ඉස්සරෝම නම් ධම්ම පුස්තක රත්නයන් ඇතා පිට පෙරහරින් වැඩැම්මුවේ......... |
“අපේ සීයත් එක්ක සිල් ගන්න යනකොට මං පන්සිය
පනස් ජාතක පොත ගෞරවය වැඩිකමට ඔළුව උඩ තියාගෙනයි යන්නේ. මං ඒ පොත ඔළුව උඩ තියාගෙන
අත් දෙකෙන්ම අල්ලාගෙන යනකොට සමහරදාට මගෙ
සරම කඩාගෙන වැටෙනවා. ඒත් ඔළුව උඩ තියෙන්නේ ජාතක පොත නිසා මට සරම ඇඳගන්නවත්, පොත
බිමින් තියන්න බයයි.....”
තිරනාටක රචනයේ ප්‍රවීණයකුවූ
සෝමවීර සේනානායක මහතා වරක් ‘රාවයේ’ විමලනාත් වීරරත්නට කියා තිබිණි.
එපමණක් නොව සරම
කැඩී; වජු බිල්ලට එළිය වැටී තියෙද්දී වටේ හිටි කොලු-කුරුට්ටන් හූ තියද්දීවත් ‘බණ
පොත’ බිමට වැඩැම්මුවේ නැති බවත් එතුමා කියා තිබිණි.
බණ පිළිපදින්නේ නැතත් අපි ජාතියක් වශයෙන්ම
බණට කීකරු වන්නමෝ වම්හ! අපේ පාලකයන් වහන්සේලාත් අණ-පනත් පැනවීම පවා පමා කොට, එමඟම
යන්නෝ වෙත්හ.
මොන මඟුලක්ද බං මේ? හරකෙකුට වගේ ලණුවක් ගැට ගහල........ |
අපේ ආච්චිල-සීයලා, අම්මල-තාත්තලා ගුවන්
විදුලිය වටේ රොක්වී ඇහුවේ පැයේ ධර්ම දේශනාය. තවමත් ඒ පුරුද්ද අපට තියෙනවා
වෙන්නැතිය. ගොඩක්ම රසික-රසිකාවන් කරන්නේ ටෙලි නාට්‍යයත් අහන එකය.
වෙලාවක්, ඉඩක් හා ඩේටා තිබෙනවා නම් ‘වීරයා ගෙදර ඇවිත් Fan Club’ එකට ගිහින් බලන්න. රසිකයන් ටෙලියේ දෙබස්වලට කන් දෙන ගමන්ම වුණත්, පවත්නා වර්තමානයට ඒවා ගළපාගන්නා හැටි අපූරුය.
“මොන මඟුලක්ද බං මේ. හරකෙකුට ලණුවක් වගේ ගැට
ගහල.” බේබි නෝනාගේ කතාව ‘චමිල් ඉන්දික’ ප්‍රේක්ෂකයා
විනිවිද දැක ඇත්තේ මෙහෙමය. “මේකෙන් කියන්නෙ මේ රජය අපිව පාලනය කරන විදිහ තමා.”
ඒ කමෙන්ට් එකට ඉඳිගස්මුල්ලේ චන්දජෝති (හිමි) තවත් බර දමති. “ඒ ප්‍රහර්ශාත්මක ව්‍යංග්‍යය
හරි බරයි.”
අතිශයින් ජනප්‍රිය වුණු ‘මුවන් පැලැස්ස’
ගුවන් විදුලි මාලා නාට්‍යයේ බිනරමලී, කොමළි වැනි තුරුණු පෙම්වතියගේ චරිතයට දිගු
කලක් මුළුල්ලේ පණ දුන් නෙතලි නානායක්කාරට අඳ මවගේ චරිතය ටොයිස්ය. ඇය හඬින් මෙන්ම
ඉසියුම් භාව ප්‍රකාශනවලිනුත් උපරිම පල නෙලාගනියි.
අනෙක් සියලුම දෙනාගේත් දෙබස්
උච්චාරණය වගේම රංගනයත් කරට-කර කෙරෙන සටනකි.
