විල්පත්තුවෙදී බෝම්බයකට බිලි වුණු පුෂ්පානන්ද මහත්තයා..... |
කලින්
කොටසේදී මා නැවැත්තුවේ එහෙමය. දැන්...
පුෂ්පානන්ද
මහතාගේ ඡායාරූපයක් සොයාගනු පිණිස මම අන්තර්ජාලයේ සැරුවෙමි. සුමේධ ඔබේසේකරගේ Some Birds Can’t Fly බ්ලොග් අඩවියෙනි මට පිහිටක් හමු වුණේ! ඒ "Role Model in Conservation" ලිපියෙනි.
එහෙත් ඒ
තිබුණු ඒවාත් අවාසනාවන්ත ෆොටෝස්ය.
විල්පත්තු වනෝද්‍යානයේ සිට දේහය ගෙනියන ඒ අවාසනාවන්ත ෆොටෝව ........ |
"දස්කම" චිත්‍රපටය
පෙන්වා තිබෙන්නේ 1958 ජුලි 25 වෙනිදාය. අධ්‍යක්ෂණය කළේ ශ්‍රී ලංකාවේ මුල්ම කතානාද
චිත්‍රපටය ලෙස සැලකෙන "කඩවුණු පොරොන්දුව" අදියුරු ජ්‍යෝතිශ් සිංය. එහි
සියලුම ගීත ලියා ඇත්තේ කරුණාරත්න අබේසේකර සූරීන්ය. ඒවා අතර ඩබ්ලිව්.ඩී. අමරදේව; හෙළයේ මහා ගාන්ධර්වයාණෝ ගයන මේ ගීයද වෙයි.
නොතිර සසර
සාගරේ//
අතරතුරේ
නොමැරි මැරේ - දස දහස් වරේ
නිසල නැතේ
සසල වෙතේ-
නොතිර සසර
සාගරේ//
කුමන
නැටුම් කෙළි කවට සිනාදා - මරුට නොමැත කිසි විටකදි බාධා
...............
කුණු කය
නිසරුයි - නැත පවතින්නේ
කළ හොඳ
පමණයි - මෙලොව රැඳෙන්නේ......
මනහර සුසංයෝගයකින් බිහිවුණු 'ඉපිද මැරේ- යළි ඉපදේ'......... |
අම්මෝ!
සේනානායක සමුදුර ඉහත්තාවේ ගත කළ රාත්තිරිය.... කොස්සපොලට ගිය හැන්දෑව..... ඔහු ගැන
වෙනම ලියන්නට තරම් විස්තර තිබෙනවා නේද. එහෙම ලියන්නෙමි.
මෙතනට
හොඳටම අදාළ වෙන්නේ නැවත විල්පත්තුව විවෘත කරන දවසේ; 2003 දී එහෙ
ඇවිත් යන්නැයි පුෂ්පානන්ද මහතා අපට ආරාධනා කිරීමය. අපි එහි ගියෙමු. එහි ප්‍රතිසංස්කරණ
කටයුතුවලට සහාය වන්නැයිද එතුමෝ අපෙන් ඉල්ලූහ; ඒ ඔහුගේ
බඩ වඩා ගැනීමට නොවේ. වනයට ඇති ආදරයේ මහිමය නිසාය. රුදුරු ත්‍රස්තවාදයට ගොදුරක්වූ
ඔහුගේ අවසන් කටයුතු පැවැත්වූ මතුගම දියකිතුල්කන්දට අපිදු ගියෙමු. ඒ ඔහුගේ ගුණවත්කම
නිසාවෙනි.
විල්පත්තුව
ඓතිහාසික වශයෙන්ද ඉතාමත් වැදගත්ය. වංශ කතාවලට අනුව අපේ ආදිතමයා හොර දෙටුවෙකුවූ 'විජය'යි. ඔහුගේ
තාත්තාටත් පුතුගේ ඔල-මොට්ටල දඩබ්බරකම් ඇතිම වුණු තැනේදී විජයව සහපිරිවරත් සමඟම
නැවකට දමා රටින් පැන්නුවේය. එහෙව් විජය ලංකාද්වීපයට ගොඩ බැස්සේ තම්මැන්නාවටය.
