ආච්චි කිව්වා, මම කොහොමද බං උඹට චිත්‍ර අඳින්න නිවුඩ් ගැහැනු හොයන්නේ...... |
කාලෙකට ඉස්සෙල්ලා දෙමටගොඩ හිටි කොලු ගැටයෙක්,
කාන්තාවන්ගේ හෙළුවැලි චිත්‍ර අඳින්නට ඕනෑය කියලා ආච්චිට කියූ වග-විස්තරයකි ඒ.
කොල්ලාගේ වාසනාවට ඒ දෙමටගොඩ ආච්චී ගතින්
වියපත් වුණත් සිතින් යව්වනියක් වුණු කෙනෙකි. මේ
හාදයා කියන විදියටම නම් “.... දැන් කෙල්ලෙකුට වඩා මගේ ආච්චී දියුණුයි!”
ය. මේ මනුස්සයා එහෙම කියා තිබුණු බව 2017 නොවැම්බර් 17 වෙනිදා, ටිරාන් කුමාර
බංගමආරච්චි රටටම ලියලා තිබිණි. ඒ ‘රාවය’
පත්තරයෙනි.
හදිස්සියේම පරණ විස්තර හොයලා ඒක කියවද්දී,
මුල්ම වරට ඒ ලිපිය කියවද්දී වගේම ඉරිසියාවක් මගේ හිතේ ඇති වුණාය කියන්නේ
ලජ්ජාවෙනි. අපේ ආච්චිත් ප්‍රගතිශීලී යව්වනියකි. මට අවුරුදු දහයේදී විතර කුමරි බඹසර- දෙවෙනි ගමන- පතිවත වගේ දේවල් ඇය කියූ බවත්
ඇත්තය.
අපේ ආච්චිලා හිටි හික්ගස් හංදිය....... |
ඒත් නාමල්ගේ ‘දෙමටගොඩ ආච්චී’ ඉන්නේ දසනායක
රත්නවතීටත් වඩා ඉස්සරහින් වගේය. එක අතකට ඒකේ පුදුමයකුත් නැත. ඒ කාලේ අපේ ආච්චිලා
හිටි හික්ගස් හංදිය ගමකි.
දෙමටගොඩ එහෙමද? අනෙක් අතට ඒ ආච්චී චිත්‍රකලා ගුරුවරියකි. අපේ ආච්චිගේ කෙරුවාවල්
තිබ්බේ කුස්සියේය.
මේ සේරටමත් වඩා දෙන්නා ඉඳලා තියෙන්නේ කාල වකවානු දෙකකය. දෙමටගොඩ
ආච්චී හිටියා වගේ පෙනෙන්නේ මගේ වීරවරියට වඩා අවුරුදු දහය-පහළොවකටවත් මෙපිටින්ය.
මෙහෙම කිව්වාය කියලා නාමල් ජයසිංහට කිසිම
මදි-පුංචිකමක් සිද්ධවෙන්නේ නැත. දැන් නාමල් ඉන්නේ ඉතාමත් ඉහළ පියගැටයකය. තව-තවත්
ඉහළටම යන්නට ඔහුට වාසනාව, ධෛර්යය, ශක්තිය ලැබේවා!
මං එහෙම ප්‍රාර්ථනා කරන්නේ මා
වැනිම වූ ලක්ෂ ගණනාවක් වන රූපවාහිනී
රසිකයන් වෙනුවෙනි.
නාමල් ජයසිංහ කිව්වාම නොදන්නා අය ඉන්නට
පුළුවන්ය. ඒත්, ‘සහෝදරයා’ අධ්‍යක්ෂ කිව්වාම ඊට වඩා මීටර් වෙයි. බොහීමියානුවා,
තාරා, සහෝදරයා, වීරයා ගෙදර ඇවිත් වගේ ටෙලිනාටකවල තිර රචකයා කිව්වාම නම් ආලවට්ටම්
ඕනෑම නැත. මට නම් සෙනසුරාදා, ඉරිදා රාත්‍රියට ගෙදරට එන වීරයාටත් වැඩියෙන් නාමල්
වීරයෙකි. ඇයි ආනන්ද අබේනායක?
