියපි.
”ඕනි නෑ අරුණ. අමාරුව වැඩි වුණොත් යමු...”

“අමාරුව වැඩි වෙන්නේ පහු වෙන්න වෙන්නයි. මේ... පිටේ පැත්තක් ඉදිමිලත් වගෙයි.” අරුණ හූල්ලමින් කිව්වා. “අම්මට සිරි! මේ... ඔළුවෙත් ටීක් බෝලයක් විතර ගැටයක්... පැලිල නං නෑ- තැලිලා විතරයි. හොඳ පාරක් බොසා වැදිලා තියෙන්නෙ. තැලිච්ච තැන් රිදෙන්න ගනියි වෙලාව යනකොට.
අද මලිතුත් නෑ කඩේ. ගමේ ගිහිං. ඒත් අපේ බොසා කිව්වා ඉක්මනට ගිහිං ඔයාට මොකද කියලා බලන්න කියලා. ඔයා තනියමනෙ කියලත් කිව්වා. මං යන්නං. මොනව හරි ඕනිකමක් වුණොත් call එකක් දෙන්න.”

පිටෙන් බාගයක Movelat Cream තවරලා, අරුණ පිටත් වෙන්න හැදුවේ අත සෝදා ගන්නෙවත් නැතිව. “අත හෝදාගෙන යන්න අරුණ!”
“ලෙඩෙකුට තෙල් බේත් සාත්තුවක් කළාට පස්සේ අත හෝදන්න- පිහදන්න එපැයි කියනවනෙ, ලොක්කා.”
“කවුද?”
“අපේ අම්මා. එයා ටිකක් කැඩුම්- බිඳුම් වෙදකම ගැන දන්නවා බොසා...”

අරුණලගේ අම්මාගෙනි, මට තැම්බූ ‘දමින ඇට’ රස විඳින්නට ලැබුණේත්.

රත්නපුරේ ඉඳලා දියගමට ඇවිත් සිටින අරුණලගේ අම්මාගෙනි, මට තැම්බූ ‘දමින ඇට’ රස විඳින්නට ලැබුණේත්. එතෙක් වෙනතුරුම මං වහන්සේ දමින ගැන අහලවත් තිබ්බේ නැහැ නෙව. (ස්තුතියි, අරුණට හා අම්මට!)

බිත්ති ඔරලෝසුවෙ කටු පුරුදු විදිහටම කැරකෙමින් වෙලාව කිව්වා. එකොළහයි. පුරුදු ඉරියව්වෙන්ම පුටුවේ වාඩි වෙන්න හදද්දී මට තේරුණා, ටිකකට කලින් අරුණ කියූ දේ ඇත්තය කියලා. දැන්මම අලුත් අලුත් ඉසව්වල අලුත් වේදනා කැක්කුම් දැනෙන්න පටන් අරං!

මගේ මාධ්‍ය ප්‍රකාශක උන්නැහේට ගත්ත call එකක්.

“නෙවිල්, මාව වැටුණා...” මං විස්තරේ කිව්වා. එතකොටයි දැනුණේ කතා කරනකොටත්- හෙලවෙනකොටත් වේදනායි.
“තුවාලද?”
“නෑ. තැලුම් විතරයි.”
“මම හවස වැඩ ඇරිලා යන ගමන් එන්නං” කියලා කිව්ව නෙවිල්ගෙන් අයස්මන්ත මහත්තයාට පණිවුඩය ගිහිං. “නිමල් අයියේ, මම නෙවිල් අයියට sms කරන්නං ගන්න ඕනි බෙහෙත්. ඉඩක් හම්බ වුණොත් මාත් රෑ වෙලා එන්න බලන්නං.”

හවස් වෙද්දී නෙවිල් ආවේ, පීරිස් මහත්තයා කියල තිබුණු බෙහෙතුත් අරගෙන.
ඒ වෙද්දී මං උන්නේ චිත්‍ර වධය විඳිමින්. ඉඳගන්න බෑ- හිටගන්න බෑ- ඇලවෙන්න බෑ- අතපය  හොලවන්න බෑ- කතා කරන්නවත් බෑ, සරුවාංගයම ඇදුම් කනවා.
කැස්සක් ආවාමයි වැඩේ බරපතලකම හොඳටම තේරුණේ. කැස්ස හංගා ගන්නයැ? ඒත් ඊට පස්සේ උගුර කසාගෙන එනකොටම පුළුවන් තරං දහිරිය දාලා ඒ උවමනාව යටපත් කර ගත්තා.

‘අනේ දෙයියනේ, කිඹුහුමක් නං එවන්න එපා!’ මං දෙයියන්ට යැද්දා.
මොන? දෙවිවරු සේරමත් කෝප් කමිටුවේ රැස්වීම්වල වීඩියෝ බල-බලා ඉන්නවා ඇති. ලක්ෂ-කෝටි ගණනින් සල්ලි හොරා කන්න ඕනෑවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලොකු-ලොක්කන් ගහල තියෙන game!
එයාලගෙන් ප්‍රශ්න කරද්දී තමයි පේන්නේ උන්නැහේලා
විරුවපට්ටං ගහගෙන ඇඹරෙන ලස්සන...

ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ; ගලේ පහරපු බළල්ලු වගේ තමයි දැන් උන්දැල තටමන්නේ! “320ක් රට යවන්න බිලියන 1.2ක්! කෝප් කමිටුවේ ඇස් උඩගිය හෙළිදරව්ව- රටම කළඹන අනාවරණයක්!” කියන වීඩියෝව ඔයාලටත් බලන්න හම්බ වුණාද?

“ඔයාත් ඕවා සේරම බැලුවද හලෝ?”
“වෙනදාට නං එච්චර වෙලාවක් එව්වට හිර වෙන්න බැහැනෙ නෙවිල්.” මං කියාගත්තේ කොඳුරමින්. “මොනම දෙයක්වත් කරන්න බෑ- මේ රිදිල්ලත් එක්ක. නිඳා ගන්නවත් බෑ.”
“තමුසෙගෙ චීත්තවාහිනිය ලියාගන්නත් බැරිද?”
“Blog එක නොලියා කොහමද... ලියනවා හෙමි-හෙමින්.”

