දස මාසයක් මව් කුසක හිට මෙලොව එළිය දකින්නේ කොහෙදීද එහෙට කියන්නේ උපන් ගම කියලාය.... |
උපන් තැන අනුවනේ ගම කියන එක
තීරණය වෙන්නේ. මාත් ඉතින් බදුල්ල මහ රෝහලේදී මෙලොව එළිය දුටු නිසා ආඩම්බරෙන්
කියනවා 'මං ඌවේ පුත්‍රයෙක්' කියලා. කන්න ඕනේ වුණාම කබරගොයාත් තලගොයා කරගන්න න්‍යාය
අනුව සමහර වෙලාවට උළුප්පන්නේ මටත් මාතරට සම්බන්ධයක් තියෙනවා කියලයි.
ඇයි, අපේ සීයා; තාත්තගේ
තාත්තා මාතර හාදයෙක්නේ. (එයාව නීච කුමන්ත්‍රණේ පෝස්ටුවෙන් අඳුනා ගත්තනේ.) කොච්චර
අයිඩියානන්ද කෙනෙක් වුණත් සමහර වෙලාවට එයාත් මඤ්ඤං කෙළලා තියෙනවා. (මට හිතෙන්නේ
ගෑනු පරාණ සම්බන්ධ දේවල්වලදී නම් මනුස්සයාගේ මොළේ තිතටම වැඩ කරලා තියෙනවා. 'නීච...' කතන්දරෙනුත් ඒක නියමෙට
ඔප්පු වෙනවා.)
ඒ දවස්වල
සීයලා ඉඳලා තියෙන්නේ නාවින්නේ.
හයිලෙවල් පාර
අයිනේම ගෙදරක.
මේ
කියන්නේ 50-60 දසකයේ. මං ඉපදිලාත් නැති සංදියේ වගෙයි. පාර අද්දරම නිසා
ඒ ගොල්ලෝ පොඩියට කඩයකුත් කළාලු. පොඩ්ඩක් ඉන්න. මං දසනායක රත්නවතීවම ගෙන්නන්නම්. ඒක
වඩා හොඳයිනේ.
"පුංචි වුණාට කඩේට ආදායමකුත් තිබ්බා. සීයගෙ පෙන්ෂන් එකයි, කඩේ
ආදායමයි හොඳටම සෑහුනා උඹලගේ තාත්තාටත් දෙන්න. ඉතින් ඒ කාලේ දැන් වගේ ලොරි තිබ්බෙ
නැහැ, කොළඹින් බඩු ගේන්න. කරත්තවලයි ගේන්නේ. අපටත් අත්
කරත්තයක් තිබ්බා. හුඟ වෙලාවට සීයා තමයි ඒකත් අරන් ගිහින් කඩේට ඕනේ එළවලු, කරෝල, හාල්, තුනපහ
ජාති ගේන්නේ." ආච්චි කියාගෙන යයි.
කියවුණු
හැටියට නම් ආච්චිලා කවදාවත් නිකම් හිටි අය නොවේ.
සීයා
රේල්ලුවේ රස්සාව කරන කාලයේත් ආච්චි දන්නා 'දහංගැට' සේරම
දමමින් කීය-කීය හරි හම්බ කළාය. "දහංගැට" කියද්දී එක විඩේම හිතට එන්නේ ප්‍රෝඩාවල්ය.
ඒත් ඒකෙ නියම තේරුම නම් දහම් ගැට කියනා එකය. හොඳටම ප්‍රසිද්ධ ''අම්බලමේ
පිනා පිනා - වළං කදක් ගෙනා ගෙනා - ඒක බිඳපි ගොනා ගොනා - ඒකට මට හිනා හිනා"
කියන කවියේ තේරුම හොයා බලන්නකෝ, නිකමට. එතකොට වැටහෙයි!
ඉතිං අපේ
ආච්චි කළේ නිකම් නොඉඳ යමක් උපයා ගැනීමය. එකක් බැරි වෙන කොට එකක්. එකක් නැති වෙනකොට
තව එකක්.... පුළුවන් නම් එකක් නෙවෙයි දෙකක්! ඒ පුරුද්ද නම් මටත් අඩු නැතිවම උරුම
වෙන්න ඇත්තේ අපේ ආච්චිගෙනි.
නින්දෙනුත් හූමිටි තියන්නට - එහෙයි කියන්නට වුණත් සමහරු දක්ෂය.......... |
"ඉතිං, ඉතිං ආච්චියේ?" මම ආච්චිට හූමිටි තියන්නෙමි.