තඹ වැඩි පස් ගොඩැල්ලක (වමේ සිට) චන්දන, සමින්ද, චූටි මාමා සහ සිසිර........ |
රජ කුමාරයෙකු වුණත් විජය
මංකොල්ලකාරයෙකි. ඒ විදියට බලද්දී නම් අපි කවුරු-කවුරුත් හොරු වීම පුදුමයක් නොවේ.
ඒවා ජානවලින්ම අපට උරුමව තිබෙයි.
ඉතින්....
ඒ ඉසව්වේ පස් අමුතු රතු පැහැයකට හුරුය. එසේ වී තිබෙන්නේ පසෙහි වැඩියෙන් තඹ අඩංගු
නිසාලු.
තවත් අගනා
තොරතුරක් චන්දන සැපයුවේය. "මේ තියෙන්නේ මලිත්තන් ශාඛයක්.... ඉස්සර ලංකාවයි, අප්‍රිකාවයි
එකට යාවෙලා තිබ්බා කියල කියනවනේ. මේ මලිත්තන් ගස් තියෙනවා අප්‍රිකාවෙත්. මෙහෙ
වෙරළබඩ විතරයි මෙව්වා තියෙන්නෙත්."
කොයි තරම්
වැදගත් දේවල් කියවුණත් සමහරුන් නොඉවසිල්ලෙන් බලා උන්නේ මුහුදේ නාගන්නට පුළුවන්
තැනකට යන තුරුය.
"තව
පැයක් යන්න කලින් වහිනවා." අපේ ජීප් රියේ 'මාතලී' මට කීවේය.
ඒ අනාවැකිය හරියටම හරි ගියේය. ටීක් බෝල තරමේ වැහි කැට කඩා වැටෙද්දී සමින්දත් මාත්
වැස්සේ තෙමි-තෙමීම බත් කෑවෙමු. තත්පර දහයක් යන්නත් කලින් බත් පිඟාන වතුර පිඟානක්
විය. එවේලේත් නදී, ප්‍රභාත්, විජේසිරි
වගේ අය හිටියේ මුහුදේ නාමිනි. තද හුළඟත් වැස්සත් නිසා අපට සිදු වුණේ ගමනින් අඩක්
පමණක් ගොසින් ආපහු හැරෙන්නටය. Bad Luck!
විල්පත්තුවෙදීත් අපේ උදවිය පෙරම් පුරාගෙන හිටියේ මුහුදෙන් නාන්නටය....... |
ලක් එකේ
හිලක් වුණේ එදින පමණක් නොවේ! අප්‍රියෙල් දොළොස්වෙනිදා අප මරදන්මඩුව නිවහනට එද්දී
එහි සිටින දෙදෙනාම ගමේ ගිහින්ය. පිවිසුමේ සිටි කිසිවෙකු ඒ ගැන අප දැනුවත් කළේ නැත.
චන්දනවත් ඒ ගැන නොදැන සිටි බැවින්, බංගලාවේ
යතුරු ලබාගැනීම සඳහා අපට ආපසු යන්නට සිදුවිණි.
බලධාරීහු
අටුව කඩා පුටුව හදමින්, අන්තිමට වෙනත් බංගලාවක සිටින අයෙකු අපට එවූහ.
කැලයක
හිටි අප ළඟටත් අවුරුදු කුමාරයා වැඩියේය. ආහාර අනුභවයට නැකත් උදාවෙද්දී කිරිබත්, කැවුම්, කොකිස්, කෙසෙල්
පමණක් නොව රස කැවිලි වර්ග හත-අටක් සරුවට මේසය මත සූදානම්ව තිබිණි. "ගෙදරදිවත්
මෙච්චර සරු කෑම මේසයක් හැදෙන්නේ නැහැනේ!" කවුදෝ කියනවා ඇසිණි.