“අන්න අයස්මන්ත මහත්තයත් එනවයි කිව්වා.”
“එහෙනං අදත් මට ගෙදර යන්න වෙන්නේ යක්කු ගස් නඟින ජාමෙට තමයි.”

නිමල් අයියගෙ ඇටකටුවල බිඳීමක් වෙලා නං එහෙම පොරට මාස හයක්වත්...

“නෙවිල්, තරහ නැතිව අපේ මානිට කෝල් එකක් දීලා විස්තරේ කියන්නකෝ මහත්තයෝ.”

“තාම තමුසෙගෙ ආදරණීය නංගිට කිව්වෙත් නැද්ද හලෝ?”
“කතා කරනකොටත් මසල්ස් රිදෙනවා... කොහෙ කතා කරන්නද?”
නෙවිල් මානෙල්ට පණිවුඩය කියලා නැවතුණේ නැත. “ඉන්නවකෝ- තරුණ blogකාරයටත් කියන්න...”

“ඒයි නමී. එන්නැද්ද ඔහෙලගෙ මැන්ටල් බ්ලොග්කාරයව බලන්න... දැන් තමයි එන්න හොඳ වෙලාව. මිනිහගේ කට වැහිලා- බැන්නත් නිකං ඉන්නවා. එයා සාලෙ මැද්දේ ලෙස්සල වැටිලා. ඇටකටු නොකැඩී බේරිලා තියෙන්නෙ වාසනාවට... මොකද යකෝ හිනා වෙන්නේ... බොරු? බොරු නෙවෙයි, මිනිහෝ. මම මේ ඉන්නෙත් දිසානායකලගේ ගෙදර.” නෙවිල් ජංගමයා මගේ මුහුණට ළං කරයි. “බොරු නං බලා ගන්නවා.”

“අම්මට සිරි! ඇත්ත නේන්නං. මොකද නිදි වුණේ?”
“මට අමාරුයි. නෙවිල් විස්තරේ කියයි.”

හීනෙකින්වත් හිතා ගන්නට බැරි විනාශකාරී ඇබැද්දියක් කඩා පාත් වුණේ ඒ වේලාවේය. ‘ලෑස්ති වෙයං!’ නහය  කිව්වේය. On your mark- Get set...
Go කියවෙන්නටත් කලින් කිවිසුම ආවේය. හ්..හ්..හ..හ..හ..හච්චිං!

එතෙක් වෙලා නොතිබුණු ‘සුළුදිය පහ කිරීමේ අවශ්‍යතාවක්’ මට ඇති වුණේ කිවිසුම යනවාත් එක්කමය.
කියන්නත් මොකක්ද වගෙය. අවශ්‍යතාව දැනෙන්නටත් කලින් සුළුදිය ස්වල්පයක් පහ වෙලා වගෙත්ය... කොයිකටත් කියල මම සරම මාරු කර ගත්තා!

අයස්මන්ත මහත්තය ආවෙ තව බෙහෙත් වගයකුත් අරගෙන.

“කෝ බලමු, වෙලා තියෙන හරිය... හොඳ වෙලාවට ෆ්‍රැක්චර්ස් නං මොකුත් වෙලා නැහැ වගෙයි. Pain එක වැඩි වෙනවා නං අපි එක්ස්රේ එකක් අරගෙන බලමු. මෙතැන පේන් කිලර්ස් එකකුත් තියෙනවා. බෙහෙත් බිව්වම කැක්කුම අඩු වෙලා නින්ද යයි. බලපං නෙවිල්, එක ගොන් biජ්ජෙක් හින්දා වෙන ජරමර...”

“මමත් කිය-කියා හිටියෙ පීරා, මේ යකා දැනගන්න එපැයි දැන් මෙයා මැන්ටලයක් බව. ලෙඩෙක් බව. මිනිහා අද නං කට වහගෙන ඉන්නවා, පාන් කියාගන්නවත් පණ නැතිව. මේ බේත් ටික අපි දවසක් දෙකක් පරක්කු කරලම දිසානායකට දෙමුද මචං?” (සභාවේ සිනා.)

“විහිලු නෙවෙයි මචං. උඹ දන්නවද- නිමල් අයියගෙ ඇටකටුවල බිඳීමක් වෙලා නං එහෙම පොරට මාස හයක්වත් ඇඳේම තපින්නයි වෙන්නේ. ඔව් නිමල් අයියේ. සෙල්ලං නෙවෙයි. එහෙම දෙයක් වුණෝතින් අපි කී දෙනෙකුට පරිප්පු කන්න වෙනවද? එහෙනං මානෙල්ට තමයි අම්මටයි, නැන්දම්මටයි කර ගැහුවා වගේ මේ අලුත් ලෙඩාටත් කර ගහන්න වෙන්නේ...
නාන වෙලාවට මොන එහෙකටද යුෂ්මතා  ෆෝන් එකට දුවන්නේ? අත්‍යවශ්‍ය කෙනෙක් නං ආපහු කෝල් එක ගනියිනේ.” පීරිස් මහතා කීවේය.

ලොකා කැමති එයාට ඕන විදිහට නිදහසේ ඉන්නයි...

ඒ ප්‍රශ්නයට හොඳම විසඳුම යෝජනා කළේ මානෙල්ය.
දවසකට දෙකකට සෑහෙන තරමේ කෑම ගොඩකුත් හදාගෙනය, මානි රෝසිත් හිමන්‍යාත් එක්ක පසුවදා උදෙන්ම ආවේ.

“ලොකාට තියෙන්නෙ නාන්න යනකොට ෆෝන් එක උස්සල පැත්තකින් තියන්න...”
“නෑ නෑ... මීට පස්සෙ නාන වෙලාවට කොච්චර rings ගියත් මං කලබල වෙන්නෑ!”

“කලබල වෙලා තියෙන හරිය මදැයි ලොකු මාමේ. මේ... පිටේ පැත්තක්ම නිල් වෙලා...” තෙල් සාත්තුවක් කරන ගමන් රෝසි කිව්වේ හූල්ලමින්. “අම්මේ, අපි ලොකු මාමාව දවස් දෙක-තුනකට හරි අපේ ගෙදර එක්ක යංද?”