දිනෙක හැරී බලද්දී ඔබට පෙනෙනු ඇත්තේ................. |
“ඉතාම සුළු දෙයක් වුවද හොඳින් විඳින්න. මන්ද
යත්, ඒවා සුවිසල් දේවල් බව දිනෙක හැරී බලද්දී ඔබට පසක් වෙනු නිසැකය.” මේ පරිවර්තනය
මගේය. අදහස ගත් කතුවරයකු වන කර්ට් වොනෙගට්ගේය.
මං එය හොරාගත්තේ හිතවත් දිලිප් ජනක කුමාරගේ fb
එකෙනි. (මෙහෙම අරුත්බර දේවල් හැමෝම එක්ක බෙදා-හදා ගන්නට මාත් කැමැතිය. එහෙම කරන
අනෙක් අයටත් ගොඩක් ස්තුතියි.)
දිලිප්ගෙන් අරන් තිබුණු ඒ උපුටනය මගේ සිහියට
ආවේ නිකම්ම නොවේ.
නාමල් සුදු-කළුවෙන් උපද්දන සුළු චරිතයකට වුණත් ආනන්ද අබේනායක
තෝරාගන්නේ ඒකටම උපන්නා වගේ කෙනෙකි. එහෙම හිතෙන්නේ ඔවුන්ගේ රඟපෑම් හින්දාමද,
නැතිනම් අධ්‍යක්ෂණයේ මහිමය හින්දාද කියන උභතෝකෝටිකය විසඳා ගැනීම රසිකයන්ටත් හොඳ
අභ්‍යාසයකි.
මේ රඟපෑම්වලට පිස්සු වැටී ඉන්නා
රසික-රසිකාවන් දැනටමත් ඊළඟ ටෙලි සම්මාන විනිසුරු මඬුලුවලට ස්වේච්ඡාවෙන්ම ස්වයං
පත්වීම් දීගෙනත් ඉවරය.
හොඳම නළුවා- රොෂාන් රවීන්ද්‍ර, හොඳම නිළිය- චාන්දනී
සෙනෙවිරත්න හරි ජයනි සේනානායක හරි. නෙතලි තමයි හොඳම සහාය නිළිය. මේ ටෙලියෙන්ම
වුණත් ඉදිරි කොටස්වලදී තව චරිත පිවිසෙන්නට ඉඩ නැතිද? ඔවුන් අනාවැකි කියන්නේ ඒවා
නොතකාය.
අවුරුද්දෙන් බාගයක් යන්නටත් කලින් වසරේ හොඳම නළු-නිළියන් තෝරන්නට ඇහැකිද? |
හැබැයි, තවමත් හොඳම තිරනාටක රචකයා හෝ අධ්‍යක්ෂ
හෝ තීරණය කරන්නට මෙයාලට අමතකවෙලාය. එයාල වැදගත් නැත්ද?
කෙටිකතාවක්, නවකතාවක් එහි කතුවරයාගේ දස්කම
කියාපායි. වේදිකා නාට්‍යයක් එහි අධ්‍යක්ෂවරයාගේ මෙන්ම සාමූහික ශිල්පීන් රැසකගේ ප්‍රතිභාව
පෙන්වයි. එහි නළු-නිළියන් හිටි ගමන් දර්ශනයකදී, වේදිකාව මත කොතරම් දුර්වල ලෙස
රඟපෑවත් අදියුරුට කරන්නට දෙයක් නැත.
ඒත් ටෙලියක හෝ චිත්‍රපටයක ‘සියලු බලතල හිමි
නිසි බලධරයා; සොඳුරු ආඥාදායකයා’ වන්නේ අධ්‍යක්ෂය. දර්ශනයක රඟපෑම් හොඳ නැති නම්,
කැමරාකරණයේ දුබලකම් ඇති නම් ..... තමා සෑහීමට පත් නොවෙන දේ බැහැර කරන්නට, යළි
කරවන්නට ඔහුට හැකිය!