"ඉතින් ළමයෝ එක දවසක් මං සීයාට සල්ලි දීලා කොළඹ යැව්වා.
හාල් තුනපහයි, කඩේට එළවලුයි ගේන්න කියලා. එදා කඩේ එළවලු ඔක්කොම ඉවරවෙලා
තිබ්බේ. ඔන්න හවස් වේගෙන එද්දී මේ මනුස්සයා එනවා අත් කරත්තෙත් තල්ලු කරන්. මාත්
අනේ, පවුනේ කියලා කේතලේ ළිපට කරලා ඉස්සරහට ආවා බඩු ටික බාගන්න.
ගෙනැත් තියෙන ඒවා දැක්කාම මට යකා නැග්ගා."
ඒ
දෙන්නාගේ රණ්ඩු-සරුවල් ගැනත් මෙතනදී කියලා ඉන්න ඕනෑය. සීයාට කේන්ති ගියාම ආච්චි
කරබාගෙන ඉඳියි. ආච්චිට කේන්ති ගියාම සීයා ඉන්නෙත් එහෙමය.
තරුණ කාලේ
අපේ සීයා වෙනත් අංගනාවන් එක්ක පැටළුණාට අපි දන්නා සංදියේ නම් ආච්චිට හොඳටම ආදරේ
කළේය. සීයා මැරෙන තුරුමත් ආච්චිට ලංකාවේ හදන සබන් ඇඟේ ගාන්නට සැලැස්සුවේ නැත.
පෙන්ෂන් එක ගන්නා දවසට සීයා 'කියුටිකිරා' සබන් කැට
ටිකක් නොවරදවාම ගෙනෙයි. ඒ ආච්චිටය.
ගෙදර මොනවා
තිබ්බත් සීයාට කඩෙන් තේ එකක් නොබී බැරිය. ඒක බොන්නේත් වඩයක්, හැලපයක්, විස්කිරිඤ්ඤ
එකක් හෝ රෝස්පාන් එකක් කාලාය. ඔහු මොනවා කෑවත් ඒ ජාතියෙන්ම එකක් ඔතාගෙන ආච්චිට
ගෙදර ගෙනෙයි.
"කඩේට
පූරුව ආත්මේ ණයක් ගෙවනවද මන්දා." කියමින් බැන්නත් හැමදාම උදේට සීයාට තේ බොන්න
යන ගමනට ඕනෑ සල්ලි දෙන්නත් ආච්චි පැකිළෙන්නේ නැත. අත-මිට හිඟ දවසට සීයා ඔතාගෙන
එන්නේ එයා කන්නට ගත් දෙයින් බාගයකි.
මට කලින් ආච්චි මළොත්, මළගමෙන් පස්සේ මගේ ගැන හොයන්න එපා! |
"ඔහෙට ඉස්සෙල්ලා මං මැරෙන්න ඕනේ. බැරි වෙලාවත් මට
ඉස්සෙල්ලා ආච්චි මළොත්.... මිනිය වළ දැම්මට පස්සේ මං ගැන හොයන්න එපා ළමයිනේ."
ඔහු අපට කියා තිබුණේය.
'ඔය මනුස්සයා කිව්වා වගේම කරයි. එයාට ඉස්සෙල්ලා යන්න
ලැබුණොත් තමයි හොඳ."
ආච්චිත්
ප්‍රාර්ථනා කළේ එහෙමය. එවන් ගේහසිත ප්‍රේමයක් තිබ්බත් දෙන්නාම රතු කට්ට පන්නාගත්
තැනුත් තිබිණ.
'උඹලගේ සීයා හරි ලජ්ජකාරයා. දවසක් මොකක්ද එකකට මගෙත් එක්ක
හොඳටම තරහ ගිහින් ගෙදර තිබ්බ පිඟන් කෝප්ප සේරම උස්සගෙන ආවා සාලෙට. (ඒ දවස්වල ඔවුන්
සිටියේ රේල්වේ ක්වාර්ටර්ස්වලලු. ඒ ගෙවල් තිබුණේ එකකට එකක් ඈඳුණු පේළියක් ලෙසටය.)
මේ මිනිහා අල්ලපු ගෙදරට සද්දේ ඇහෙයි කියන බයට, ගෝනියක්
තෙමලා අරන් පිඟාන ගානේ බින්දා තෙත ගෝනියෙන් වහලා."
"මොකක්ද ආච්චියෙ ඒ වැඩේ?"