"අපේ වැඩ එහෙම තමා." නදීගේ බිරින්දෑ උදේනි ආඩම්බරෙන්
කියුවේ එකිනෙකාට එක-එක කෑම වර්ග ගෙනෙන්නැයි පවරා තිබුණේ ඇය බැවිනි. නදී කිව්වාට
ඔහු ප්‍රසන්නය. ඒ පවුලේත් ඔක්කොම ට්‍රිප්වලට පය උස්සාගත් ගමන් ඉඳිති. නදීගේ ලොකු
පුතා චනුල්ය. චනුල් පොඩි අවදියේ 'මරු වැඩක්' වෙලා
තිබුණි. පාසල් නිවාඩු දෙන දවසේ ගුරුතුමිය මුළු පන්තියටම වැඩක් පවරලාය. "ළමයි, ඔයාලා
ඔක්කොම මේ නිවාඩු කාලේ ගෙදර අයත් එක්ක කොහේ හරි ට්‍රිප් එකක් යන්න ඕනේ. එහෙම
ගිහින් ඒ ගැන ලස්සන රචනාවක් ලියාගෙන එන්න ඕනෑ."
නදීලගේ පවුලේ සේරම- ඉදිරිපෙළ වමේ සිට: සෙනුගි, උදේනි, නදී, තාත්තා, අම්මා, මාලිකා,නෙත්මි, ප්‍රභාත්
පිටුපසින් වමේ සිට:ෂෙහාන්, චනුල්
|
අනෙක්
අය වගේම ඒ පවුලේ අයත් පාසල් නිවාඩුව එනතුරු බලා ඉන්නේ ගමනක් යන්නටය. දැන් ශ්‍රී
ලංකාවේ පාසල් යන දූ-දරුවන් සිටින පවුල්වල අයට ගමනක්-බිමනක් යන්නට ඉඩක් නැත. අර
පන්ති-මේ පන්ති හින්දාය. දින දෙක තුනක නිවාඩුවක් යෙදුනත් පලක් නැත. ටියුෂන්
මාස්ටර්ලා ඒ දිනවලට අමතර පන්ති දමන නිසාය. කොහොමින් හරි ඒ නිවාඩුවේ ට්‍රිප් එකක්
නොයැවුණු නිසා චනුල් නහයෙන් ඇඬුවේය. නදීගේ සිරසට යකෙක් ආරූඪ වුණේ ඒ වේලාවේය.
"උඹට පුළුවන් නම් ඉස්සෙල්ල ගිය ගමනක් මතක් කරලා රචනාව
ලියහන්. බැරිනම් ටීචර්ට කියහන් අපි මේ නිවාඩුවට ට්‍රිප් එකක් නොගියට, උඹලගේ
අම්මා උඹව බඩේ තියාගෙනත් කුමන මහ කැලේට ගියයි කියලා."
එහෙම
ගමන්වලටම ගැළපෙන මිත්‍ර සමාගමෙනුත් අපට අඩුවක් නැත. මේ එයාලාගෙනුත් විල්පත්තු ආ
අයයි. නැතිනම් මට සෝලි වැටෙයි, නිමල් අයියා අපිව විතරක් හැලුවා
කියලා!
ඉදිරි පෙළ (වමේ සිට): චූටි මාමා, නෙවිල්, නදී, හර්ෂනී, විජේසිරි, චන්දන, චූටි මල්ලී, සමින්ද (පිටුපසින්) ප්‍රභාත් හා සිල්වා |
එතකොට LTTE කලබල හොඳටම උග්‍රය. ඒත් අපේ මදාවිකමට අපි කුමනට ගමනක්
සූදානම් කළෙමු. අපි කිව්වාට ප්‍රියන්තලාගේ ගෙදර අයයි. (ඒ කවුරු ගමනක් සූදානම් කළත්
නෙවිලුත් මාත් එයට යා යුතුය.)
එවිට උදේනි හිටියේ චනුල්ව
කුසයේ දරාගෙනය. එහෙම ඉඳිද්දිත් එයාත් ගමනට ආවේය. පානම සිට අප කුඩා කැබලිත්තට ගියේ
ට්‍රැක්ටර්වලය. ට්‍රැක්ටර් හොයා ගන්නට මට උදව් වුණේ ගත් කතුවර ගුණසේකර ගුණසෝමයි.