ඒ අටුවාව කිව්වේ film director කෙනෙකුගේ සීමාවන් කෙතරම්
පුළුල්ද කියා කියන්නටය. අප ඒ නිර්මාණය දකින්නේ ඔහුට රුචි ආකාරයටය. ඔහුගේ දෙනෙතිනි.
“අධ්‍යක්ෂ විදියට අහවලාගේ නම තිබ්බට ඒක ඩිරෙක්ට්
කළේ මං.” සමහරුන් ප්‍රසිද්ධියේ කියන්නේ පස්සේ කාලෙකය; අපේ රටේය.
එහෙම වෙන්නට ඇත්තේ
නිසි හැකියාවක් නැති; සවිමත් කශේරුකාවක් නැති; අදියුරු නමටත් නිගා ගෙනදෙන අය ඒ
පට්ටම බාරගත් වෙලාවක වෙන්නටත් පුළුවන්ය.
චණ්ඩි පුතා අධ්‍යක්ෂණය කාගේද කියලා නාමාවලියෙවත් නොතිබිණි! |
දවස් 366ක් තිබුණු අධික අවුරුද්දකට පස්සේ
අවුරුද්දේ, සිංහල සිනමා වංශාවලියේ 366 වෙනි චිත්‍රපටය තිරගත වුණේය. ඒ 1977 අගෝස්තු
19 වෙනිදාය.
අතිසාර්ථකව තිරගතවූ, ආදායම් වාර්තාත් තැබූ ඒ film එකේ රඟපෑවේ ගාමිණී
ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, මර්වින් ජයතුංග ඇතුළු පිරිසකි. ආරියරත්න පෙරේරා මහතා
නිෂ්පාදනය කළ ‘චණ්ඩි පුතා’ ෆිලුමේ නාමාවලියේ අදියුරු කෙනෙක් හිටියේ නැත.
මගේ මතකය නිවැරැදි නම්, සමහර පත්තර වාර්තාවල අධ්‍යක්ෂ කෙනෙකුගේ නම තිබිණි. ඔන්න දැන්මම කියමි. නම හොයාගන්නට මීට වැඩිය
රුකුල් නම් දෙන්නේ නැත. ‘සෝ.ලී.’
මුල ඉඳලාම මේ අදියුරුතුමා නම් ඔහුගේ අනන්‍යතාව
ප්‍රකට කළේය. මගේ මතකය කියන විදියට ‘නන්නාඳුනන්නී’ එකේ සිට.
ආනන්ද අබේනායක කිව්වාම
මා ඔහුගේ ටෙලියක් මඟ හරින්නේ නැතැයි ගියවර පෝස්ටුවෙදීම කීවෙමි. ආනන්ද- නාමල්
සුසංයෝගය හිට් වෙන්නට රොෂාන් රවීන්ද්‍රත්, චාන්දනී සෙනෙවිරත්නත් එකතු වෙන්නට ඕනෑය.
රොෂාන් අන්ධ චාමරට ඇක්ට් කරන්නේ හැබෑම අන්ධයකු වගෙය....... හිටි ගමන් මුහුණ ඔසවා,
හැඟීම් විරහිත දෙනෙත් දල්වා බලන අර බැල්ම......
හිටි ගමන් මුහුණ ඔසොවා හැඟීම් විරහිත දෙනෙතින් හෙළන බැල්ම! |
අප්‍රේල් 22 වෙනිදා විකාශය වුණු කොටස නරඹා, තමරා
වීරසේකර රසිකාවිය මෙහෙම කඩුවෙන් වනා තිබිණි. “I like this part the most. See
who can say that he is not blind. Roshan, you are a very talented
actor....!!!!!”.
නිමේන්ද්‍ර මධුමාධව පෙරේරා ප්‍රේක්ෂකයාත් ඒකට
අලගු තියයි.