“ඔය දන්නෙ නෑ රෝසි, මම කී පාරක් ලොකාට කිව්වද කියලා එහෙ ඇවිත් ඉන්න. පොඩි අයියත් කොච්චර කියනවද? අපි කාටවත්ම ලොකාව බරක් නෙවෙයි... ඒත් අපිට තේරෙනව- ලොකා කැමති එයාට ඕන විදිහට නිදහසේ ඉන්නයි... ලොකු මාමටම හිතුණොත් අපිත් එක්ක ඉන්න එයිනේ, රෝසි.”

ඉතිං...ඒ දෙදොහේ; මාර්තු 1- 2 දෙදිනේ ජරමර නම් හිතාදර පාඨක ඔබ සැමට කියා අහවරය. ඒත් ජරමරය ඉවර නැත. ප්‍රතිකාර ඉවර නැත!
සංසාරේ හැටි එහෙමය.
හතලිහේදී 14වෙනි කොටස වෙනුවට මේ පෝස්ටුව ලිව්වේ, මේ ජරමරය හිංදා ලිවීමේ වේගය අඩු වෙන විත්තිය- ඊට හේතුවෙන කරුණුත් සමඟම ඔබට කියන්නටය.

එහෙම වුණත් මගේ කෙටිකාලීන බලාපොරොත්තුව නම් ඉතා ඉක්මනින්ම ඊළඟ පෝස්ටුව අකුරු කරන්නටය.
මගේ දිගුකාලීන බලාපොරොත්තුවලින් එකක් වන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකාහි කොන්ද' තව තවත් ශක්තිමත් වී කාර්යක්ෂමව පෙරටම යනු දැකීමය෴0෴

45 comments:

  1. නිදී මහතාට ඉක්මන් සුවය පතමි. ඒ අතරම අර කියපු කෝප්, හෝප් යනාදී කමිටුවල හොයාගන්න දේවල් හොයාගැනීමෙන් ඔබ්බට යන්නැත්තේ ඇයි දන්නෑ. කරපු උං ආඩම්බරයෙන් උදම් අනනවා ඇති අන්න අපේ වැඩ! කියලා.

    ReplyDelete
    Replies
    1. මේවා එලියට ඇදීම හොඳ දෙයක් වුනත්, කිසිම වගකීමක්/දඞුවමක් ඇති බවක් පේන්න නෑ. කොහොමත් අපේ සමාජය හොරකම උත්කර්ෂයට පත් කරනවා. "ගේමක් ගසා ගොඩ යෑම" යනුවෙන් කියවෙන්නෙ ඒක බව මගේ අදහසයි.

      වරක් මම ඇහුවා මර්වින් සිල්වාගේ හඞ පටයක්, කප්පම් දීම ප්‍රමාද කල වෙලඳුන්ට තර්ජනය කරන හැටි. දේසපාලුවො විතරක් නෙමෙයි රටේම ඉන්න හොරු.

      Delete
    2. Litseeker,
      ස්තුතියි කියලා ඉන්නංකො ඉස්සෙල්ලම.

      කෝප් කමිටුවට එහෙම බලය තියෙන්නෙ විමර්ශන කටයුතුවලට විතරයි නේද? නඩු පැවරීමේ බලය ඔව්නට නැති බවයි කියවෙන්නේ. ඒ සඳහා නීති සකසන්නට යන විත්තියත් ආරංචියි...

      Delete
    3. නරිමොටා මහත්තයෝ, අමුතු ඇටේ හැඩ ගැහිලා- හැඩ ගහන්නට පුරුදු කරල තිබ්බේ 'ඔක්කොම කනපිට'ට වගෙයිනෙ.
      අලුත් පත්තිරිප්පු අනුරුවක් හදපු වෙලාවේ කොහොමද මර්වින් මහත්තයා නඩුකාරයෙක් වුණේ? මතක ඇතිනෙ.
      ඒ එපා. කොහොමද දේශබන්දු තාම හැංගිලා ඉන්න හැටි...
      නමුත් දැන් ටිකෙන් ටික රට පීල්ලට වැටෙන බවයි මගේ අදහස.

      Delete
    4. @ Litseeker

      මේවා සේරම බොරු මාධ්‍ය සංදර්ශන විතරයි වර්තමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ලොක්කෝ සේරම රාජපක්ෂ හොර පවුල සහ උන්ගේ හොර රැල වගේම එජාප සජබ වික්‍රමසිංහ ප්‍රේමදාස සොරමුල ඇතුලු බහුතර හොරු සේරම එක්ක යටින් හොඳම මිතුරෝ. බොරුවට වේදිකාවල බොරු බයිලා සංදර්ශන පෙන්නවනවා අන්තිමට ඔය එකෙකූටවත් මොකුත් වෙන්‍නේ නෑ, මෝඩ බයියෝ (ජෙබයියෝ/ සජබයියෝ, සිලින්ඩර බයියෝ සහ රාජපක්ෂ බයියෝ) රවටන්නට ආතල් දෙන එක විතරයි අන්තිමට මොනවත් වෙන්‍නේ නෑ, දාර වහල්ලු වෙච්ච ජෙබයි මීහරක් සූළුතර හැත්ත ඉබේ චූන් වෙලා සුරතාන්තයට පත්වීම පමණයි. අන්තිමට ඡන්දය දුන් අපි වගේ මැදහත් උන්ටනම් මුන් සේරම එපාවෙලා 😪

      Delete
  2. නිදීට ඉක්මන් සුවය!. අවාසනාවන්ත සිදුවීමක් වුනත්, ඉතාමත් රසවත් , වටිනා කතිකාවකට තොරතුරු පිරි ලිපියක්. මගෙන් විසඳුම:
    Cordless Phone with Answering Machine

    ReplyDelete
    Replies
    1. අයිඩියාවට ස්තුතියි නරිමොටෝ!

      Delete
  3. හැකි තරම් කාළයක් ස්වාධීනව සිටීමේ, නිදිගේ ප්‍රතිපත්තිය මමත් අනුමත කරනවා. නිදිට නෑඳෑ-හිතමිත්‍ර සංග්‍රහ සම්පත්තිය නොඅඩුව ලැබෙන්නේත්, ඒ අනුන්ට අඩුම ඇණයක් වීමේ ගතිගුණය නිසා වෙන්නත් ඇහැකි.