ආනන්ද, නාමල් හා රොෂාන් කියන තිදෙනා දායක වෙන නිර්මාණ මා මඟහරින්නේ නැත. |
සතියේ දින පහේම පෙන්වන මෙගා නම් මට අරහංය.
මගේ හැඟීම නම් විනෝදාස්වාදය අපට අවශ්‍ය වුවත්, ඒකටත් සීමාවක් තිබිය යුතු බවයි.
එහෙමය කියලා මට ගුණදාස අමරසේකර මහත්තයා තරම්ම සාහසික වෙන්නට නම් බැරිය. මං ඒ තරම්
උගතෙකුත් නෙවෙයි නිසා වෙන්නැති එහෙම හිතෙන්නේ.
සැරයක් පත්තරයකින් සාහිත්‍යය ගැන කෙරුණු
සම්මුඛ සාකච්ඡාවකදී, එතුමා කියවූ මෑතකාලීන කෘතිවල හොඳ-නරක විමසා තිබිණි.
එතැනදී
අමරසේකර මහත්තයා දී තිබුණු උත්තරයෙන් පෙනුණේ එතුමාගේ දරදඬුකමයි. ‘ගල් පිළිමය සහ
බොල් පිළිමය’ මුද්‍රණ ශිල්පියා විදිහට
මට එතුමා හමුවෙද්දී දුටු අනම්‍ය ස්වභාවයම තවමත් තිබෙන බවයි! පොල්ලෙන් ගහන්නා වගේ
එතුමා කියා තිබ්බේ මේකය. “මං දැන් පළවෙන පොත් කියවන්නේ නෑ!”.
ඉස්සර එතුමාගේ තිබුණු දරදඬුකමම අදටත් තිබෙනවා .................. |
මට දැන් රූපවාහිනියක් නැත. “ඒක එක දිගටම මාස
ගණනක් තිස්සේ නිකම්ම තිබ්බම නරක් වෙනවා. සතියකට වතාවක්වත් tv එක බලහං”. කීප
දෙනෙක්ම මට කිව්වෝය. බලන්නට තියෙන්නේ මොනවාද? මං කළේ tv එක නංගිලාගේ ගෙදරට පටවා
ඒකෙන් නිදහස් වීමය.
හැබැයි, අලුතින් පටන් ගන්නා හැම ටෙලියකම මුල් කොටසක් බලා,
දිගටම ඒක බලන්න වටිනවාදැයි තීරණ කිරීමය මං කරන්නේ. ඒක කරන්නේ ජාලයෙන් බලලාය. ඒ
හින්දා කොම්පියුටරයට ආවඩා- ආයු බොහෝ වේවා කියා කිව්වත්, ‘මුළු හදවතින්ම ලියන්නෙ එක
පේළියයි!”.
ඉතින්, මට නාමල් වීරයෙක් වෙන්නේ එයාගේ ඍජු
කියුම්-කෙරුම් හින්දාය. මිනිහෙකුට තමන්ගේ වැරැදි ගැන; අඩුපාඩුකම් ගැන; දුබලකම් ගැන
ප්‍රසිද්ධියේ කියන්නට හැකිවීම වීරකමක් නෙවෙයිද?
“...... මගේ කුඩා කාලය ගෙවෙන්නේ දමිළයන් සිහි
වූ ගමන් ‘පර දෙමළා’ කියල බැනපු ආච්චිලා-සීයලා එක්ක. මම හිටියෙත් එතැන. මට මතකයි
’83දී අපේ ඉස්කෝලේ හිටපු සම වයස් දෙමළ
කොලු පැංචො දෙන්නෙකුට අපි සිංහල කොල්ලො එලව එලවා පහර දුන්න “දෙමළු මරපියව්” කියලා.
අද මට ඒ සහෝදරවරු හමු වුනොත් දෑත් එක්කරල වැඳල සමාව ඉල්ලනවා.”.
(2016
සැප්තැම්බර් 03- මංජුල වෙඩිවර්ධනගේ ‘ලංකාවේ සුභාවිත කලාව කියන්නේ විකල්ප යථාර්ථයක්- නාමල් ජයසිංහ’
පෝස්ටුවෙනි).