“ඒක ගැන හිතන්න දෙයක් නෑ. අපේ මස්සිනා වැඩිය නළු-නිළියෝ ගැන දන්නා
එකෙක් නෙමේ. එයා ටිකක් වෙල බලන් ඉඳල අහනවා මේ ඇත්තටම හමුදාවේ හිටපු කොල්ලෙක් වෙන්න
ඇති නේද කියලා. ඌ මෙච්චර කල් හිතලා තියෙන්නෙ ඇත්තටම ඇස් පේන්නේ නැති පොරක් කියලා.”
අපේ රටේ ‘කාස්ටින් මැනේජර්ස්ලා’ නැති බව මගේ
දැනීමයි.
එහෙම වුණත් ආනන්ද මහත්තයා චරිතවලට හරියටම හරි යන අය විතරක් ගන්න පාටය පෙනෙන්නේ.
චූටිම චරිතයක් වුණත් අපේ බොක්කටම වදින්නේ ඒ හින්දාය. එයාලාගෙන් ඕනෑ කරන හරිය අඹරා;
මිරිකා; පෙරා ගන්නට ආනන්ද අබේනායක සමත්ය.
සාක්කි ඕනේ නම් සුමිත්‍රාගේ කඩේට එන
කෙල්ලන් දෙන්නා ‘වීරයා’ ගැන උනන්දු වෙන දර්ශනය බලන්න. එදා රසිකයන් දමා තිබුණු
කමෙන්ට්ස් හෙමත් කියවන්න. (දිනය- කීවෙනි කොටසද කියලා නොලියනවාට තරහ වෙන්න එපා. මෙහෙම
ලියන්නට හිතෙයි කියලා දන්නවා නම් ඒවා ගැන සටහනක්වත් දමා, තියාගන්නවාය.)
ඔහොම බලද්දී ‘වීරයා’ ටෙලියේ ඉතාම සුළු
චරිතයක් නිරූපණය කරන්නා වුවද ඒකේ රඟන්නේ නැත; චරිතයේ ජීවත් වෙනවා මිස! එය පහසු
වෙන්නේ පිටපත මැනවින් රචනා කොට තිබෙන නිසාය. මවා ඇති චරිත අස්වාභාවික නොවෙන නිසාය.
එයාලා අපේ ගෙදර- අල්ලපු වැටේ- අපේ ගෙවල් පාරේ- ටවුමේ- කඩයේ ඉන්නා අය හින්දාය.
එයාලා එක්ක අප ආදරයෙන් බැඳෙන්නේ; තරහ ගන්නේ; හිනා නඟන්නේ; හඬා වැටෙන්නේ ඒ නිසාමය.
අවට ලෝකය උකුසු ඇසින් බලන නාමල් ජයසිංහ දකින සියලු දෙය............... |
රේණුකා අත්තනායක හිරිපිටිය රසිකාවිය මැයි 5
වෙනිදා කියා තිබුණේ අපූරු කතාවකි. “මගේ අම්මා මේ විදිහමයි. පෙනුමත් මේ වගේමයි.
කතාකරන දේවල් ඔක්කොම මේවමයි. ඇත්තටම කොහොමද එහෙම උනේ?”
නාමල් අවට ලෝකය නිරීක්ෂණය කොට ධාරණය කරගෙන
තිබෙන මතක හිමාලයක මහිමය නිසා එහෙම වෙනවා කියන එකය; මට හිතෙන්නේ.
මළමිනියකට කොහොම make up දැම්මත්; වේශ
නිරූපණය කළත් සජීවී බවක් මවා පෙන්වීමට බැරිය.
වැටෙන්නට යන ගහකට මිස කෙළින් තියෙන එකකට
කවුරුන්වත් මුක්කු ගහන්නට යන්නේ නැත. ඒ බව දැන-දැනම මේ ටික කොටන්නේ ‘කුරසෝව අකිර’
අධ්‍යක්ෂවරයාවත් මෙතැනට ඇදගන්නටය. 2019 මැයි12 වෙනි ඉරිදා ‘දේශය’ පත්තරේ 6 වෙනි
පිටුවේ ‘හිතට වදින....’ තීරුව උපුටා දක්වන්නේ මහාචාර්ය ආරිය රාජකරුණා මහත්තයාගේ ප්‍රකාශයකි.