    ඒත් අලංකාරය මිස, ප්‍රයෝජනයක් නොපෙනෙන නිදි ඉල්ලලම දාගත්ත "WAl ප්‍රියන්තගේ පඩි තුන", ප්‍රවංක දශකයට වඩා කැඩුම්-බිඳුම් අංසෙට මිත්‍රශීලී බව මගේ හැඟීමයි.

    පඩි තුන දැන් මැකිය නොහැකි නිසා, හෑන්ඩ් රේල් එකක් වගේ එකක් ප්‍රයෝජනවත් විය හැක.

    - පාරෙ තොටේදී පවා "සුරුස්" ගා යන්නට පහසුකම් සලසන වින්ටර් නරියෙක්ගේ සතපහ-

    ReplyDelete
    Replies
    1. ඔව් නරිමොටෝ, අතපය වාරු නැතිව- තමන්ගේ කටයුතු තමන්ට කර ගන්න බැරි වෙනකන් ඉන්න මගේ නං කිසිම කැමැත්තක් නෑ. මගේ එකම පැතුම හදිසි- පහසු- සුවදායී මරණයක්. මේ දවස්වල එයට පෙර සූදානම් වෙමින් (බොහෝ දේ අත් හැර දමමින්) ඉන්නේ.
      පෙරේදා රාත්‍රියේ ප්‍රියන්ත හිතවතා පවුලේ අයත් එක්ක මගේ සුවදුක් බලන්නට ආවා. එතකොටත් අපි කතා වුණේ මිනිස්සු අනාගතය ගැන උපකල්පනය නොකර ගහන plan ගැන. අපි හිතන්නේ සදාකාලිකව තරුණව හයි හත්තිය ඇතිව ඉන්නවා වගෙයිනෙ!
      ඇත්තමයි- ගෙවල් හදන අය තව ගොඩාරියක් හිතල සැලසුම් ගහනවා නං...

      Delete
  4. Please take an extra caution. God bless you.

    ReplyDelete
    Replies
    1. ඔව් මහත්තයෝ, දැන් මං ඇවිදින්නෙත් පියවර පනිමින්... එක්තැන් වෙන්න නං බයයි. ඒකයි!
      සුපැතුමට ස්තුතියි!

      Delete
    2. සමාවෙන්න, පියවර පනිමින් නෙවෙයි- පියවර මනිමින්.

      Delete
  5. නමියාව කොටියා කන්න එපැයි.. මේකා ඊයෙත් මාත් එක්ක කතා කරලත් නිදි ලොක්කාට වෙච්චි ඇබැද්දිය කිව්වේ නෑ නොවැ..
    ඔය වාගේ ගෙවල් වල පඩි දාලා හදද්දී කවුද හිතන්නේ නාකි උනාම මේවා අපිටම කරදරයක් අනතුරක් හෝ මරනයක් ගෙන දෙන්න පුලුවන් කියලා..
    ඉක්මනින් සුව වේවායි පතමි ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසංග මහත්තයෝ.
      දන්නවනේ- නමී එච්චර චතුර කතාකාරයෙක් නොවෙන විත්තිය. එයාව අවුස්සන්න දන්නේ නෙවිල්ල තමයි!
      අපි වගේ මිනිස්සු ගෙවල් දෙක දෙක හදනවයැ අසංග. ඒ අතින් 'දුර දිග හිතන්න' අපි දෙන්නටම දැන් ඉඩක් නැහැනෙ!

      Delete
    2. කොලොම්පූර් ගණන් ගන්ට කාරි නැතුවා!
      කියන්න කියන පණිවිඩත් සමහර වෙලාවට මට මිස් වෙනව හිටං 😁

      Delete
    3. ඒවා ගැන ඇහුවොත් ඩාම් වෙනවා - ඩුම් වෙනවා තමයි කියනවා, අසංග.

      Delete
  6. අහා, එතකොට අත්වැටත් තියෙද්දියි, නිදි උපාසක තරුණ මහතා, බාගෙට තුවායත් ඇඳන්, වතුර බේරි-බේරී ටයිල් පොලවේ අයිස් ස්කේටින් කරන්න ගියේ?
    😮
    එකාතකට බැනලා වැඩකුත් නෑ. අමතක වීම කියන්නෙ ජීවිතයේ එක පරිච්චේදයක්. ඒකට ගැලපෙන විදිහට පරිසරය සහ එදිනෙදා කටයුතු කලමණා කරනය කරගන්න එක හැරෙන්න වෙන විකල්පයක් නෑ. ඔය වගේම තමයි වොෂ් රූම් එකේ වැටීමත්. වතුර, සබන් ටයිල් සහ බාත් ටබ් එච්චරම හොඳ සුසංයෝග නෙමෙයි. පොඩියට හරි එහෙන්-මෙහෙන් අත්-වැටවල් ටිකක් හයි කර ගත්තොත්, අඩුම ගානෙ අල්ල ගන්න තැනක්වත් තියනවා. අත්-වැටවල් ඒ හැටි ගණන් වෙන්න බෑ. දවසට දෙපාරක් නාන නිදිට ඒක ප්‍රයෝජනවත් ආයෝජනයක් වේවි.

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සා මහත්තයෝ. මෝඩකමට බෙහෙත් නැහැනෙ.
      මේ ජනවාරි 30 වෙනිදත් මාව ඔය පඩි පෙළ උඩට වැටුණා. නාල එද්දී හෙම නෙවෙයි. වැටුණේ ක්ලාන්තයක් ඇවිත්ද- වැටුණු නිසා ක්ලාන්තයක් ඇවිත්ද කියල තාම හිතා ගන්න බැරිවයි ඉන්නේ.
      සර්ප්‍රයිස් උපන් දිනේට ලංකාවට ආවාමත් දීපාල් මල්ලියා ඇහුව බාත්රූම් එකේ හැන්ඩ්ල්ස් දෙක තුනක් හයි කරමුද කියලා. එතකොටත් මං කැමැත්ත දුන්නේ නෑ.
      (ලොකුම ප්‍රශ්නයකුත් එන විදිහයි පෙනෙන්නේ- ජාත්‍යන්තරෙත් සහයෙන්. ඊයේ නෙවිල්ගෙන් වෙන කෙනෙකුට කියැවෙනව ඇහුන. මාව ගෙදරින් විතැන් කරන්න හරි- ගෙදර රැකවල්කරුවෙක් යොදන්න හරි.)
      තවම එච්චර වැටිලා නැහැනෙ. එහෙම පේනවද?