"ඒකනෙ කියන්නේ ළමයෝ. ඔන්න එක පිඟානක් ගන්නවා. බිමින්
තියනවා. ඒක අර තෙත ගෝනියෙන් වහනවා. ඒක උඩ නැඟලා පිඟාන කඩනවා. ඊට පස්සේ තව
එකක්...."
"මහ මෝඩ වැඩක්නේ ආච්චියේ. එපා කිව්වේ නැද්ද?''
"මං මොකටද එපා කියන්නේ. එයාම එපැයි ආයෙමත් ගෙදරට පිඟන් කෝප්ප
ගේන්න ඕනේ. දෙපාරයි එයාට ඇති පදම් කඩන්න දුන්නේ. එයාම ඒ වැඩේ අත ඇරියා. එහෙම මොට්ට
වැඩක් තමයි එදා කොළඹ ගිහිල්ලාත් කරගෙන ආවේ! ඉතින් මට යක්ෂයා ආරූඪ වුණා. මොනවද
මිනිහෝ මේ ගෙනැත් තියෙන්නේ? මං ඇහුවා. කටේ සද්දෙන්ම මිනිහට තේරුණා මොකාක් හරි
වැරැදිලා තමයි කියලා."
උඹට මෙව්වනේ විකුණන්න බැරි කියලා භූමිතෙල් කෑන් එක පතෝලවලට වක්කරන්න පටන් .......... |
"ඇයි, මොකෝ?"
"හැයි, ලජ්ජා නැතිව අහනවනේ
අම්ම්ම්ම්මාපල්. ඇයි යකඩෝ කෝ එළවලු?”
"මං එහෙම ඇහුවම මේ මනුස්සයා
කරත්තෙන් බාගයක්ම පිරෙන්න තිබුණු පතෝල තොගේ පෙන්නුවා. තොග කඩයේ මිනිහා කිව්වලු
පතෝල නම් හරිම ලාබයි අද- ගෙනිච්චොත් හොඳ ගානක් තියාගෙන විකුන්නහැකි කියලා.
මහ කට්ටයෙක් වෙන්නැති, මේ මනුස්සයාගේ නෝන්ජල් විදිය දැකලා පතෝල තොගයක් කරේ
ගහලා. ඇයි ළමයෝ.... ඔය ලෙඩ එළවලු හැමෝම ගෙනියනවද?
-මං බැණගෙන බැණගෙන ගියා. එක බඩුවක්වත් බාගත්තෙත් නෑ.
-මෙන්න බොලේ හිටි ගමන් මේ
මනුස්සයා නැඟිට්ටා. භූමිතෙල් ටින් එක ගත්තා. කරත්තේ ළඟට ගියා. උඹට මෙව්වනේ
විකුණන්න බැරි කියලා කිය-කියා පතෝලවලට භූමිතෙල් ඉහින්න ගත්තා. මට තවත් තරහයි. මාත්
එතනට දුවලා ටින් එක උදුරලා අරන් උඹලගේ සීයාගේ ඇඟට භූමිතෙල් වක්කරා.
එතකොට නම් සීයා අන්ද-මන්ද
වුණා.
අද තමුසෙටත් ගිනි තියලා
මටත් ගිනි තියාගන්නවා, කෝ මේ ගිනි පෙට්ටිය කියාගෙන
මං ගෙට දිව්වා. මං ගිනි පෙට්ටිය අරන් එනකොට ඒ මනුස්සයා ගව්වක් විතර ඈතට දුවලත්
ඉවරයි!"
ඇබිත්තයෝ හතර දිග් බාගෙම ඉන්න බල්ලන්ව බැඳගෙන ඇවිත්, කුක්කුර දානෙට........ |
එදා
දිසානායක හේවගේ චාර්ල්ස්ගේ තන්වැසි නුවණට මොනවා වුණාද? මම අදටත්
සිතමි. දකුණේ වුණත්, අමු කැළේ වුණත් සීයාත් මෝඩයා වුණු හැටි. ඕක මොකක්ද, සංඝරාජ මා
හිමියන් එක්ක බලද්දී.
ඒ කිව්වේ
වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් ගැනයි. උන්වහන්සේට බලු දානයක් දෙන්න පින්
සිතුවිල්ලක් පහළ වෙලා. ඇබිත්තයන්ව හතර දිග භාගේටම පිටත්කරලා ඇරලා අහුවෙන, අහුවෙන
කුක්කුරයන්ව බැඳගෙන පන්සලට ගේන්න. ගෙනෙන-ගෙනෙන බල්ලාව ගස් බැඳලා. බල්ලන්ට ඉතින් අද
ඉන්න සමහරු වගේ තමන්ම ගස් බැඳගන්න බැහැනේ. දැන් බල්ලන් පනහක් හැටක් විතර පන්සලේ.