ගුණේගේ ගම පානමය........එච්චර දුෂ්කර ගමනක්! නදීලා විතරක් නොවේ, ඔහුගේ අම්මාත්, තාත්තාත්
අක්කා; මාලිකාලාගේ පවුලේ හතර
දෙනාත් ඒ ගමනට ආවෝය.
එච්චර
ඉතිහාසයක් තිස්සේ ගමන්-බිමන් යද්දී ඕනෑ කරන දේවල් සූජානං කරන්න උදේනි දන්නේ
නැත්තම් තමා පුදුමය.
ඉතින්
අවුරුදු කුමාරයා මරදන්මඩුවට වැඩියේ තනියෙන් නොවේ. වැස්ස වලාහක දිවිය පුත්තරයාත්
එක්කය. කෙළපිය තාප්පෙටම කිව්වා වාගේ උඩුමහලට නඟින පඩි පෙළ දිගේ වැහි වතුර දෝරේ
ගලන්නට විය.
ඒ දවස්වල අපේ යව්වන මහත්තුරු බගෙන් පූකයක් එළියේ දමාගෙන.......... |
පහුගිය කාලයේ අපේ යව්වන
මහත්තුරු බගෙන් පූකයක් පෙනෙන්න ඇඳුම් ඇඳපු හැටි මතකද?
අප්පිරියාවේ බැරිය. Calvin Klein, Homosapien වගේ යට ඇඳුම් හදන්නෝ මේ වගේ
දැන්වීම් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රචාරය කරන්නට පාවිච්චි කළෝය. සාමාන්‍යයෙන් ඒකක්
ඩොලර් දහයක් විතර වෙයි. ඒකත් මිල අඩුම නම්ය.
මං ඉන්නා පාංකඩ පමුණුවේ
(අවවාදයයි! කවුද ලොක්කෙක් වාගේ පාමංකඩ කියලා පටලවා ගැනීමෙන් වළකින්න.) ලෑලි
තට්ටුවල පිරිමි යට ඇඳුමක් රුපියල් පනහකටත් අඩුයි වගේය. අපේ අයියලා-මල්ලිලා ගොඩ දෙනෙක් 'වෙනස නොදන්නා හිංදා' එව්වාත්
ඇඳගෙන දෙට්ටම් තකෙන් බාගයක් එළියේ දාගෙන හැම තැනම ගියෝය.
තමනුත් සික්ස් පැක් තියෙන, හතර රියන් හැන්ඩි මොඩල්ස්ලා වගේ නොවෙයි කියා; කොහෙන් කැපුවත් ලේසියෙන්ම කිලෝ තුන-හතරක් කපා ගන්න
පුළුවන් සයිස් ඇඟක් තිබෙන බව අමතක කොට නකේ පූරටි ප්‍රදර්ශනේ කළහ; අඩ හෙළුව
පෙන්වූහ.
ඒ වාගේ
වනජීවී ලොක්කොන්ගේ හෙළුව බලාගන්න නම් වැහි දාක මරදන්මඩුවට යා යුතුය.
වහලෙන්
වැස්ස ඇතුළට ගැලුවාට කමක් නැත. තෙමුණාම මොකද? ළඟදී මේ
හද්දා කැලේ බංගලා කර්ටන්වලින් සරසා ඇත. වැඩිය නෙවෙයි, ලක්ෂ විසි
අටක්ද කොහෙද වැය කොට. ඔන්න චන්දන, ඔයාලාවත් මෙව්වා දන්නවාද?
ගොඩ දෙනෙකු මේවා නොදන්නා අහිංසක ළමයින් වගෙය............. |
චන්දනලාගේ
ලොක්කන් පය බරවායට පිටිකරට බෙහෙත් බඳින ජාතියේය. කුවේණි මාළිගාවේ නටබුන් තියෙන
කාලි විල්ලුවේදී මා ජීප් රියෙන් බිමට බහින්නට හැදුවා විතරය. "අනේ සර්. බහින්න
එපා. අපේ ලයිසන් එකත් කැන්සල් කරනවා සර්ලා මේ වගේ තැන්වල බැහැලා ඉන්නවා
දැනගත්තොත්." රියැදුරා පිංසෙන්ඩු විණි. මට යකා නැංගේය.