‘තාරා’ පිටපත ලියද්දී නාමල් දමිළයන් දිහාව
බලන සානුකම්පිත බැල්ම මතකද? එතැනදී එළියට පනින්නේ මේ අත්දැකීමේ පසුතැවිල්ලෙන් ලත්
කම්පනය නොවෙයිද?
නාමල් 'තාරා' ලියද්දී දමිළයන් දිහාවට හෙළන සානුකම්පිත බැල්ම......... |
“වීරයා ගෙදර ඇවිත්” බලන රසිකයන් වැඩි දෙනෙකු
‘චාමරගේ’ අක්කා; අයිරාංගනී දිහාව බලන්නේ වේසාවියක දිහා බලන්නා වගෙය. රසිකයන්ගේ
කමෙන්ට්ස් කියවා බැලුවාම පැහැදිලි වෙන්නේ ඒකය.
සැමියා හැරදමා ගියාට පස්සේ තරුණ
මවකට ලිංගික අවශ්‍යතා ඇතිවන්නේ නැතිද? වයස් පරතරයක් ඇති දෙදෙනෙකු අතර අන්‍යොන්‍ය
බන්ධනයක් ඇතිවෙන්නට බැරිද? ලිංගික හෝමෝන - පොරමෝන ශ්‍රාවය
වෙන්නේ අපට ඕනෑ හැටියටද නැති නම් ඉපදෙනකොටම අරගෙන එන ජාන සැකසුමට අනුවද?
එහෙව් සුචරිතවාදී දෝෂාරෝපණ වැස්සක් වහින්නට
ඉඩ තිබියදීය, අවුරුදු දෙකකටත් එහා කාලයක නාමල් තමන්ගේ ‘ලෝලීත්වයන්’ ගැන කිසිම
බයක්- සැකක් පැකිළීමක් නැතිව එළිදරව් කරලා තියෙන්නේ.
“ඔව්! ප්‍රේම සබඳතා ගොඩක් තිබුණා. එහෙම නොනවතින ගමනක් දුවලා ඇති වගේ හිතුණ වෙලාවක, දැන් දිව්වා ඇති කියලා කසාදයක් කර ගත්තා. ඇය චමිලා පීරිස්. එයාත් එක්ක එක තැනකට ඇවිල්ලා ජීවිතය ගත කරන්න තීරණය කළා. ඒත් අවංකවම කිව්වොත් ආයේ ආයේ එහෙම දුවන්නේ නැතිව ඉන්න බැරි වුණා. අද අපිට දුවෙක් ඉන්නවා. ඒ ආදරයේ ප්‍රතිඵලයක් විදියට ජීවිතය ගත කරගෙන යනවා.” (රාවයේ ටිරාන්ගේ ලිපිය).
අනුන්ගේ කුණු එකතු කරන්නෙකුට නම් මේවා චපලකම
ගැන, සල්ලාලකම ගැන ඕපාදූපය.
28 වෙනි එපිසෝඩ් එකේදී ප්‍රක්ෂකයා ඉදිරියට එන සුධර්මා ආත්මාර්ථය ඉහවහා ගිය............. |
එහෙත් මගේ හැඟීම නම් ‘නාමල් ජයසිංහට නිර්මාණ කාර්යයේදී
ඉවර නොවෙන ඉල්ලමක් වෙලා තියෙන්නේත්’ මේ සංසාර ධාවනයේ අත්දැකීම් බවයි. ඒ තිර රචනා
සප්‍රාණික වෙලා තියෙන්නේ මේ දිවිල්ල හින්දා බවයි. සමාජයේ; අපේ නාඩි වැටෙන හැටි
නිකම්ම තේරුම් ගන්නට මොන ජගතෙකුටවත් බැරිය.
වීරයා 28 වෙනි කොටසේදී ප්‍රේක්ෂකයන් ඉදිරියට
එන නංගී; සුධර්මා (චමිලා පීරිස්)
ආත්මාර්ථකාමී අම්මණ්ඩි කෙනෙකි.
උගුලෙන් හරි - හබකෙන් හරි සතා අල්ලා ගන්නට හපන්
ගැහැනියකගේ හැටි කියන්නට නාමල් ගන්නේ විනාඩි ගණනකි. වත්ත පිටිය හූරාගෙන යන්නට එන,
කවදාවත් නොදෙන ණයක් ඉල්ලන ඒ ගැහැනියට රසිකයන් දොස් පවරන්නේ ‘අප ළඟත් ඉහට උඩින්
තියෙන ආත්මාර්ථකාමීකම’ තේරුම් නොගෙනය!