      Delete
    2. මෝඩ කමට වඩා නරකයි මුරන්ඩුකම. අර දීපාල්ගෙ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම අයිති ඒකට. දැන් ඉතිං පොලියත් එක්ක තමයි ගෙවන්න වෙන්නෙ. ඒ නිසා දැන්වත් හිතල බලල, අනිත් අයගෙ අදහසුත් අරගෙන පියවරක් ගන්න බලන්න. Prevention is better than cure.

      ගෙදරින් විතැන් කලොත් නිදිගෙ නිදහස/හිතේ සහනය නැති වෙන්න ඉඩ තියනවා. තව මනුස්ස පරාණයක් තනියට ඉන්න එක හොඳ දෙයක් වුනත්, ලංකාවෙ අයගෙ සහ නිදිගෙ ගතිගුණ අනුව ගැලපෙන රැකවල්කරු හොයන් එක ලේසි වෙන එකක් නැති වෙයි නේද?

      Delete
    3. මොළේ තියෙන්නෙ පස්ස පැත්තට බැහැලා නිසා ඒක පෑදෙන්න නං වැටිල තැලෙන්නම එපැයි බකුසුතුමෝ!
      වැටිල්ලෙන් වෙච්ච ලොකුම හොඳේ ඒකයි!!

      ගෙදර අය දන්නවා මම ඇට ගෙම්බෙක් වගේ විත්තිය- ගෙටම වැදෙන. ඒකයි මං ගෙදරින් විතැන් වෙන්න අකමැති.
      ගොඩාක් ස්වාධීනව දිගම දිග කාලයක් තනියෙන් හිටියම හරි අමාරුයි බස්සා මහත්තයෝ, වෙනස් වෙන්න. නාඳුනන නෙවෙයි හඳුනන රැකවල්කරුවෙක් එක්ක වුණත් ඉන්න අමාරු ඒකයි.
      බලමුකෝ- මම එච්චරටම අවාසනාවන්ත නෑනේ!

      Delete
  7. Get well soon Nimal.

    තනියම ජීවත් වෙන වැඩිහිටි අයගෙ ගෙවල් වල ඒ අය වැටෙන්න එහෙම තියෙන අවදානම් පරීක්ශා කරලා, ඒවා අඩු කරන්න උදව් කරන සේවාවන් මේ වගේ රටවල තියෙනවා. පුලුවන් තරම් කල් ස්වාධීනව ඉන්නනෙ ඒගොල්ලො කැමති. ලංකාවෙ එහෙම සේවාවන් නැත්ද.

    “තමුසෙගෙ චීත්තවාහිනිය ලියාගන්නත් බැරිද?” නෙවිල් තමයි හරිම ප්‍රශ්ණ අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus!
      ඔයා ලංකාවේ ඉඳලම නැද්ද ලෝටස්. මෙහෙ සේවාවන් ගැන අහන්නේ... හැබැයි -දැන් හුඟක් දේවල් වෙනස් කෙරෙනව.
      දකින්න ඇතිනෙ අපේ පළමු දෘෂ්‍යාබාධිත මන්ත්‍රීතුමා ගැන දයාසිරි මහත්තයාගේ 'දයාවකුත් නැති- සිරියාවකුත් නැති' කතාව.

      Delete
    2. Lotus, නෙවිල්ල- අයස්මන්තල හෙම බ්ලොගය කියවන්නේ නැතිවම තමයි අරහෙම 'චීත්තවාහිනී' කියල පාච්චල් කරන්නේ!

      Delete
    3. "ඔයා ලංකාවේ ඉඳලම නැද්ද ලෝටස්. මෙහෙ සේවාවන් ගැන අහන්නේ..." හා හා හා... 😍 නෑ මම ඇහුවෙ ඉතින් ඒ වගේ සේවාවන් සැපයෙන එක හොඳ නිසා. හැබැයි ඉතින් ලංකාවෙ ගොඩක් වැඩිහිටි අය දිගටම දරුවො එක්ක ඉන්නවනේ. ස්වාදීන වෙනවා අඩුයි නේද, කොහොමත් එහෙම වෙන්නත් අමාරුයිනෙ.

      Delete
  8. මට නම් ඔය බර වචන තේරෙන්නේ නෑ. මට මතක මිහිරානි නිතරම අඬන කෙනෙක් විදියට (ලාහිරු 1000 එකේ). අපේ මේ වෙට් බාත්රූම් වැඩේ නම් අන්තිම බයානකයි, ලංකාවේ බාත්රූම් අනතුරු ඉතා වැඩයි. පරණ තුවා දෙකක් දාල හරි වේලලා තියන එක ඇඟට ගුණයි. ඔයින් ගියා මදැයි වැට අස්සෙත් වෙලා කිව්වලු (ඇට කටු කැඩුනානම් වැඩේ කිරිමෙල්)

    ඔය හුඟක් දේශපාලුවෝ මුලදී වැදගත් බබාල (මහින්ද උනත් ආව කාලේ එහෙමලු) දැන් ඉන්න අයත් පළපුරුද්ද ගන්නකොට බලමු. හිටපු පාලකයෝගේ නාස්තිය/ගසාකෑම එමටයි. එහෙම උනත් 2.50 පෙට්රෝල් ෂෙඩ් ගැන වගේ පුවත් මවන්නේ නැතුව රට දියුණු කරන්න වැඩක් කරා නම් වඩා වටිනවා.