"මාස කීපෙකට කලින් ආවම අපි මෙතැනදී බැස්සනේ"
"හරි සර්, මෙතන
මොකක්ද ප්‍රශ්නයක් වෙලා හින්දා තමයි දැන් බිමට බහින එක තහනම් කරලා තියෙන්නේ."
"තව කොහෙද එහෙම අලුතින් තහනම් කරලා තියෙන්නේ?" මා ඇහුවේ ඔලොක්කුවටය. අනේ ඒ අහිංසකයා එ්ක ඇත්තට ගත්තේය.
"දැන් නෙලුම්විලදිත් ගෙස්ට්ලව බස්සන්න දෙන්නේ නැහැනේ සර්. සර්ට මතකයිද අර ට්‍රී
හවුස් එකක් තිබුණා. දැන් ඒක දිරලා. ඒ හින්දා තමයි අපිට කියල තියෙන්නේ එතැන කාවවත්
බස්සන්න එපා කියලා."
"ට්‍රී හවුස් එක දිරලා නම් කරන්න තියෙන්නේ ඒක රෙපෙයාර්
කරවන එකනේ. එතැනට යන එක නවත්තන එකයැ?" ජීප් රියක
ඩ්‍රයිවර් කෙනෙකුගෙන් එහෙම ප්‍රශ්න අහන්නේ මාත් අමු මැට්ටෙක් හින්දාය. ඒ තරුණයා මට
වඩා මොළකාරයෙකි. පුංචි හිනාවක් දැම්මා මිස උත්තරයක් දුන්නේ නැත.
කුවේණි ආවත් පුදුම වෙනවා සිකුරුය....... |
අපේ අය
නිර්ලෝභීව කළ වැඩක් වුණේ, ඉඳුල් බාල්දි පිරවීමයි. බංගසාල කුස්සියේ ඊටම ගැළපෙන ලොකු
කුණු බාල්දි දෙකකි. එකකට දාන්නේ ඉඳුල්, පොල් කුඩු, ලූනු පොතු
වැනි දේවල්ය. දෙවෙනි දවස වෙද්දීම කුණු බාල්දි පිරීතිරී ගිහින්ය. ඉතින් බාල්දියක්
පෙරළුවේ චන්දනය!
"නිමල් මහත්තයා, මෙව්වා
සේරම ඔයාලටම ගෙනියන්න වෙනවා!" අපේ නඩයටම තරු පෙනුණේ එතකොටය. "ඇයි චන්දන,ඉස්සර මේ
කුණු ඔක්කොම මෙහෙ නේද වළ දැම්මේ?"
"ඉස්සර එහෙම කළා තමයි, ඒත්
මෙච්චර කුණු කොහේ දාන්නද? අපි ළඟක ඉඳලා ඉඳුල් විතරක් මෙහෙ
වළලනවා. එන පාටීස්වලටම එයාලගේ දිරන්නේ නැති කුණු ආපහු ගෙනිහින් දාන්න බාර
දෙනවා."
ආන්න
එතකොටයි හොඳම කතාව එළියට පැන්නේ. කාගෙන්ද කියලා කියන්න ගිහින් මොකටද හිතවත්තු
අමනාප කරගන්නේ. කතාව විතරක් කිව්වාම මදැයි. "අයියෝ, අපිටම
ගෙනියන්න වෙනවා කියලා දන්නවා නම් මෙච්චර කුණු මේකට දාන්න දෙන්නැතුව
ඉන්නවානේ......"
ඒ කිව්වේ
අපේ රටේ හැටිය.