හැබැයි ඒ එපිසෝඩ් එකේ මුලදී පොඩි දෝනියන්දාගේ
පතුරු අරින අම්මා; ‘බේබි නෝනා’ පසුව එන සීන් එකකදී සුධර්මා එනවාත් එක්කම ඇයව
පිළිගන්නේ ඉහවහා යන සතුටකිනි.
සුධර්මා ගැන ඇය මුලින් කී ඒවා බොරුය කියන්නා සේය.
මුල ඉඳලාම අම්මාගේ කටකාරකමට වහ වැටී ඉන්නා අපට, ඇයගේ දෙපිටකාට්ටුකම කපටිකමක් සේ
දැනෙන්නේ නැත. එහෙම වෙන්නේ අප ළඟත් එහෙම දෙබිඩිකම් තියෙන හින්දද?
නැති නම් අපේ හිත
දිනූ අයගේ නුගුණ නොදකින පුරුද්දක් අපට තියෙන නිසාද?
විශාඛාගේ සැමියා කුහකයෙකු බව කියන්නට ටෙලියෙදී ගතවෙන්නේ විනාඩි තුනකටත් අඩු කාලයකි. |
නාමල් මේවා සේරම කියන්නේ කෙටියෙනි. හුඟාක්
ටෙලිනාටකවලදී කෙරෙනවා වගේ අදින්නේ නැතිවය. දර්ශන සේරම කෙටිය; ලස්සනය.
නාමල්ගේ මේ ‘Short & Sweet’ හපන්කම 29
වෙනි කොටසේදීත් දැකගැනීම ලෙහෙසිය. විශාකාගේ සැමියා සනීපයට වාඩිවී ඉඳගෙන සිමෙන්ති
ගල් හදයි. ඒ ගමන්ම, ඇනුව බදාම ලෑල්ලේ ඉතිරිව තිබියදීත් ‘ඕක අනල ඉක්මනට ගන්නවකො’
යනුවෙන් කියයි.
පිරිමියෙකුටත් වෙහෙස ගෙන දෙන සිමෙන්ති ඇනීම ඉක්මනින් කරන්නැයි
බිරිඳට මැසිවිලි නඟන සිරි කාලකන්නියාව හෙළා දකින්නට, තිර රචකයා චාමරගේ අක්කාව
යොදාගන්නේ ඇය පිළිබඳව සෙනෙහසක්ද උපද්දවමිනි. “අර මූසලයට බැරිද ඔය අත්වැඩ ටික ඌටම
කරගන්ඩ, උඹ ලව්වා කරවගන්නේ. පිංගුත්තරයා වගෙ, අච්චුවට කොට-කොට ඉන්නෙ.”
රස්සාව විතරක් කරන, දූ දරුවන්ගේ - ගෙදර දොරේ
- ඉවුම් පිහුම් වැඩපළ සේරම ගැහැනු වැඩය කියන පිරිමි අදටත් කොච්චර ඉන්නවද? චාමර
වීරයා වෙන්නේ දෑස නොපෙනෙද්දීත් දර පළලා දීම පවා කරන්නට ඉදිරිපත් වීමෙනි.
වීරයා සති
අන්තයේ අපේ ගෙදරටම ඇවිත් පෙන්වලා දුන්නත් අපට මෙව්වා මීටර් වෙනවාද. එහෙම තේරුම්
ගනිමින්, ඇස පිනවන අතරේම අපේ ජීවිතයට එබී බලන්නටත් ‘වීරයා’ කවුළුවක් කරගන්නට හැකි
නම්...........
නාමල්ට ඕනේ අප ලවා ඒ ටික කරවන්නටය.