“හොඳ අධ්‍යක්ෂවරයෙකුට හොඳ තිර නාටකයකින් ශ්‍රේෂ්ඨ
චිත්‍රපටයක් නිපදවිය හැකියි. නමුත් හොඳ අධ්‍යක්ෂවරයෙකුට වුවද නරක තිර නාටකයකින්
හොඳ චිත්‍රපටයක් නිපදවිය නොහැකි බව කුරසොව අකිර පවසනවා. එයින් පැහැදිලි වෙනවා තිර
නාටකයෙහි ඇති වැදගත්කම.....”
ලංකාවේ ඉන්නා විශ්ම+කරුම ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා දර්ශන තලයෙදීත් පිටපත ලියන්නට............ |
“තිර නාටකය හරියට ලියාගත්තාම මගේ චිත්‍රපටයේ
වැඩවලින් 75%ක්ම ඉවර වුණා වගෙයි!”. ලෝක ප්‍රසිද්ධ සිනමාකරුවෙක් වුණු ඇල්ෆ්‍රඩ්
හිච්කොක් තිර නාටක රචනාවල වටනාකම ගැන වතාවක් කිව්වේ එහෙමලු.
අනෙඃ! හිච්කොක් මොන කොකෙක්ද? අද ඉන්නා අපේ
විශ්ම+කරුම ස්ක්‍රිප්ට් රචක කොක්කුනේ මිනිස්සු; දර්ශන තලයෙදීත් තිර රචනා කරන්නට
තරම් හපනුන්ය. නාමල් නම් එහෙම ‘දස්සයෙකු’ නොවෙන විදිහය.
ඔහු පිටපත් රචනා කරන්නේ ‘දැක්මක්’ ඇතිව වගේය.
ආප්ප බාන්නා වගේ නොවේ. හිතා-මතාය; කාලය අරගෙනය. ඒ අපට නොදැනෙන්නට ඔහුගේ මතවාදත් අපට ආරෝපණය කරවමිනි.
එයාට ඒවාට සල්ලි ලැබෙන එකත් ඇත්තය. ඒ මනුස්සයාත් ජීවත් වෙන්න එපැයි.
එක-එක්කෙනා
ඉපදී ඉන්නේ එක-එක විදිහටය. එක-එක දේවල් කරන්නටය. මේ මනුස්සයා ඉපදිලා ඉන්නේ අප වගේ
රසිකයන් ඥානනය කරන්නටය. ඒ අතින් නාමල්ගේ අධිෂ්ඨානය ප්‍රශංසනීයය.
සමාජය වෙනස්වීම අපේ ජීවිත කාලෙදිම වෙයි කියලා බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ! |
"ටෙලි නාට්‍යයකින් සමාජය කණ පිට පෙරළිය හැකි
යැයි ඔබ විශ්වාස කරනව ද?” නාමල්ගෙන් එහෙම අහලා
තිබුණේ අනුසාර මාහිංගොඩය. ‘දිනමිණ’ පත්තරය
වෙනුවෙනි. නාමල්ගේ උත්තරය මේකය.
“මම විශ්වාස කරනවා, නිර්මාණයකින් සමාජය හිතන
පතන විදිහ වෙනස් කරන්න දායක වෙන්න පුළුවන් කියලා. මා උත්සාහ කරන්නේ ඒකට. සමාජය
වෙනස් වීම පරිණාමයේදී සිද්ධවෙයි. ඒක අපේ ජීවිත කාලයේදී බලාපොරොත්තු වෙන්න ඕනේ නෑ.”
නාමල් එහෙම හිතුවාට, සිරි ලංකාවේ දේශපාලකයන් නම්
එහෙම නැත.
එයාලා හදන්නේ අවුරුදු කීපයකින්ම රට උතුරුකුරු දිවයිනක් කරන්නටය. අපත්
හිටු කියලා මනාපය දෙන්නේ ඒකට වශී වෙලාය.
මේ පෝස්ටුව කොටද්දී දුරකථන ඇමතුමක් ආවේය.