කුණු ගොඩ ගහන්නට අපි සමර්ථයන්ය........... |
නදීත්, සමින්දත්, සිසිරත්, ප්‍රභාතුත්
තව කවුද-කවුදත් එකතුවී අපේම උදවියට බැණ-බැණ දැවැන්ත ප්ලාස්ටික් කුණු බාල්දියේ
තිබුණු දේවල් කළු පොලිතින් මලුවලට අසුරන්නට පටන් ගත්හ.
"යකෝ, මුන් ගෙදර
තිබ්බ කුණුත් මෙහෙට ගෙනැත් දාලනේ." ගෝරනාඩුව පටන් ගත්තේ නදීය. "බලපන්
මචං, මේ හිස් කේක් පෙට්ටියි, සැමන්
ටිනුයි තළලා දැම්මා නම් බෑග් එකෙන් කාලක්ම ඉඩ එනවා." "මුන්ගෙ අම්මලාට...
මේකේ නැති බඩකඩුත්තුවක් නැහැනෙ යකෝ!"
කුණු
අහුරන project එක සරුවට කෙරෙද්දී ඇහුණු කුණුහරුප මෙතන ලියන්නේ මොකටද!
හැබැයි ඒ බැන්නේ හරියට වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණි කොටසක් කුණු දමා ගියා වගේය. ඒ
හපන්කම කළේ අපේම උදවියයි. ගෙදරදීත් කරනවා ඇත්තේ ඔය ටිකමය.
අපේ ගෙදර
තිබෙන්නේ පර්චස් දහයක්වත් නැති ඉඩමකය. ඒ මදිවාට ඒක හරි හතරැස් එකකුත් නොවේ. පැති
හතකි. ගෙයි පැති තුනක්ම blind wall වලින් වටවී ඇත. ඉතින් හිතාගන්නකෝ.
ඒත් ගෙට
ආදා පටන් පහුගිය අවුරුදු විසිපහකටත් වැඩි කාලයක් තිස්සේ මහරගම නගර සභා කුණු ලොරිය
අපේ ගෙදරින් ගෙනිච්චේ නොදිරන දේවල් පමණි.
අපේම කුණු එක්ක වුණත් අපට තියෙන්නේ ඇගේ වෛරයටත් වැඩි 'ඇඟේ වෛරය'කි..... |
ගෙයි
පිටුපස පැත්තේ පුංචි කුණු ගොඩකි. දිරාපත් වෙන සේරම ඒකටය. එකම සිලි බෑගයක්වත්
දෙතුන් වතාවක්වත් පාවිච්චි නොකර අහක නොදමන පුරුද්දකුත් මට ඇත!
අන්තිමේදී
අප පිටත් වෙන විට ලොකු කළු බෑග් තුනක්ද කොහෙද අරගෙන එන්නට සිද්ද වුණේය. බුදු සන්තෝ, අපේ නඩයේ
මහිලාවන්ට එය ලොකූඌඌඌ බරක් වී තිබ්බ හැටි.
මරදන්මඩුවට
ඇතුළු වන තැනදී, පුත්තලමේදී, මීගමුවේදී
විතරක් නෙවෙයි දවල්ට බත් කන්නට අඟුරුකාරමුල්ලේ පන්සලට එක්කං ගියාම එහේදිත්
ඉස්සෙල්ලාම කළේ කුණු දාන්න තැන් හොයන එකය. අපේ ඇත්තන් කුණු එක්ක තියෙන වෛරය 'ඇගේ
වෛරයටත්' වඩා වැඩිය. ඒවා අපේම කුණු නේද කියා ඔවුන්ගේ තුන් හිතකවත්
නැත.
එහෙම තිබ්බා නම් 'අපේම කුණු
අපට එපාවී' කියා පෝස්ටුවක් ලියන්නට මට නිමිත්තක් ලැබෙන්නෙත් නැත!
අම්මපා ඒකෙත් හැටි෴
ගෙනාපු කුණු ආපහු ගෙනියන්න දෙන එක අපහසුතාවයකට ලක් උනාට හොඳ වැඩක් !
ReplyDeleteඅපේ කුණු අපටම බාර දෙන එකෙන් තමයි කුණු ප්‍රශ්නය අපට දැනෙන්නේ!
Delete