ඇස පිනවන අතරේම අපේ ජීවිතයට එබී බලන්නටත්..............(ඡායාරූපය සුමිතුරු ප්‍රියන්ජන් සුරේෂ්ගෙනි.) |
‘ලොකු වුණාම මොකද්ද කරන්නේ?’ කියලා මං පොඩි කාලේ කවුරුන් හරි ඇහුවොත් මං කිව්වේ ‘නළුවෙක් වෙනවා’ කියලාය. පේව්මන්ට් එකේ රජවෙන කාලයේදීම ඒ හීනය මට අමතක වී ගියේය. ජීවිත රඟ මඬලේ රඟපෑම ඊට වඩා අසීරු වුණත් ඒකට මුල් තැන දෙන්නට විණි. නාමල් ජයසිංහත් ඉපදී තියෙන්නේ සඳුන් ගැටයක් මිට මොලවාගෙන නොවේ.
එහෙත් නාමල්ටත් නොතිත් ඉගෙනීමේ ආශාවක්, අභියෝගවලට මුහුණ පෑමේ හැකියාවක් හා
සහෝදර ප්‍රේමයක් තිබිලාය.
“...... අපේ මව්පියෝ සාමාන්‍ය රස්සාවල් කළ
අය. තාත්තා රියදුරෙක්. අම්මා සමූපකාරයක මැනේජර්කම කළා. මට අවුරුදු හතක්, අටක් වෙනකොට
අම්මා රට ගියා. ඊළඟට අපි තාත්තා එක්ක හිටියා. ඇත්තම තත්ත්වය නම් අම්මා රට යනවත්
එක්කම තාත්තාත් මඟහැරුණා. සමහර වෙලාවට තාත්තා දවස් තුන හතර ගෙදර එන්නේ නෑ. ආවත්
අපිට කන්න මොනවා හරි ගෙනත් දෙනවා ඇරෙන්න ඊට එහා දෙයක් වුණේ නැහැ.
-මමයි මල්ලියි හිටියේ. ඉතින් එතැන ඉඳලා මල්ලිව
බලාගන්න එක, මිනිහාගේ රෙදි හෝදන එක, කන්න හදලා දෙන එක, ඉස්කෝලේ අරගෙන යන එක මගේ
සින්නක්කර වැඩ වුණා......
මොකක්දෝ එහෙකට ඉගෙනීමේ ආශාව පුංචි කාලේ ඉඳලාම තිබුණා. ඉස්කෝලේ යන්න බස් එකට දෙන සල්ලි හොරෙන් බස් එකේ ගිහින් ඉතිරි කරගෙන විජය, මිහිර ගන්න පුරුද්දක් මට තිබුණා.” (රාවයේ ටිරාන්ගේ ලිපිය).
මෙතුවක් කල් ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළමින් මගේ
ජීවිත කතාවේ පදාසයක්ම කියවා ඇති රසික ඔබට, ඉහතින් ඇති ටික කියවද්දී මොකද හිතුණේ?
අප දෙදෙනාගේ පැටිවියේ අත්දැකීම් සීයට සීයක්ම සමාන නැතත්.......... |
මට නම් ඇති වුණේ පුදුමාකාර සහෝදර බැඳීමකි. අප දෙදෙනාගේ පැටිවියේ අත්දැකීම් සීයට
සීයක්ම සමාන නැති බව ඇත්තය. ඒත් මේ තරම් සමීපකමක්? ඒ ලිපිය, මගේ ඉස්සරහින් ලොකු
කන්නාඩියක් තිබ්බා වගෙය.
මගේ බොඳවුණු සිහිනයෙදී වගේ නාමලුත් නළුවෙක්
වෙන්නට පෙරුම් පුරා තියෙයි. රඟපාලාත් තියෙයි. රංගනය හදාරන්නට වැඩමුළුවලටත් සහභාගී
වෙයි. ඒ ගැනත්, ඊට පස්සේ කාලය ගැනත් කියන ටික කියන්නට මිනිහෙකුට කොච්චර ‘ගටක්’
තියෙන්නට ඕනද?
හුඟක් අයට ‘කට්ස්’ තිබුණට ‘ගට්ස්’ ඇත්තේ නැත.