    මතකද මම ලංකාවේ කිරිගොවිපොළක් කරනවා කිව්වා, එකට රජයෙන් කරගෙන ආව අවම සේවය දැන් බින්දුව වෙලා තියෙන්නේ. මේවා ගැන බලාපොරොත්තුවෙන් හිටපු උගත් තරුණයෝ කලකිරිලා ඉන්නේ. මම නම් ලොකු දේවල් බලාපොරොත්තුවෙන් හිටියේ නෑ (කව්රු ආවත් රජය නේ)

    මිනිස්සුන්ගේ පුද්ගලික ගෙවල් ගිනිතියන එක ආණ්ඩුවේ බස්, ට්‍රාන්ස්පොමර්, සමුපකාර, තැපැල් කන්තෝරු ගිනිතියනවා වගේද? පියා දේශපලුවෙක් කියලා ගැණු සහ ළමයි ජීවත් වෙන ගෙවල් ගිණිතියන එක අරගලයද? (මේවා බාල වැඩ, දොස්තර ජයතුංග කියන හීනමාන ඇරියස් කවර් කිරීම්) වන්දි ගෙවන එක වැරදිද? ගිනිතිව්ව එවුන් හරිද? (ගෙව්ව ගණන් එස්තමෙන්ටු හරිද මම දන්නේ නෑ)

    මම ව්ජෙබාහු

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි විජේබාහු මහත්තයෝ. ඔයා හරි. ලංකාවේ බාත්රූම් අනතුරු වැඩියි. නෑවාට පස්සේ බාත්රූම් එකේ බිම පිසදාන්න මං පරණ තුවා දෙකක්ම තියා ගෙන ඉන්නේ.
      ඇටකටු කැඩුනොත් ඇඳේම ඉන්න වුනොත් නං...

      දැන් නෙවිල්ලගේ පුංචි අම්මාත්, අයස්මන්ත මහත්තයාගේ අම්මත් දෙන්නම ඩිමෙන්ශියාවෙන් පෙලෙන අය. බිම වැටීම්වලටත් ගොදුරු වුනු අය.
      මේ තත්ත්වය උග්‍ර ප්‍රශ්නයක් වෙමින් යනවා වගෙයි.

      Delete
    2. මහින්ද රාජපක්ෂ මහතා ජනඝෝෂා පා ගමන කරද්දී මාත් පමුණුව පාරට බැස්සා අපේ ලේන් එකේ අයවත් කැන්දාගෙන. ඒ එවක තිබුණු තත්ත්වයට අනුවයි.
      CBK වුණත් පැවති තත්ත්වයට හොඳ විකල්පයක්. මෛත්‍රීපාල සිරිසේන වුනත් එහෙමයි. විජේබාහු මහත්තයා කියනවා වගේ ඒ බබාලා සේරම 'දත් එද්දී නෙව නරක වෙන්න ගත්තේ.'
      මං හිතන්නේ 'බලය දූෂණය කරයි- වැඩි බලය වැඩි වැඩියෙන් දූෂණය කරයි' කියන කතාව සහතික ඇත්ත.

      Delete
    3. විජේබාහු මහත්තයෝ, නිකමට බලන්න කෝප් කමිටුවේ විමර්ශනයක් ගැන වීඩියෝවක්. මට
      ඒකෙදි පෙනෙන්නේ සිද්ද කරලා තියෙන අක්‍රමිකතා- ගැහිලි විතරක් නෙවෙයි, කිසිම බයක් නැතිව නිලධාරීන් අකටයුතු දේ කරල තියෙන හැටි. එහෙව් නිලධාරීන් එක්ක නේද නව රජයක් වුණත් වැඩ කළ යුත්තේ?

      Delete
    4. මට බලයක් තිබුණා නං මෙලහකටත් ඥාණක්කා ඇතුළු වන්දි ගත්තු සේරමගෙන් 'වත්කම් උපයා ගත්තු හැටි ගැන අහන්න' කටයුතු කරලා.

      අපේ රටේ බලධාරීන්ට ඕනි කොමිස්. නිලධාරීන්ට ඕනි සීතල කාමරවලට වෙලා ෂපාන් එකේ ඉඳලා ලක්ෂ ගණනින් වැටුප්. පුරවැසියන්ගෙන් වැඩි දෙනෙකුට ඕනි 'එවෙලේ වාසි'.

      ඒ වගේමයි, විජේබාහු මහත්තයෝ. අරගලයට ගැහුවේ කොහෙ ඉඳන් ආව අයද- ගහනකල් බලාගෙන හිටියෙ කවුද- එහෙම කරන්නට අණ දුන්නේ කවුද- තම-තමන්ගේ ගෙවල් ගිනි තියාගෙන පුංචි අලාභහානි කරගෙන කෝටි ගණන් වන්දි අරගෙන තියෙන අය ගැනත් හිතුවොත්....

      Delete
    5. විජේබාහු මහත්තයෝ. මෙහාට ඕනි කිරි ගවයෝ නෙවෙයි වගේ- දැනටමත් සුපිරි මොළකාර ගවයෝ ඉන්නවනෙ. උන්ව කොටු කර ගන්න මොළේ තියෙන ෂර්ලොක් හෝම්ස්ලයි මදි!
      වෙලාවක් තියෙ නං මේ විනාඩි දහයේ වීඩියෝව බලන්නකෝ.
      https://www.youtube.com/watch?v=GInoBlj9YCU

      Delete
    6. වැරදි කාරයෝ හොයලා නිසි දඬුවම් දීම වැරදි නෑ. නමුත් සල්ලි/කාලය කා දමන ගැලරි වැඩ වැඩක් නෑ. රට තවම බංකොලොත් කියන එක හැමෝටම අමතක වෙලා වගේ. IMF සල්ලි වලින් ගොඩ එන්න බෑ, අපි ඉක්මන් කරේ නැත්නම්. ආණ්ඩුව ඒ ගැන ප්‍රමුඛතාවයෙන් වැඩ කරන බවක් පෙන්න නෑ.

      මතකද යහපාලනය සුදු කොඩියටයි යකඩ කනුවටයි නඩු දදා අවරුදු 5 ගෙව්වා, රනිලම කිව්වා නේද FCID එකේ ෆඉල් ගොඩක්ම කවර විතරයි කියල. තජුඩීන්ව ගොඩ ගත්ත නේද? මොකද උනේ? උසාවිය/නීතිපති නඩු විසි කරන්නේ පවත්වා ගෙන යන්න සාක්කි නැති නිසා, එකට නීතිපතිට උඩින්/යටින් තව ආයතන පිටවල වැඩක් නෑ. මේවා තමයි සමජය නොමග යවන ගැලරි වැඩ. මෙදා පාර නම් වැඩේ හරි, කට්ටිය ගාලුමුවදොර එල්ලයි කියල මිනිස්සුත් උඩ බලාගෙන ඉන්නව කකුළුවා හිටිය වගේ . අපිට අබ සරණයි

      Delete
    7. යම් තරමකට මාත් ඔබ සමඟ එකඟයි Ano!