ඒ අස්සේ
තව කට්ටියක් හොඳ රසට-සුවඳට බත් මාළු-පිනි සූදානම් කරලා, සුනඛ
භෝජනෝත්සවයට.
"හා, දැන්
ටිකක් ඈතින් ඈතින් පත් කොළ එළලා එව්වාට බත් මාළු-පිනි බෙදනවා හොඳයි!" සරණංකර
උන්නාන්සේ ගෝලයොන්ට කිව්වා. එයාලත් එහෙම කළා. ඊළඟට නායක හාමුදුරුවෝ කියාපු ගමන්ම
ගස් බැඳලා හිටි බල්ලන්ව ලෙහුවා.
'සඟ රජ වුණාට ගම තුම්පනේ නොවැ' කියලා රජ්ජුරුවන්ට කියවිලා, බල්ලෝ කාගන්න පටන් ගත්තම........ |
ඒ පර
බල්ලොත් උන්ගෙ බලු ගතිය පෙන්නලා එකම බත් පතට හත්-අට දෙනා පොරකාගන්න පටන් ගත්තා.
එකාට එක ගණනේ ඇති පදම් කෑම තියෙද්දිත් බල්ලෝ කා-කොටාගන්න සද්දේ ඇහිලා රජ්ජුරුවෝ
සීමැදුරු කවුළුවෙන් එබී බලලා ඇහුවලු මොකක්ද මේ බලු කරච්චලේ කියලා. අද වගේමයි
එදාත්. ඇමතියෙක් අතිනුත් දාලා සිද්ධිය කියලා.
ඒක අහපු
රජතුමාට කියැවුණාලු "සඟරජ වුණත් ගම තුම්පනේනේ"කියලා.
ඔය කතන්දර
දෙකම කිව්වේ මගේ ගොන්කමක් ගැන කියන්න කලින්, ඒක
සාධාරණීකරණය කරගන්න වගේ. සමහරුන් මට කියනවා "නිමල්ට වරදින්නේ නැහැනේ"
කියලා. මම නම් කවදාවත් එහෙම කියන්නේ නෑ. මොකද "කාහටත් වරදී - ඉන් දොස් කීම
වැරදී - මාහට නොවරදී - කියන අයහට නිතර වරදී" කියන ආප්තෝපදේශය මං
හිස්මුදුනෙන්ම පිළිගන්න නිසා.
මට
පුළුවන් මගේ ගොන්කම් වුණත් අනෙක් අයට කියලා හොඳට හිනා කන්න!
අර අසරණ ළමයි හැමදාමත් පෝසත් ළමයින්ට සුබ පතලා 'හැපී බර්ත් ඩේ ටූ යූ!' කියලා ........ |
අපේ ගෙවල්
ළඟ තියෙනවා 'ලංකා ළමාරක්ෂක සංගමයෙන්' පාලනය වන
පිරිමි ළමා නිවාසයක්.
සාමාන්‍යයෙන්
ළමයි තිහ-හතළිහක් තමා උපරිමයෙන් ඉන්න දවසක වුණත් ඉන්නේ. හුඟක් ඇති-පැති ඇත්තෝ
එයාලගේ හුරතල් පැංචෝ-පැංචියෝ උපන් දවසට එහෙට එනවා. කෑම-බීම-තෑගි එහෙම අරන්.
ඒ ආවාම අර
අසරණ ළමයි සේරම එකතුවෙලා අර හුරතලුන්ට -හැපි බර්ත්ඩේ ටු යූ- සිංදුව කියනවාත් මට ඇහෙනවා. මට නම් ඒක හරිම අමානුෂිකවයි දැනෙන්නේ.
කවදාවත් කවුරුන්වත් ළමා නිවාසයේ ඉන්න ළමුන්ගේ උපන් දින සමරන්න එන්නේ නැහැනේ.
ඒ
අහිංසකයන්ට ඒක අඩුවක් විදියට දැනෙන්නැද්ද?
ඉතින්
මටත් හිතුණා ඒ ළමයින්ට සරුංගල් සංග්‍රහයක් කරන්න.
මං
කවදාවත් සරුංගලයක් උඩ ඇරලා නැති කෙනෙක්.
ඒකට ආසා
කරන කාලෙදී අපට සල්ලි තිබ්බෙ නෑ.