“අර වැඩමුළු පස්සේ ගියාම රඟපාන්න තමයි ඊළඟට
එන ආශාව. ඒත් එහෙම චරිත හම්බ වුණේ නැහැ. නළුකම ඉගෙනගෙන රඟපාන්න නැති එක තරම්
ඛේදවාචකයක් තවත් තියෙනවාද? මොකද මම ගෙදර ගිහිල්ල රඟපාන්නද? සුදු, කළු, එළිය, අඳුර
තියෙන චරිත ලැබෙයි කියලා හිතුවා. මොන චරිතයක්වත් ලැබුණේ නැහැ. ඒ නොලැබෙන තැන මා
තුළ අමුම අමු කුහකයෙක් වර්ධනය වෙන්න ගත්තා. ලොකුවට හිතලා නෙවෙයි, ඒත් චරිත නොලැබෙන
තැන මම මගේ ඇතුළේ වද දෙන චරිත ගැන ලියන්න ගත්තා.
හුඟක් අයට 'කට්ස්' තිබුණාට 'ගට්ස්' ඇත්තේ නැත. |
-තනිකරම ඇරියස් ඇරිල්ලක් කළේ. ඒවා
එකතු කරලා කෙටි නාට්‍යයක් කළා. මෙහෙම ඉන්නකොට තමයි ආනන්ද අබේනායක මහත්තයා එයාගේ
නාට්‍ය පිටපතක් ලියන්න කතා කළේ. ඔහුගෙන් ඉගෙන ගනිමින් මම ඒක ලිව්වා. ඒක තමයි ‘ජීවිතයට
ඉඩ දෙන්න’ ටෙලි නාට්‍යය”.
‘ජීවිතයට ඉඩ දෙන්න’ විකාශ වෙන කාලයේ මං පියසිරියේ
ප්‍රින්ටින් මැනේජර්ය.
එහේ දවල් කෑම පැය භාගයේදී කට්ටියක් ඕමි ගසති.
තවත් පිරිසක් nap එකක් දමද්දී පැත්තක සාකච්ඡා මණ්ඩපයකි. බොහොමයක් වෙලාවට මාත්
ඉන්නේ ඒ අවටමය. ඒ වෙලාවට වැඩියෙන්ම කතා වෙන්නේ ටෙලි නාටක ගැනය.
දවසක් කට්ටියම
‘කෝපි කඩේ’ ගැන කතා කරමින් ඉඳිද්දී මම මැද්දට ප්‍රශ්නයක් අතහැරියෙමි. “ජීවිතයට ඉඩ
දෙන්න බලන්නැද්ද?”
පිළිතුරු තුන හතරක්ම හම්බ වුණේය. ඒ ප්‍රශ්නයකුත්
ඇහුවාට පස්සෙය. “එහෙම එකක් මතක නැහැනෙ නිමල් අයියේ. දැනුත් යන එකක්ද?” ප්‍රශ්නයම
මාර එකකි.
මං වෙනුවට උත්තරය දුන්නේ ඊටින් සිඤ්ඤෝය.
එයාගේ නම ඒක නොවේ; ජනකය. හිටියේ පනාගොඩය. ඊටින් සිඤ්ඤෝත් හිටියේ සෝමවීර සේනානායක
මහත්තයා ලියූ ටෙලියකය. “මචං, නිමල් අයියා කියන්නේ අර ගොලුවො වගේ ඉන්න නාට්ටිය බං.
කතා නැතිව ඉන්නේ....”.
අර ගොළුවෝ වගේ ඉන්න නාට්ටිය බං... කතා නැතිව ඉන්නේ..... |
ඔව්, ඔව්. මාත් හිතෙන සේරම එළියට දැමිල්ල අදට
නවත්තා, ඒ ටෙලියේ අය වගේ ගොළු වෘතය රකින්නය හදන්නේ. හැබැයි දින කිහිපයකට; මේ පෝස්ටුවේ දෙවෙනි එක කොටනකල්.......
නිමල් දන්න කාලෙ මහරගම හන්දියෙ හික් ගහක්/ගස් තිබුනද?
ReplyDeletePra Jay, මං දැනුවත්ව නං එහෙම සුවිශේෂ හික් ගහක් තිබුණේ නැහැ. නමුත් මහරගම ස්ටේෂම ළඟ (දැන් 212 නව රෝහල බස් නැවතුමට ඉදිරිපසින්) දැවැන්ත නා ගසක් තිබුණා.