      Delete
    8. @ Wijebahu & Ano 2.53 PM

      බොහෝ දුරට ඔයාලා එක්ක එකඟයි. ලංකාවේ 2022 ගෝටාගෝහෝම් ගාලු මුවදොර අරගලයට වසරක් සම්පූර්ණ වීමෙන් පසු එම අරගලයේ feed back එකක් නොහොත් පශ්චාත් පරීක්ෂණයක් සුප්‍රසිද්ධ වෙරිටේ රිසර්ච් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළා. ඔවුන් මෙම පශ්චාත් පරීක්ෂණය කර ඇත්තේ ජනමත විමසුමකින්. එම ජනමත විමසුමට අරගලයට සක්‍රීය ලෙස සම්බන්ධ වූ විවිධ කණ්ඩායම් වලින් සහභාගී වූ 1,008 ක පමණ සැලකිය යුතු විවිධාංගීකරණය වූ පුරවැසි නියැදියකගෙන් 80% ක්ම පවසා ඇත්තේ අරගලයෙන් තමන් සැබැවින්ම බලාපොරොත්තු වූ දේ ඉටුව නැති බවයි.

      මමත් 2022 ලංකාවේ ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ වුණා, මගේ අත්දැකීම අනුව පොදුවේ ගත්තාම ලංකාවේ 2022 අරගලය ඉතාම අසංවිධානාත්මක එකමුතුවක්. මේ අරගලයට නායකයන් බොහෝ දෙනෙක් සිටියා. එසේම එම නායකයන්ගේ අරමුණු විවිධ විය. කෙසේහෝ ගෝඨාභය රාජපක්ෂ පලවාහැරීම එක් පිරිසකගේ අරමුණ විය. තව පිරිසකගේ අරමුණ වී තිබුණේ යූ ටියුබ්කාරයෙක් ජනාධිපති කරවීමයි. තවත් කට්ටියකට අවශ්‍යව තිබුණේ ඔවුන්ගේ හිතවතුන්ගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයකින් රට පාලනය කිරීමයි.

      එමෙන්ම අරගල භූමියට පැමිණ උදේ සිට සවස්වන තුරු කල්ගත කර නොමිලේ ලැබුණු ආහාරවලින් තුන් වේලම බඩ පුරවා ගැනීම තවත් කට්ටියකගේ උදරාභීලාෂය විය. තවත් අයට විවිධ අරමුණු තිබිණි. ඇතැම් කූඩාරමක කොස්ගොඩ සුජී නමැති පාතාල මැරයාගේ ගෝලයෝ ද වූහ. අරගලයේ නියම නායකත්වය හිමිවන්නේ ජනතා විමුක්ති පෙරමුණට ද නොඑසේ නම් පෙරටුගාමීන්ට ද යන ප්‍රශ්නය මතු විය. මේ අතර අරගලයට මූල්‍ය සහ සම්පත් දායකත්වය ලබාදී විශාල මෙහෙයක් මුලදී සිදුකල සමගි ජනබලවේගයේ නායකත්වය ජේ.වී.පී. එකෙන් සහ පෙරටුගාමීන්ගෙන් ගුටි කෑ අතර. මේ අරගලය සමාන වුණේ 1789 දී ආරම්භ වූ ප්‍රංශ විප්ලවයට බවයි මගේ අදහස.

      1789 ප්‍රංශ විප්ලවය එක දිගට දහ අවුරුද්දක් ඒ රටේ පැවති (නිර්ධන පංති) ආඥාදායකත්වයකට මුල පිරුවා. සාමාන්‍යයෙන් 1970 දක්වාම විප්ලවයක අරමුණ වුණේ නිර්ධන පන්ති ආඥා දායකත්වය බලයට ගෙන ඒමය. ඒත් ප්‍රංශ විප්ලවයේදී සැබැවින්ම සිදුවුණේ එක ධනපති පන්තියක බලය පැහැරගෙන තවත් ධනපති පන්තියකට භාර දීමයි. මේ හා සමාන තත්ත්වයක් වසර 2005 දී පමණ මාලදිවයිනේදී ඇති විය. එහි අරමුණ වූයේ ධනපති අබ්දුල් ගයුම්ගේ ආණ්ඩුව පලවා හැර වෙනත් ධනපතින් පිරිසක් විසින් ආණ්ඩුව අල්ලා ගැනීමයි.

      ලංකාවේ 2022 අරගලයේ එක ඉල්ලීමක හෙවත් ප්‍රධාන ඉල්ලීම ඉටු වූ අතර ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය අත්හැරියා. අවසන් මොහොතේදී ඔහු ත්‍රිවිධ හමුදාව පවා විශ්වාස නොකළේය. ත්‍රිවිධ හමුදාව ඔහුගේ ජීවිතය රැකදෙන බවක් ඔහුට පෙනුනේ නැත. ගෝඨාභය රටින් පලාගිය පසු නැවතත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක වීමට පටන්ගත් අතර මුලින් අගමැති බවටද පසුව ජනාධිපති බවට ද රනිල් වික්‍රමසිංහ පත් විය.

      ලංකාවේ ගෝටාගෝ අරගලය පටන් ගත්තේ සාම්ප්‍රදායික මාක්ස්වාදයට අනුව නිර්දන පන්ති ආඥාදායකත්වය බලගැන්වීමට නොවේ. එකල ඇතිවූ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ ලයිට් කැපිල්ල ඉවසා ගැනීමට බැරිවූ තැන ජනතාව මහපාරට පැමිණියා. එවිට වෙනත් දේශපාලන බළල් අත් විසින් ඒ ජනගහනය බා ගන්තා. මේ පිටුපස සිටි ඇතැමුන් මෙහෙයවා ඇත්තේ USAID, Clinton පදනම ආදී විදේශීය අරමුදල් මත විදේශ තානාපති කාර්යාල වල අවශ්‍යතාවය මත බවද සත්‍යක්