අවුරුදු
දොළහේ ඉඳන් දිගටම ඉස්කොලේටයි, පේව්මන්ට් එකටයි (විස්තර ඕනෙම
නම් -පේව්මන්ට් එකේ රජ වී- පෝස්ටු බලන්නකෝ, තරහ
නැතිව.) දවස ගෙවෙද්දී සල්ලි තිබුණත් වෙලාව තිබුන්නෑ.
ඔය සාංකාව
නැති වෙනවට බයේද කොහෙද මං ලොකු වුණාම සල්ලියි, වෙලාවයි
දෙකම තිබ්බත් සරුංගලයක් හදලත් නෑ. ඇරලත් නෑ.
අද වෙනකල් සරුංගලයක් හදනවා තියා උඩ ඇරලාවත් නැති මං..... |
ඉතින් මං
මගේ දොළදුක නෙවිල්ටයි, අපේ සුනිල්ටයි කිව්වා.
ඒ දෙන්නාම
උදව් වෙන්න ලෑස්ති වුණා.
ළමා
නිවාසයේ සර්ගෙන් ගණන අහගෙන, එක ළමයාට එක සරුංගලය ගණනේ වැටෙන්න සරුංගල් හැදුවා, සුනිල්ලා.
එක්කෙනාට එක බැගින් නූල් පන්දුත් පිළියෙළ කරගත්තා.
සේරම
සරුංගල් හදලා ඉවර වෙලයි ඒවා ළමයින්ට දුන්නේ. අනේ, ඒ අහිංසකයන්ගේ
මූණුවල තිබ්බ සන්තෝසේ....! අපිත් හරියට සතුටු වුණා , ඒ හිනා
මල් දැකලා.
විනාඩි
දහයක් ගියේ නෑ."මාමේ, මාමේ, සරුංගල් මාමේ...." කවුද
පොඩි එකෙක් මොර දෙනවා ඇහිලා මං දොරකඩට ගියා. ළමා නිවාසේ තාප්පෙට උඩින් පුංචි එකෙක්
එබීගෙන ඉන්නවා, එල්ලාගත් මූණකින්. මාව දැක්කා විතරයි පොඩි එකා මොර
දුන්නා.
"අනේ මාමේ, අර අයියගේ
සරුංගලේ කඩාගෙන ගියාම එයා මගේ එක උදුරගත්තා."
එයාට කට
පියාගන්නවත් හම්බ වුණේ නෑ.
තව එක්කෙනෙක් තාප්පෙට බඩගෑවා. ''මගේ
සරුංගලේ ගහක පැටලිලා ඉරුණා!"
කියන්න
ලැජ්ජයි එදා මට වෙච්ච පැටලිල්ල. අර පොඩි එවුන් සනසන්නත් ඕනේ. සුනිලුත් ගෙදර
ගිහින්. නෙවිල්ටයි කර ගහන්න වුණේ, මං දන්නා සරුංගල් හැදිල්ලක්
නැහැනේ!
මුල්ම
පැමිණිලි කීපයට ප්‍රතිචාර දක්වනකොටම නෙවිල්ගේත් මළ පැන්නා.
"තමුසෙටත්
නිකං ඉන්න බැරිවට දාගන්න ලෙඩ. ඇයි හලෝ, කරන
මඟුලක් කරගන්නවකෝ තමන්ට පුළුවන් විදියට."
නෙවිල්ගේ
මැසිවිලි සේරම අහගෙන හිටියත්, ළමා නිවාසයේ ළමයින්ගෙන් කාලක්
විතරම තාප්පයේ උඩට වෙලා කරන නිරන්තර ඉල්ලීම් වැඩි වෙන්න ගත්තාම මම දොර ජනෙල් සේරම
වහදාලා මගේම ගෙයි හිරකාරයෙක් වුණා, දවස්
තුන-හතරක් යනකල්ම෴
ආපහු පාරක් සෙට් උනොත් ඔය ළමා නිවාසෙට තියෙන අඩු පාඩු මොනවා හරි දෙන්න බලමු, නැතිනම් ඉතිං කනව බොනව විතරනෙ :)
ReplyDeleteකියන්න ලැජ්ජයි සරුංගල් යවල තිබ්බට මාත් හදන්න දන්නෙ නැහැ ... නෑ හදලත් තියෙනව .. උඩ යන්නෙ නෑ :)
කණ්ඩා, මටත් පින්, ඔයාට යහපත් හිතක් පහළ කෙරෙව්වට!
Delete