Deleteඒ කාලේ ඇරැව්වල (නන්දිමිත්‍ර මහත්තයාගේ ගම)වගේම අපේ පමුණුවත් හරක් හොරුන්ගේ, මිනී මරුවන්ගේ, මංකොල්ලකාරයන්ගේ රජදහනක්. එහෙම දෙකක් ගැන ලියන්නත් හිතාගෙන ඉන්නේ.
1964 වනවිට අප හිටි ඉඩමේත් ඇතෙකුට වුණත් හැංගී ඉන්නට හැකි තරම් පොඩි කැලෑවක් තිබ්බා.
මහරගම හික්ගස් හංදිය, මාදිවෙල ගොඩපරේ හංදිය තව දෙල්කඳ හංදිය කොස්ගස් හංදිය. .... කියමු ඉතිරියත්. ...
Deleteමහරගම හික්ගස් හංදිය, මාදිවෙල ගොඩපරේ හංදිය තව දෙල්කඳ හංදිය කොස්ගස් හංදිය. .... කියමු ඉතිරියත්. ...
Deleteමිගාර මහරගම අවට වගෙයි ඉන්නේ.
Deleteඔයාගේ කමෙන්ට් එක දැක්ක ගමන් ඔළුවට ආවේ ඇරැව්වල වෙරළුගස් හන්දියක් තියෙනව නේද කියලා. බෝකුන්දර නම් තිබුණා බෝ පැලේ හන්දියකුයි රෝදෙ කඩේ හන්දියකුයි. පන්නිපිටියේ කන්ද කපාපු හංදියෙ එහෙම තව ටික දවසකින් නමත් අමතක වෙලා යයි.
හොයන්න වෙලාවයි, ගායයි තියෙන කෙනෙකුට මේකත් හොඳ මාතෘකාවක්, නේද මිගාර?
Nice one, මරු ඒක 👌
ReplyDeleteස්තුතියි!
Deleteආසම නැති විෂය ටෙලි නාට්‍ය,
ReplyDeleteකූඹියෝ නම් මුල සිට අගට බැලුව එච්චරමයි ටෙලි නාට්‍යයක් ඉවර වෙනතුරු බලපු එකම අවස්ථාව. ඒකත් යූ ටියුබ් එකෙන්. මම හිතන්නෙ අයි ටී එන් එක යූ ටියුබ් එකෙන් හොයන්න ඇති මාර ආදායමක්. ඒත් ඒක එහෙමම එතනම නැවතුනේ ඇයි කියන එක මට හෙන ප්‍රශ්නයක්?
1. ටී.වී, යූ ටියුබ් දෙකම හරහා පුචාරය වෙලත් ලාබයක් නැතිද?
2. නැත්තම් එහෙම ඒව හදන්න තරම් වැඩ්ඩො නැද්ද?
3.ඒත් නැත්තම් ඒකට දුන්න ෂෝෂල් මීඩියා මාකටින්ග් පාර අනිත් ඒවට නැද්ද?
මධු, අද නම් ඔයාගේ ප්‍රශ්න එකකටවත් උත්තර දෙන්න තරම් දැනුමක් මට නැහැ. බලමු, මේවා ගැන දන්නා උගතෙක් පිළිතුරු දේවිද කියලා.
Deleteනිමල් අයියේ, මං මේ කතාව ගැන මට හිතෙන/දැනෙන දේවල් එකතු කරලා කාලෙකින් නොලියපු මගෙ බ්ලොග් එකත් ලියන්නයි හිතුවේ. මුල ඉඳලම ගියපු කොටස් 30ම බොහොම ආසාවෙන් බලලා බොහොම රසවිඳපු කතාවක්. ඒ කතාවේ නාමල් වීරයාගේ චරිතය නිර්මාණය කරනකොට පාවිච්චි කරල තියෙන දේ ගැන විශේෂයෙන් කියන්න ඕනෙ. මං හිතන්නේ ඒක වෙනම සබ්ජෙක්ට් එකක්.
ReplyDeleteනියමයි කසුන්! හොඳටම ෂුවර් ඉතා රසවත්, හද බඳින (කසුන් වැනි) පෝස්ටුවක් වේවි! ඔයාගේ ඇහින් දකින දේනේ!