“ලොකූ, ඔයා ගෙදර නේද ඉන්නේ?” ඇහුවේ අපේ බඩා මල්ලා දීපාල්ය. (මට අමාරුම තත්ත්වයක්
ආවොත් පිටත්ව යන්නට උදව්
කරනවා යයි පොරොන්දුවක් දී ඉන්නේ මේ මල්ලියාය!) ඒකා කතා කළේ නුපුරුදු වෙලාවකය. 2019
මැයි 12 වෙනිදා රාත්‍රියේය.
“ඇයි මිනිහෝ, ගෙදර ඉන්නේ නැත්තං කොහොමද ෆෝන්
එකට ආන්සර් කරන්නේ?.” දීපාල්ට එහෙම කියද්දීවත් මිනිහා අවුලකින් ඉන්නා බව මට හිතුණේ
නැත. “හරි. මං තව චුට්ටකින් එනවා ඔයාව visit කරලා යන්න.”
තව චුට්ට විනාඩි 45කටත් වඩා දිගු වුණේය.
මිනිහා ආවේ ලොකු පුතා මාර්කෝත් එක්කය. “හොඳ චුට්ට!” මං දොර ඇරියේත් වදන් හීයක්
එල්ල කරමිනි. ඊට පස්සෙය මං මිනිහගේ මුහුණ බැලුවේ. ...? මූණ හරි නැත. “මොකෝ?"
Family is not an important thing. It’s everything! සමන්ති නංගී ලොකු පුතු ඩ්රූ, බිමල් හා පොඩි පුතු පවන් එක්ක.... |
“Bim ගියා ලොකූ!” මම එහෙමම පුටුවකට බෑවුණෙමි.
‘දෙයියනේ.....”
Bim කිව්වේ බිමල් මහේන්ද්‍ර භායි පටෙල්ටය;
මගේ දෙවෙනි මස්සිනාටය; සමන්ති නංගිගේ සැමියාටය;
මගේ ෆේවරිට්ම මස්සිනාටය.
අප්‍රේල් මුල් සතියේ ඉඳලාම මා හිටියේ මේ පණිවිඩය කොයි
වෙලේ ලැබේද කියා හිතමිනි. බිමල් පහුගිය මාස 15-16ක් තිස්සේ පිළිකාවක් එක්ක හටන්
කළේය. ඇත්තටම; හරියටම කියනවා නම් හටන් කළේ එංගලන්තයේ දොස්තරලාය; සමන්ති නංගීය.
පුතාලා දෙන්නා වෙනුවෙන් කැපවෙන්නට වෙලාව මදි වෙතැයි කියා, සේවය කළ බැංකුවේ
මැනේජර්කම බාර නොගත් සෑම්, බිමල්ගේ ළඟින්ම හිටිය යුතු නිසා රස්සාවෙනුත් ඉල්ලා
අස්වුණාය.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘මාතු භාර්යාවක්’ වුණාය.
එයාලගෙ කතාවට මටත් තියෙන්නේ ලොකු ලින්ක්
එකකි. ඒවා ලිව්වට කමක් නැද්දැයි අහන්නට තරම් ගටක් මට තිබුණේ නැත.
“සෑම් තරං හිත හයිය ගෑනියෙක් මං දැකල නැහැ
ලොකූ. ඔයා දන්නවද? 2 weeks ago බිමල් ටිකක් ඔළුව උස්සලා ඉන්නකොට කිව්වා අපිට ජීරා චිකන් හදලා දෙන්න ඕනි කියලා. හදන හැටි පෙන්නන්නත්
එක්ක. හෙට හදමු කිව්වා. එතකොටම සෑම් කිව්වා ‘No Bim, don’t say like that.’ කියලා.
එයා කිව්වේ බිමල් හෙට ජීවත් වෙලා හිටියේ නැතිනං බොරුකාරයෙක් වෙන නිසා එහෙම
පොරොන්දු දෙන්න එපයි කියලා.” ඊයේ හවස ආ වෙලාවේ දීපාල් කිව්වේය.