      කෙසේ හෝ එම අරගලයේ අවසන් වුවමනාව වුණේ දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තැබීම නම් එම අරමුණද යම් ප්‍රමාණයකින් සාර්ථක වූ බව පෙනෙන්නට තිබේ. එසේම අරගලයේ අරමුණ “ගෝඨා ගෝ හෝම්” නම් එම අරමුණ ද සාර්ථක වී තිබේ. අරගලයට සම්බන්ධ වු දේශපාලන පක්ෂවල නොවන බහුවිධ සාමාන්‍ය පොදු ජනතාවගේ අරමුණු නම් ඉෂ්ට වී නැති බව කණගාටුවෙන් වුවත් අරගලයට සම්බන්ධ වී සිටි අපද පිළිගත යුතුයි

      @ නිදිගෙ පංච තන්ත්‍රය

      ඔයා ඔය ආණ්ඩුවේ හොරණෑ විසින් පෙන්වන මෙලෝරහක් නැති දෙකයි පණහේ බොරු මෙගා නාට්‍යය සංදර්ශණ බලලා කාලය නාස්ති කරන එක නවත්තල අඩුම තරමේ අපේ විකියාගේ මේ පොඩි ක්ලිප් එක වත් බලන්න

      https://www.youtube.com/watch?v=GEijIMJHZRo

      මේකෙන් වත් සරලව තේරුම්ගන්න තරුණ පරපුරට ඇත්තටම අවශ්‍ය මොකක්ද රටේ ආර්ථික සංවර්ධනයට රජයක් විසින් ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ මොනවාද කියල.

      Delete
  9. මේ post එක කියවල මට වෙච්චි ඇබැද්දිය දැනගෙන 'ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලුම හිතවතුනට
    හා හිතවතියනට ගොඩාක් ගොඩක් ස්තුතියි!'

    ReplyDelete
  10. පයින්ඩේ ලැබිලත් වැඩිය සුවර් කරේ නෑ. මොකද අපිට වඩා සිහියෙන් නිදි ලොක්ක ඉන්ට හන්ද. වැටුනාය කීවමත් පුදුම උනා! ඉක්මන් සුව පතනවා...

    හානිපූර්ණ ගැන කියද්දී මතක් උනෙ. ගෑස් සිලින්ඩර් පුපුරලා වෙච්ච අලාභ -හානි ගැන උනත් කවුරුත් නෝ කතා. කාර්යක්ෂමතාව ඉතීම් අවධානය යොදන පැත්තට නෙව එතුමාලාගෙ. ඒ කාරණයත් එක්ක බලද්දී පේන්න තියෙන වැඩ එක්ක ආණ්ඩුවේ වැඩි අවධානය හොරු අල්ලන- නඩු අහන පැත්තට ගිහින් තියෙන හැඩයි වගෙ. ආර්ථිකය වගෙ කාරණා ගැන අඩු සැලකිල්ලක්ද මන්දත්!

    ReplyDelete
    Replies
    1. ගෑස් සිලින්ඩර් පුපුරලා මැරුණේ ජහමනයන් නෙව නමී. රටටම ගිනි අවුලුවලා එයිනුත් වාසි කඩාගන්න තමන්ගේම ගෙවල් ගිනි තියාගත්තේ කවුද කියලත් රටම දන්නවනෙ.
      මං හිතන්නේ මෙහෙම කුණු ඇවිස්සෙන්න ගත්තම- ගැලරිය චූන් වෙන්න ගත්තම එයිනුත් හොඳක් වෙනවා. නිකං තප්පු ලන්නෝ නිහඬ වෙනවා.

      Delete
  11. ඉක්මනින් සුව වෙන්න ප්‍රර්ථනා කරනවා නිදි උපාසක මහතාට . අපේ අම්මත් අවුරුද්දකට කලින් වැටුන කලබල වෙලා දුවන්න් ගිහින් පන්සලේ දාන සීට්ටුව ගන්න . තවම ඇඳේ . අපි දවල්ට එයා එක්ක ඉන්න කෙනෙකුට ගෙවනවා . මම හිතන්නේ නිදි ගේ නෑදෑයින්ට එහෙම carer කෙනෙක් ඇරෙන්ජ් කරල දෙන්න බැරි වෙයිද

    ReplyDelete
    Replies
    1. අනේ අජිත් මහත්තයෝ- මගේ වාසනාවට මට එච්චර එක්තැන් වෙන්න වෙන වැටිල්ලක් වුණේ නැහැනෙ. ඇටකටු කැඩුනේ නැහැනෙ. පිටේ - බඩේ තැන් තැන් තදට තැලිලා නිල් වෙලා විතරයි. ලොකුම පාඩුව හොඳට හිනා වෙනකොටත් ඒ තැන් ඇදුම් කන එකයි.
      රැකවලෙක් තියන්න- නැත්තං එයාලගේ ගෙදරකට එක්ක යන්න නංගිල මල්ලිලා එක පයින්ම ලෑස්තියි. මමනෙ අකමැති.

      Delete
  12. මොබයිල් ෆෝන් එක පාවිච්චි කරනවද දැන්?

    Pra Jay

    ReplyDelete
  13. @ නිමල් අංකල්

    මේ විදිහට ඉංග්‍රීසි කතා කරන්නේ මොන රටේ ද? මේ එංගලන්ත ඇක්සෙන්ට් එක ද?

    https://www.facebook.com/sachin.gunawardana.16/videos/3631645360454643/?app=fbl

    ReplyDelete
  14. මේ ක්ලිප් එකේ දී ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදී සේපාල් අමරසිංහ මහතා පෙන්වාදෙන ආකාරයට ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ විශ්වාසය බිඳවැටීමක් තියෙනවා නේද?

    https://m.youtube.com/watch?v=ut4GPR3_RAQ

    ඇත්තටම ආරක්ෂක අංශ වල ඉන්න අය දේශපාලන නායකත්වය දරන ආණ්ඩුවේ නායකත්වය දෙන නියෝග නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නැතිව ද? ඇත්තටම මොකක්ද මේ උඩ වීඩියෝ එකේ පෙන්වාදෙන කරුණු වලට හේතුව? ඔයාට මේ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන පැහැදිලි කරන්න තරම් මම දැනුමැත්තෙක් නෙවෙයිනෙ ලලිත්. කනගාටුයි ඒ ගැන- හොඳේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්