Delete//එහෙම දෙකක් ගැන ලියන්නත් හිතාගෙන ඉන්නේ
ReplyDeleteඇරැව්වල පැත්තේ වැල්ලේ ආරොන් ගැන එහෙම අහලා තියේද
අම්මෝ සිරිබිරිස් උන්නැහේ! කොහෙද අප්පේ ගිහින් හිටියේ? හොයා බැලුවාම හෙනෙක් කිව්වා හිටි ගමන් ඔයා ආපහු ඒවි කියලා. සතුටුයි ගොඩක්.
Deleteඇරැව්වල පැත්තේ අය ගැන නම් මං දන්නේ බොහොම අඩුවෙන්. මේ මර්ඩර්ස් දෙකම පමුණුවේ!
අපිත් ආසාවෙන් බලන ටෙලියක් වගේම අගනා ලිපියක්.
ReplyDeleteඅදමයි මේ පැත්තට ගොඩවුනේ..
ජයවේවා!
පවන් රැල්ලකින්ද පවන්ව මේ පැත්තට ගහගෙන ආවේ? ස්තුතියි! නැවතත් එසේ වේවා!!
Deleteමාත් අද ආවේ මෙහෙට. පරණ ඒවත් කියවලාම එන්නම්.
ReplyDeleteහැබැයි දරුවෝ මට ඔයාගේ නම නං හොඳටම නෝට්. ඒකට මොකෝ? ඔන්න අනෙක් හැමෝවම වගේ ඔයාවත් සාදරෙන් පිළිගන්නවා!
Deleteගොඩක් ස්තූතියි. සහෝදරයා සහ විරයා ඩවුන්ලෝඩ් කරලම බලන්නම්...
ReplyDeleteඅන්න මරු වැඩක්! සතුටුයි ඩ්රැකී!
ReplyDeleteහරිම ආකර්ශණීය ලිපියක්. හිත්වල මියයන සුභාවිත කලාවට ඔක්සිජන් දෙනවා.. ජය!...
ReplyDeleteගොඩක් ස්තුතියි ශානිකා.
Deleteමේ දවස්වල ආසාවෙන් බලන නාට්‍ය දෙකක් තියෙනවා. එකක් වීරයා ගෙදර ඇවිත්, අනික සුදු ඇඳගෙන කළු ඇවිදින්... නාමල් අයිය ගැන මට දැනෙන කාරණා මං මා දන්නා නාමල්ලා සහ සහෝදරයා කියන ලිපියෙ ලිව්වා. ටෙලි ක්ෂේත්‍රය තුළ ඔහු සුවිශේෂම තිර රචකයෙක් ඒ ගැන නම් විවාදයක් නැහැ
ReplyDeleteතරූ, මං ඒ පොස්ට් එකත් කියෙව්වා. හැබැයි මං නාමල්ව දන්නේ නිර්මාණවලින් සහ ඔයාලා වගේ අයගේ ලිපිවලින්. ස්තුතියි!
Deleteනාමල් ජයසිංහ සහ චමිලා පීරිස් දෙන්නම අදටත් හිරිකිත නැතිව පුළුවන් දේ ඉතිරි කරපු දෙන්නෙක් ... නමුත් තවම බොහීමියානුවා, තාරා, සහෝදරයා, වීරයා ගෙදර ඇවිත්, ජීවිතයට ඉඩ දෙන්න අතරින් පතර ඔලුවට දාගත්තත් බලන්න වෙලාවක් ලැබුනෙ නැහැ ... ආයෙ මතක් කලාට ස්තුතියි !
ReplyDeleteකණ්ඩා. ඇත්තටම කියන්නේ, මගේ පෝස්ට්ස් ටික කියවලා කම්ප්ලීට් කෙරිල්ල පැත්තකට දාලා ඔය ටෙලි ටික බලලා ඉන්න. ජීවිත කාලෙකට වටිනා වෙනස් නිර්මාණ ටිකක්. කූඹීයෝ, ගොළු තාත්තා වගේ තව ඒවාත් කිහිපයක් තිබුනා. මම දවසක් කිව්වා ගප්පි- ත්‍රී බිල්ල බෝර්ඩ්ස්- වොන්ඩර්- ශේප් ඔෆ් වෝටර් වගේ ෆිල්ම්ස් ගොඩකුත් කියන්නම් ඕනේ නම්.
Delete