ලොකූ, ඔයාත් බිමල්ට ගුබ් බායි කියලා ඉන්න! |
දවස් කිහිපයකට ඉහතදී සෑම් ටෙලිෆෝනයෙන් මට
කීවේ බිමල්ට Good Bye කියන්නටය. මොන ගුඩ් බායි කීමක්ද? ඒ අසරණයා අමාරුවෙන්, බිඳුණු
හඬින් පුරුදු විදිහටම ‘හායි ලොකූ’ කියන්නට මහන්සි වෙද්දී නොහඬා ඉන්නට මට බැරිවිණි. එදා නොකියූ දේ මම දැන් කියමි! කුමාරයාණෙනි, ඔබට සුබ ගමන්!!!
ඒ විස්තර පසුව කියන්නට හැකි වෙතියි සිතමි.
මේවා කෙටුවේ සමන්ති නංගිගේ තද හිත ගැන ටිකක් කියන්නටය.
එයාට එහෙම තද හිතක් ඇති වුණේ එළඹුණු
අවස්ථාවන් හින්දාය. (එයාත් පිළිකාවෙන් බැට කන්නියකි; මේ දිනවල රේඩියෝතෙරපි ට්‍රීට්මන්ට්ස් ගනිමින්
හිඳින්නියකි.) එළැඹෙන ඒ ඒ අවස්ථාවලට එඩිතරව; ප්‍රායෝගිකව
මුහුණ පෑම වීරකමක් නෙවෙයිද?
ඒ කෝණයෙන් බලද්දී අප අතරත් වීරයෝ කොච්චරක්ද? ඔන්න ඔයාලටම හිතන්නට ඉඩ දෙමින්...... තව කොටසකට.
පිලිකාව වසංගතයක් වෙලා වගේ දැන්
ReplyDeleteඔව් මධූ, පෙනෙනවානේ අපේ පවුලේම..... හැමෝටම හිතන්න දෙයක්!
Deleteඇත්තම ඇත්ත.."වීරයා ගෙදර ඇවිත්" කියන්නෙ සජීවී කතාවක්.. "සුදු ඇදගෙන කළු ඇවිදින්" ගැන ලියන්නැද්ද ? පුදුම ගං කාරයො...
ReplyDeleteඔබගේ මස්සිනාට නිවන් සුව පතමි !
සෙන්නා, ස්තුතියි! මං සුදු ඇඳගෙන කළු ඇවිදින් බැලුවේ නැහැ.දිනපතාම යන ඒවා නොබලන නිසා.
Deleteටෙලි නාට්‍ය විචාරය කරන්න කට්ටිය ඉන්නවත් එක්කනේ.
film එකක් හරි, ටෙලියක්,පොතක් හරි ගැන ලියන්න වෙන්නේ මට ඒක වැදෙනවා නම් වගේම මගේ ජීවිත කතාව ඒකට සම්බන්ද වෙනවා නම්. මොකද පංච තන්තරේට ලියන්නේ නිදිගෙ ඇත්ත ජීවිත කතාවනේ. ඒ ප්‍රතිපත්තිය කඩන්නත් බැහැනේ.
සමාවෙන්න. බලපෑමක් කළා නෙමේ නිකං කිව්වේ, ඒකත් සුපිරි නාට්‍යක් නිසා..
Deleteලියන්න ඕනා නෑ බලන්න කියලා යෝජනා කරනවා.. එක දිගට බලන්න තරම් ආස වෙයි කියලා අනුමාන කරණවා.
ඔයා ඔච්චර කියද්දී බලන්න හිතුණා. හොඳටම හොඳ හින්දනේ කියන්නෙත්! ස්තුතියි සෙන්නා!
Deleteමේක ලිපියක් නෙවෙයි පාඩමක්...ජීවිතේට. නිවන් සුව පතමි සොයුරාට...
ReplyDeleteශානිකා, මටත් කියවන- අහන- දකින හැම දේකම සැඟවුණු පාඩමක් තියෙනවා වගෙයි දැනෙන්නේ.
Delete